සුරගුරු ගැන ඔබ දත් නොදත් තොරතුරු

සැප්තැම්බර් 1, 2023

සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්‍රයාගේ ද, අති ශ්‍රේෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති තේජවන්ත, ශක්තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ඡ්‍යොතිෂ ග්‍රන්ථයන්හි දක්වා තිබේ. තාරකා විද්‍යාවට අනුව ද බ්‍රහස්පති කුඩා වන්නේ සූර්යයාට පමණක් වන අතර, අනෙක් සියලුම ග්‍රහයන්ට වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහයාගේ මැදින් සැතපුම් පන්දහසක පමණ බාහිර නෙරුමක් ඇති බැවින් උසට වඩා මහතින් වැඩි බව කියැවේ.

 

ඡ්‍යොතිෂයේ ගුරුට හිමිව ඇති ස්ථානය අතිශයින්ම සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුබ ග්‍රහයා වෙයි. නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක් ගුරුට හිමිය. ඉතාමත්ම යුක්ති සහගත අධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වේ. ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරුවන නිසාවෙන් සුරගුරු ලෙස හඳුන්වයි. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයා ද වන අතරම නැකැත් තරුවලට පිටින් ගමන් කරන ග්‍රහ තාරකාවද වේ. ඔබ අප ජීවත්වන පෘථිවි ග්‍රහ ලොව මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්පති යන නම්වලට අමතරව ගුරු හට අංගීරස, ආර්ය, වාගීශ, ජීව, යන නම්ද ව්‍යවහාර වේ. පුළුල් නලල් තලයක් හා මිටි, මහත, වටකුරු ශරීරයකින් හෙබි සුරගුරු විශාල උදරයක්ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්තයි. ගුරු ලග්න භාවයේ සිටින අයගේ ශරීර මහත් වේ. අප ජීවත් වන පෘථිවියට මදක් ඈතින් ගුරු සිටිය ද ඔහුගේ බලපෑමේ කිරණ ශක්තිය නිරතුරුවම අපට ලබා දෙනු ඇත. අහස පැහැදිලි කාලයේදී කහපාටින් බබළන බ්‍රහස්පති ඔබට පහසුවෙන් හඳුනා ගත හැකිය. සුරගුරුට උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් 16 දෙනෙකු සිටිනා අතර ග්‍රහ මණ්ඩලයේ සුබම සුබ පුරුෂ ග්‍රහ තාරකාව ද වන්නේය. රවි රජුගේ අග මෙහෙසිය චන්ද්‍රා බිසවත්, පුර පස සඳු ඔහුගේ අනියම් බිසව වන සුකුමාල සිකුරු නැගණියත්, බුධ පොඩි පුතාත් සිටින්නේද මේ සුරගුරුට පසුපසිනි. ගුරුගේ ඥාාණය, නැණවත් බව, නිරහංකාර බව, පරිත්‍යාගශීලි බව, ධර්මිෂ්ට බව, විනීත බව මෙන්ම ගුණ ධර්මාදීන්ගෙන් පිරිපුන් බව නිසාම ග්‍රහ මණ්ඩලයේ ගුරුට අභියෝග කිරීමට අන් ග්‍රහයන්ට නොහැකිය. ගුරු අන්‍යයන්ට ආදරය හා කරුණාව දැක්වීම නිසා ඔහුට කවුරුත් ඉතාම කැමතිය. බ්‍රහස්පති යමක් විසුරුවා හරින ග්‍රහයා නිසාවෙන් ඔහුගේ යෝග වීමක් නැතහොත් එක්වීමක් හෝ දැක්මක්, දෘෂ්ටියක් ලැබූ පමණකින්ම කෝටියක් දෝෂ භංග වී නැති වී යයි. එවිට නිතතින්ම සුබ ඵල උදා වනු ඇත. එපමණක්ද නොව අසුබම ග්‍රහයකුට රවි, කුජ, ශනි රාහු, කේතු වැනි ග්‍රහයකුට ගුරුගේ දෘෂ්ටියක් වැටුණු කල එම අසුබ නැතිවි සුබ භාවයට පත් වේ.

එය සුරගුරු හට ඇති ප්‍රමුඛ ගුණයකි. මෙම ග්‍රහයා හට ප්‍රධාන වශයෙන් පුත්‍ර කාරකත්වය

හිමි අතර ඥාාණ කාරකත්වය මෙන්ම ධන කාරක හා අධ්‍යාපන නෑකමක්ද ඔහුට හිමිය.

මෙම ග්‍රහයා යෝග වීම් මත ගුරු හංස, වැනි පංච මහා පුරුෂ යෝග හා ගජ කේශරි,

රණහංස, භූමිපාල, ජය සිඳු වැනි ඉතා සුබ යෝග මෙන්ම සකට වැනි අසුබ යෝගද උදාවේ. ගුරු බලවත්ව ජන්ම පතේ පිහිටා සිටියද රවි, කුජ, ශනි රාහු, කේතු වැනි පාප ග්‍රහ දෘෂ්ටියකට ලක් වුවහොත් ඔහුගේ සුබ ඵල අඩුවනු ඇත. ඒ කෙසේ වුවත් අන් ග්‍රහයන් මෙන් පාප දෘෂ්ටිවලින් පහසුවෙන් මේ ග්‍රහයා දුර්වල කළ නොහැකය. ඈත පුරාණයේ සිටම බ්‍රහස්පතිට ගුරුවරයකුට මෙන් සලකනු ලබයි. සෑම ජාතියක්ම හා ආගමක්ම ඔහුව උසස් අන්දමින් සලකනු ලබයි. ඒ නිසාවෙන් බ්‍රහස්පති ගුරුන් වහන්සේ, යුක්තිය පසිදින්නා ආදි නම් ද භාවිතා වේ. අශ්වයින්ට, ඇතුන්ට, මුවන්ට, ගෝනුන්ට හා ගෘහවාසී සතුනට හා මොණරාදී පක්ෂීන්ටද මෙම ග්‍රහයා අධිපති වන්නේය.

රවි රජතුමාත්, චන්ද්‍රා බිසවත්, හැඩි දැඩි හිතුවක්කාර කුජ පුතාත් ගුරු ගේ හොඳම මිතුරන්ය. ශනි හෙවත් සෙනසුරු මෙහෙකරුත් රාහු හා කේතු යන මෙම ග්‍රහ පවුලේ සීයාත් ආච්චීත් ගුරු සමඟ තරහක් හෝ විශේෂ හිතවත්කමක් නැත. නමුත් පොඩි පුතා වන බුධත් රවි රජුගේ අනියම් බිසව වන සුකුමාල සිකුරු නැගණියත් නම් ගුරු ගේ පරම සතුරන්ය. මොහු හට ධනු හා මීන යන දෙරැසේ ලග්නාධිපති අයිතියද හිමිය. එම නිසා ගුරු එම ලග්න දෙකට පියතුමාය.

ධනු හා මීන යන රාශි දෙක ගුරු ගේ නිවස්නයන් හෙවත් ස්වක්ෂේත්‍ර වු බලගතු රාශි දෙක වෙයි. බ්‍රහස්පති පසු ගිය ජුනි 19 වන දා ගොඩ වූ කටකයේදි ඔහුගේ බලය බෙහෙවින් වැඩි අතර ඔහු එහිදි උව්චය. ඉතා බලවත්ය. මකරයේදී කිසිදු බලයක් නැති නීචයෙකු වන අතර මේෂ, සිංහ, වෘශ්වික තෙරැසේදී මිත්‍රයෙකි. කුම්භය ගුරු හට ගුණ අගුණ නොමැති සම රාශියක් වන අතර වෘෂභ, මිතුන, කන්‍යා, තුලා, යන රාශි ගුරු ගේ සතුරන්ය. පුනාවස, විසා හා පුවපුටුප යන නැකැත් සුර ගුරු ගේ පාලනයේ පවතින අතර බ්‍රහස්පතින්දා දිනයටද ගුරු හට පූර්ණ අයිතියක් ඇත. පුෂ්පරාගය ගුරු ගේ පාෂානයයි.

ගුරු ගේ පාලණය යටතේ පවතින විෂයන් ගණනාවකි. එනම්,රටේ වැදගත්ම මහා භාණ්ඩාගාරය, අධ්‍යාපනය, නීතිය, ආගම, දර්ශනය, බැංකු හා වෙළෙද ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, හමුදා බැරැක්ක, විහාරස්ථාන, රක්ෂණ සමාගම් වැනි ඉතාම වැදගත් අමාත්‍යාංශ ගණනාවක්ම ඔහුට හිමිය.

කීර්තිය, ප්‍රශංසාව, දීර්ඝ ගමන් යාම, පිට පළාත්වල ජීවත් වීම, මෙන්ම උගතුන්ගේ වාසස්ථාන මෙන්ම ප්‍රභූන්, අත්තලා හා මුණුබුරන්ටද ගුරු ගේ අධිපතිත්වය හිමිය. මෙම ග්‍රහයා අසුබ වූ කල අක්ෂි රෝග, නිදිමත ගතිය, දියවැඩියාව, චර්ම රෝග සෙංගමාලය, සිහිවිකල් බව, ශරීරය අධික ලෙස මහත් වීම, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යාම, උණ මෙන්ම මුත්‍රා සමඟ ධාතු පහවීම වැනි රෝගා බාධ හට ගැනීමට ද හැකියාව පවතී. ඔබේ ජන්ම පත්‍රයේ 6, 8, 12, රාශි ගත වීම හෝ 22 වන දෙර්කාණාධිපති, 64 වන නවාංශකාධිපති, හෝ බාධක හා මාරක ග්‍රහයා වීම මත ගුරු හට ඔබට එතරම් සුබ ඵල ගෙන දීමට නොහැකි වේ. නමුත් බ්‍රහස්පති කිසිවිටක අන් ග්‍රහයන් මෙන් ඔබට කරදර කරන්නේ නැත. ඔබ මරා දමන්නේ නැත.

කෙනකු උපදින විට ගුරු ඔහුගේ ලග්න රාශි ගතව එනම් පළමු වැන්නේ බලවත්ව සිටි විට කෝටියක් දෝෂ භංග වී අතිශය සුබඵල උදා වේ. ඊට හේතු වන්නේ ලග්නයේ සිටින විට ඔහු හට 5, 7, 9 යන ඉතා වැදගත් රාශි තුනම පෙනෙන නිසාවෙනි. පස්වැන්න යනු පුත්‍ර ස්ථානය හා අධ්‍යාපනය නිසාත් හත්වැන්න යනු කාලත්‍ර ස්ථානය හෙවත් විවාහ ස්ථානය නිසාත් නම වැන්න යනු භාග්‍ය ස්ථානය නිසාත් ගුරු ගේ දෘෂ්ටියෙන් එම ස්ථාන 3ට ම පිරිපුන් බලවත් ශක්තියක් ලැබේ. ඒ නිසා ඔහු සිංහ හා වෘෂභ ලග්න දෙක හැර අන් ලග්න 10 යටම ඉතා බලවත්ය. එවිට ධනය, කීර්තිය, ඥාාණය, දියුණුව ලැබේ. ඊට අමතරව 2, 4, 5, 7 විවාහයට හැර, 9, 10, හා 11 ගුරු හට ඉතාම සුබ ස්ථාන වේ. 3, 6, 8, 12, එතරම් සුබදායක නැත. එහෙත් එම ස්ථාන වලදීද අනෙක් ග්‍රහයන් මෙන් බ්‍රහස්පති දඩබ්බර නොවේ. ගුරු ආසන්න වශයෙන් වසර 12 කට වැඩි කාලයකදී ග්‍රහ වළල්ල වටේ හෙවත් ඔබේ ජන්ම පතේ කොටු 12 ටම ගමන් කරයි. එසේ

යන ඔහුට සුබවාදි රාශි බොහොමයකි. එනම් 2, 5, 7, 9, 11 යන රාශි වලදී ඔහු බොහෝ

හොඳ ප්‍රතිඵල උදා කරයි. නමුත් 1, 3, 4, 6, 8, 10, 12 යන රාශි වලදී නම් එතරම් සුබඵල ගෙන දීමට නොහැකිය.

සැබැවින් ම බ්‍රහස්පතී වාසනාව හා භාග්‍යය පිළිබඳ හිමිකරුවාය. පෙර කරන ලද කුසල කර්මවල ඵල විපාක වශයෙන් මෙලොවදී උදා කෙරෙන වාසනාව හා සෞභාග්‍යය පිළිබඳ නිවේදකත්වය බ්‍රහස්පතිට හිමිව ඇත. උපතින් ගුරු බලවත් අය සැබැවින්ම සෞභාග්‍යවත් ජීවිත ගත කරන භාග්‍යවන්තයෝ වෙති.

එසේම ගුරු බලවත්ව උපත ලද්දෝ අංග සම්පූර්ණ, පුෂ්ටිමත් ස්ථුල ශරීර ලද්දෝ වෙති.

ශරීරයේ විශාලත්වයටත් ගෞරවයක් ලැබෙන සේ තරබාරු වූවෝ වෙති. ශක්තිමත් මෙන්ම දීප්තිමත් කෙස් කළඹක්, පළල් නළල් තලයක්, ආකර්ෂණය පැහැදිලි නෙත් සඟලක්, මහත පැහැපත් තොල් සහ කිරි සුදු ලොකු දත් දෙපළක්, ව්‍යක්ත, පැහැදිලි ගැඹුරු කටහඬක් සහිත මුඛයක්ද සහිතව මසින් සරු අණ්ඩාකාර මුහුණක්ද, පළල් ශක්තිමත් පපුවක් ද, යහපත් ශක්තිමත් මස් පිඬු සහිත අවයවයන්ගෙන් යුත් රන්වන් කහ පැහැයට හුරු සමක්ද බැහැරට තරමක් නෙරා ඇති ගරු සරු බවින් සරු වූ උදරයක් ද ඇති උසස් පෞරුෂයකින් හෙබි ශරීරයන්ට හිමිකම් කියති.

එසේම ශරීර සෞඛ්‍යයට සහ සුවතාව වර්ධනය කෙරෙන ක්‍රීඩා ව්‍යායාම ආදී කායික ක්‍රියාකාරකම් ද සිරුර පොහොණි කරවන ගුණාධික කිරි, වෙඬරු, එළඟිතෙල්, ආදී මේදය සහිත සියලු ආහාර ද ස්වාභාවික පැණි රස යුත් මිහිරි ආහාර ද ගුරුටම අයත් වේ.

ගුරු ප්‍රඥාකාරකයා ද වෙයි. ප්‍රඥාව යන්න කුමන අයුරින් නිර්වචනය වුවද, මනුෂ්‍ය ජීවිතයේ නිසි නියම අරුත සහ අගය තේරුම් ගැනීමටත්, තමා අවට සිටින්නේ තමා වැනිම වූ මනුෂ්‍යයන් බව සහ තමාට ඇති අවශ්‍යතා ආශාවන් , රුචි අරුචිකම්, උරුම හිමිකම් අන් සියලූ මනුෂ්‍යයන්ට ද සාධාරණ බව අවබෝධ කර ගැනීමටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙන්ම මනුෂ්‍යයා විසින් ග්‍රහණය කර ගනු ලබන කිසිවක්ම ස්ථිර නොමැති බවත්, එබැවින් කිසිවක් තරයේ ග්‍රහණය නොකළ යුතු බවත් මනුෂ්‍යයත්වයෙන් පිරිපුන්ව ජීවිතය පවත්වා ගෙන යැමෙන් පමණක් සසර ගමන කෙටිකර ගත හැකි බව මෙන්ම එම කෙටි ගමන් මඟද සරුකර ගත හැකි බවත් වටහා ගැනීමට මනුෂ්‍යයාට ප්‍රඥව අත්‍යවශ්‍ය බව පැරැණි පොත පතෙහි සඳහන් බ්‍රහස්පති පිළිබඳ විස්තර සුපරික්ෂාකාරීව විමසන කල පෙනී යන පරම සත්‍යය වේ.

උපතින් ගුරු බලවත් වූවෝ තමාගෙන් තමන්ටත්, එමෙන්ම තමාගෙන් අනුන්ටත් අල්ප හෝ අනර්ථයක්, කරදරයක් නොවන සේ ජීවන වෘත්තිය ගෙන යෑමට දනිති. අනුනට උපකාරයක් මිස අපකාරයක් නොවන සේ කටයුතු කරති. ගුරුගේ බලයට සාපේක්ෂව සිත කය වචනය පිරිසිදුව පවත්වා ගෙන යති. මධ්‍යස්ථව කටයුතු කරමින් පවතින රජය කාගේ වුවද, රාජ්‍ය නීති රීතීන්ට සම්ප්‍රදායයන්ට ගරු කරමින් උසස් ගුණ ධර්මයන්ගෙන් යුක්තව ගෞරවාන්විතව සම්‍යක් දෘෂ්ටිකව ජීවත් වෙති.

ධන කාරකයා වන්නේ ද ගුරුමය. හුදෙක් ලෞකික සම්පත්තීන් සම්පාදනය අරබයා නොව ලොව සියල්ලෙහි පැවැත්මට ධනය අවශ්‍ය වන බැවිනි. මෙහිදී ඩොලර්, රුපියල් ආදිය මෙන්ම ධනය සඳහා වූ විවිධ ආදේශකයන් ද ආදිය පමණක්ම නොව ප්‍රඥාවන්තයන්ට ධනය වූ සතුට මානසික සුව සහනය ද ඒ සඳහා උපකාරී වන භෞතික හා අභෞතික සම්පත් ආදිය ද ධනය යන්නෙන් අදහස් කෙරේ.

චක්‍රවර්තී රාජ්‍යයකට කහවනු රන්මසු රන්රිදී මුතු මැණික් ඇත්දළ ආදියෙන් යුත් අප්‍රමාණ ධන සම්භාරයන්ගෙන් සපිරි මහා භාණ්ඩාගාරයේ සිට, ඈත පිටිසර වෙල්යායක් අසල පිහිටි ගමක කුඩා පැල්පතක් ඉදිරියේ ඉදිකොට ඇති දිළිඳු ගොවි පවුලක් සතු මහා ධනය වූ වී බිස්සක් දක්වා සියලු ධනයන්, ධන සංචිතයන්, භාණ්ඩාගාර ආදියෙහි භාරකාරත්වයකළමනාකාරීත්වය ගුරුට හිමිව ඇත.

වෙළෙඳ කටයුතු (වාණිජ්‍යය) පිළිබඳ වගකීම බුදට හිමිව තිබුණද, ආර්ථිකය සම්බන්ධ සියලු කාර්යයන් මෙහෙයවනු ලබන්නේ බ්‍රහස්පති විසිනි. මේ අනුව ආර්ථික විද්‍යාව, රාජ්‍ය ආර්ථිකය, රජයේ ආදායම් බදු හෝ වෙනත් ආදායම් මාර්ග, රජයේ මධ්‍යම බැංකුව සහ එහි මූල්‍ය සංචිත, රජයේ වත්කම්, විදේශ ආධාර, විදේශ විනිමය, බැංකු, රජයක් දේශයක් පවත්වාගෙන යැමට දායක වන්නා වූ විශාල වශයෙන් ලාභ ලබන වෙළෙඳ ව්‍යාපාර, නිදහස් වෙළෙඍම, ව්‍යාපාර කොටස් සහ ඒවායේ වර්ධනය, ලොව කිසියම් මිනිස් කොට්ඨාසයකට අයත් වන්නා වූ පාලනය වන්නා වූ ලොකු කුඩා භාණ්ඩාගාර යම් ජන සමූහයකගේ පැවැත්ම සඳහා ධනෝත්පාදනයෙන් උපකාරී වන්නා වූ රත්රන් ආදී වටිනා ලෝහ, තේ, රබර්, පොල් ආදී ආර්ථික අගයෙන් උසස් වූ හෝරා, දැවමය වශයෙන් ඉහළ අගයක් ඇති විශාල වෘක්ෂ ආදිය ද යථෝක්ත කරුණුවලට නියම් හෝ අනියම් අයුරින් සම්බන්ධ වන වෘත්තිකයන් ද ගුරුගේ පාලනය යටතේ පවතී.

ගුරු පුත්‍රකාරකයා ලෙස ද ඡ්‍යොතිෂයෙහි දැක්වේ. විශ්වයේ පැවැත්ම තහවුරු කිරීමට විවිධ අයුරින් දායක වන්නා වූ මිනිසාගේ සුබ සිද්ධියට ඇප කැප වන්නා වූ විශ්ව පුත්‍රයන් ලබා දෙන්නේ බ්‍රහස්පති ය. එදා මෙදා තුර ලොව තුළ බිහි වූ විවිධ විෂය ක්ෂේත්‍රයන් හරහා ලොව දිනන්නට සමත් වූ විශ්ව කීර්තියට පත් කිසිදා නොමියෙන නමක් ඇති යම් පුතුන් පිරිසක් මිහිතලය මත වේද, ඒ අමරණීයත්වයට පත් පුත්‍රයෝ බ්‍රහස් පතිගේ බල පරාක්‍රමය යටතේ බිහි වූවෝ වෙති. මතු මතුත් එවන් පුතුන් බිහි කරනු ලබන්නේ ද බ්‍රහස්පතිමය. යමකුගේ ජන්ම පත්‍රයෙහි ගුරු බලවත් ස්ථානයක බලවත්ව පිහිටා ඇති විට ඔහු විශ්වයේ යහ පැවැත්මට කුමන අයුරකින් හෝ දායක වන්නා වූ සද්භාවයෙන් කටයුතු කරන ශ්‍රේෂ්ඨ විජයග්‍රාහී පුතකු වන්නේම ය.

බර හෙවත් ස්කන්ධය එමෙන්ම විශාල යන අරුත් ද ‘ගුරු’ යන සංස්කෘත පදයෙන් ගම්‍ය වෙයි. ගුරු බර හෙවත් ස්කන්ධය ද දැවැන්ත බව විශාල බව ද බ්‍රහස්පතින්ගේ අධිපතිත්වය යටතේම පවතී. මේ අනුව මිහිතලය මත ඇති බර බවින් වැඩි මෙන්ම

විශාලත්වයෙන් වැඩි ජීව අජීව සියල්ලෙහි හිමිකරු ද ගුරු වෙයි. දැවැන්ත පර්වත හා ගල්කුළු විශාල ශරීර ඇති යෝධ මිනිසුන් පමණක් නොව සිවුපාවුන් අතර දැවැන්ත වූ හස්තීන් ද, පක්ෂීන් අතර දැවැන්ත වූ මොණරුන්, ගිජුලිහිණියන් ආදී පක්ෂීන් ද මත්ස්‍යයන් අතර දැවැන්ත වූ තල්මසුන් ද බ්‍රහස්පතිගේ පාලනයට යටත් වේ.

බ්‍රහස්පතිගේ මහ දශා කාලය අවුරුදු 16 කි. කෙනකුගේ ජන්ම පත්‍රයේ මෙම ග්‍රහයා සුබවාදීව සිටිනා විට ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය දශා මහ දශා කාලයේ හිමිකරු වීමට ගුරු ට අවස්ථාව ලැබේ. එය ඔහු ලැබූ මහත් වූ භාග්‍යයකි. ගුරු ගේ දශා කාලය ඉගෙනගන්නා විට ලැබූ විට ඒ පුද්ගලයා අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරනු ඇත. ඒ වගේම ඔහු සහෝදර අන් ග්‍රහයන්ගේ අතුරු දශා කාලද ගුරු හට හිමිය. නමුත් ඒවා කෙටි කාලයන් වේ.

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ අපල දුරු වීමට ශාන්ති කර්ම මෙසේ ය.

 

බ්‍රහස්පති අපල සඳහා ශාන්තිකර්ම

 

බ්‍රහස්පතින්දා දිනවල උතුරු දිශාව හෝ ඊශාන දිශාව බලා බෝධීන් වහන්සේ උදෙසා බෝධි පූජා පැවැත්වීම.

නෙළුම් මල් , කහ පාට හෝ රන්වන් පාට හෝ මල් මාල පූජා තැබීම සඳහා යොදා ගැනීම මැනවි

ගිතෙල් මිශ්‍ර කිරිබත් බෝධියට පූජා කරන්න.

භික්ෂූ, භික්ෂුණී හා ගැබිනි මාතාවන්ට කඩල පූජා කරන්න

භික්ෂු, භික්ෂුණීන්ට දානමාන දී හා උපස්ථාන කිරීම හා සිවුරු අටපිරිකර කහ කුඩ පූජා කිරීම

විහාර මලු බෝ මලු ඇමදීම හා ඒ සඳහා ඉදල් කොසු පූජා කිරීම

ඒරාශ්ටක මාරක අපල යෙදී ඇත්නම් විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවියන්ට සෙත් කවි කීම

අන්තරාය නිවාරණ යන්ත්‍රය හෝ නවගුණ යන්ත්‍රය රත්‍රන් සුරයක දමා පැළදීම.

ශක්‍ර දෙවියන් හා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව සමූහයට පිං අනුමෝදන් කර පිහිට පැතීම

පුෂ්පරාග ගලක් බැඳී රත්‍රන් මුදුවක් පැළදීම

බ්‍රහස්පතින්දා දිනවල දින 21ක් පමණ උක්පැන් සහිත කිරිපිඩු පූජාවක් සමඟින් බෝධි පූජාමය පිංකම් පවත්වා විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් ප්‍රධාන දේව සමූහයාට පිං අනුමෝදන් කරන්න. ගුරු, ඇතුළු නව ග්‍රහ අපල දුරු වීමට පිහිට ප්‍රර්ථනා කරන්න. නවග්‍රහයින්ට පිං දෙන්න. පූජා පැවැත්වීමේදී උතුර හෝ ඊශාන දිශාව බලා පවත්වන්න. එක දිගට ගුරු දිනක ආරම්භ කර දින 21 කාලයක් බෝධි පූජා පැවැත්වීම බෙහෙවින්ම ගුණ දායක වනු ඇත. බෝ ගසට ගරු කිරීම හා සාත්තු කිරීම හා පෝෂණය කිරීම ඉතාම සුබ දායක වනු ඇත. එළගි තෙල්, අබ තෙල්, කොහොබ තෙල් යන වර්ග තුන මිශ්‍ර කළ තෙලෙන් පහන් 21ක් ගුරු දිනක දල්වා පූජා කරන්න. රිදී හෝ රත්‍රන් අලේපිත පත් ඉරුවක “සබ්බ පාපස්ස අකරනං“ යන ගථාව ලියා 108 වාරයක් ජීවම් කර ළඟ තබා ගැනීම ඉගනුම ලබන දරුවන්ට ඉතාම සුබ දායක වනු ඇත. පුෂ්පරාග ගලක් සහිත රන් මුදුවක් තම වෙදැගිල්ලේ පැලදීම ඉතාම ගුණ දායක වනු ඇත.

තමන්ට පහසුවෙන් යාමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන (වට නොකරන ලඳ බෝධියත් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරිසිදු කර මල් ආසන හා අදාළ ස්ථානද පිරිසිදු කිරීමෙන් අනතුරුව සුවඳ දූපයක් දල්වා තෙරුවන්ට තම ඉෂ්ඨ හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පහන් 04 පත්තු කොට කහ මල්, මල් මාලා, කහ කොඩි පුදකර අදාළ බෝධි පූජා ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දින වල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වූ මේ සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ හා ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ඇතුළු ශ්‍රී විශ්ණු දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

එදිනෙදා තමන් කළ යම් පින්කමක් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.

මා හා අප පවුලේ සියලු දෙනා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්බාරය මාගේ හා මගේ පවුලේ අප සියලු දෙනාගේම ඉෂ්ඨ දේවතාවුන්ට වහන්සේලාටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේලාටත් ශ්‍රී විෂ්ණු, කතරගම ඇතුළු සියලු දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේ ලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම

භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර සෙනසුරු, අඟහරු හා සියලු නව ග්‍රහ අපල හා ඒරාෂටක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලාපොරොත්තු මෙම වසර පුරාවට ඉෂ්ට කර නිරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල දුරුකර ශක්තිය ලබා දුන් මැනවි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.

පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත් කතරගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන්

වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.

ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව

සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච

සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී

පුඤා්ඤාාණිමානි අනුමෝධීය

වාසුදේවෝ

පාලේතු මං සතත සහත

හිතාවහන්තු.

කතරගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පින් අනුමෝදන් කරන ගථාව.

කාචරේ දේව ගොවින්දං

රක්කන්තු ලෝක සාසනං

ඒතෙ දේවානූ භාවේන

කන්ද ස්වාමි නමො වරං.

මෙම ගාථා තෙවරක් කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පිං අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.

ගුරුගේ අපලවලට මෙහි පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්මද ඉතාම ගුණදායක වනු ඇත.

අපල කරන අය : අභිමාන යක්‍ෂයා / නීලක් කන්ඩී යක්‍ෂණී

පිහිට පැතිය යුතු අය : ශිව කතරගම දෙවියන් / පුලුටු කාට භෛරව දේවතාවා

බලි ශාන්ති කර්ම : ගුරුගේ දශාවේ මුල කොටසේ අපලවලට වර්ෂාධිපති බලිය ගුරුගේ දශාවෙි මැද කොටසේ අපලවලට අභය කල්‍යාණි බලිය

ගුරුගේ දශාවෙි අග කොටසේ අපලවලට විෂ්ණු රූප බලිය ඇරීමෙන් අපල දුරු වෙයි

ග්‍රහ දාන : රන්, අශ්වයන්, මී පැණි, කහ පැහැති වස්ත්‍ර , ධාන්‍යවලින් සාදන ලද කෑම, ලූණු මල්, සීනි, කහ, පුෂ්පරාග මැණික් දන් දීමෙන් අපල දුරු වෙයි.

ස්නානයට ඖෂධ : සමන් පිචිච මල්, සුදු අඹ, ඉද්ද කොළ, වැල් මී ආදිය තැමිබූ වතුරෙන් ස්නානයෙන් අපල දුරු වේ.

පූජාකළ යුතු මල් : බෙලි මල් හා සියලුම කහ මල්

පැලදිය යුතු පාෂාණ : පුෂ්පරාග

පැලදිය යුතු යන්ත්‍ර : අභිසම්භිධාන යන්ත්‍රය හෝ නරසිංහ යන්ත්‍රය

හිමි වෘක්‍ෂය : බෝ වෘක්‍ෂයට සාත්තු කිරීම, ආවතේව කිරීම, වෘක්‍ෂය ස්පර්ෂයෙන් අපල දුරු වෙයි.

 

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම,

සම්පත් එස් කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.