පක්ෂියා රජවන දවසට බඹරේ වැල්ලෙත් කැරකේ

නොවැම්බර් 10, 2023

මේ මෑතක දවස එක්තරා මහත්මයෙක් ඇවිත් නැකතක් ඉල්ලා සිටියා. ඔහුගේ කේන්දරය ඉදිරිපත් කරමින් තවත් කුලුපගව කතා කරමින් ඉන්න කොට එයාම කිව්වා, ‘කේන්දරයක් ඉදිරිපත් කර හොඳ නැකතක් ගන්න කොට කුරුල්ලා රජවෙන වෙලාවක් තියෙනවනේ. ඒක දෙන්න’ කියලා. මට එතකොට අවබෝධ වුණා, මේ අය කියන කාරණය.

ඡ්‍යොතිෂයේ පළමු අදිරයෙදී අපට පංචාංග ගැන විශාල අවබෝධයක් ලබා දෙනවා. එනම් දිනය, නැකත, තිථිය, යෝගය හා කරණය කියලයි . ඊට පසු ක්‍රමයෙන් දින වශයෙන් රවි දින, කුජ දින, බුධ දින, ගුරු දින, කිවි දින හා ශනිදින, සඳු දින ඉගෙන ගන්නවා. ඊට පසු නැකැත් 27, තිථි 16, යෝග 27 කරණ 12 (චර, තිර අනුව ටිකක් වෙනස් වනවා) ඒවා ඉගෙන ගන්නවා. කලින් සඳහන් කළ පංචාංගයේ “නැකතට” මීට වඩා විශේෂ තැනක් හිමිවන්ට ඕනෑ බව මගේ හැඟීමයි. පංචාංගයේ නැකතක් විශේෂයෙන් ලබා ගන්න යන්නෙ මුදල් රාශියක් යොදවා එහෙමත් නැත්නම් ණය මුදලක් රැගෙන ඒක යොදවා අවශ්‍ය කාරණය ඉටුකර ගැනීමටයි. විශේෂයෙන්ම නැකතක් ගන්නෙ ව්‍යාපාරයක් හෝ නිවෙසක ආරම්භ කිරීමට බව අපි දන්නවා. ඒ මුදල් යෙදවීමේ බලාපොරොත්තුවේ ප්‍රතිඵලය මුළුමනින්ම රඳා පවතින්නෙ මේ ගන්නා නැකත මත බව අපිට තේරුම් ගන්ට පුළුවන්. අපි ආරම්භ කළ නිවෙස හෝ ව්‍යාපාරය කුමන හේතුවකින් හෝ මඟ නැවතුණොත් ඒ අය පත්වන්නේ විශාල කරදරයක බව වැටහෙනවා ඇති. විශේෂයෙන් නැකත මීට මූල බීජය වනවා. අපි කුමන ආගමකට යටත් වුණත් හෝ වැලඳ ගත්තත් ඉදිරියේදී දියුණුව අපේක්ෂිත බොහෝ අය වැඩ ආරම්භ කරන්නෙ නැකතටයි. නැකත වැරදුණොත් ඉවරට ඉවර බව ඔවුන් දන්නවා. ඒ නිසාම “නැකතක” ගුණ අපි කවුරුන් නිවැරැදිව දැනගත යුතු වනවා.

නැකතක් ලබා දීමට පෙර උගත් ඡ්‍යොතිෂ ගුරුතුමා සුබ දිනය, සුබ කාලය, සීහුම් නැකත, තිථිය, වරුව, කාල හෝරාව, පංචම හා ශූක්ෂ්ම කාල හෝරාව, සුබ දිශාව, විස කලාව, යෝගිනිය, නඟින කලාව, බහින කලාව, සඳු සිටින දිශාව, මරු සිටින දිශාව වැනි අත්‍යවශ්‍ය කාරණා ගැන මනා අවබෝධයකින් සිටිය යුතු බව අනිවාර්යයෙන්ම කියනවා.

සමහර විට ඔබ කියාවි නැකතක් ගන්ට කොට මේ ඔක්කොම බලන්ට ඕනෑ නැහැ කියලත්. මොකද ඒක ටිකක් අමාරු නිසා. ඔබ එහෙම හිතුවට මම කිසිම විටෙක ඒ අදහස සමඟ උරණ නැහැ. මෙච්චර කරුණු තිබුණට දක්ෂ ඡ්‍යොතිර්වේදියාගේ තුන්වැනි ඇසට මේ ඔක්කොම කරුණු පෙනෙනවා. අපි නැකතටම නැකැත් දෙන්නෙ නැකත විශ්ව ශක්තිය සමඟ බද්ධ වෙලා තිබෙන නිසා.

බොහෝ දෙනා නැකැත ඉතා සුළුවෙන් හිතනවා. වැරදුණාම බොහොම දුක්වනවා. දුක්වෙනවා විතරක් නොවේ ණය බේරන්ට කණ කර අබරණ පවා විකුනන්ට වන බව අත්දැකීමෙන් කියනවා. අපි හිතමු වැරදිලා හෝ අනවශ්‍ය නැකතක් ලැබිලා ඒ වෙලාවට කාරණය ඇරඹුවා කියලා. වැඩය ආරම්භ කරල මුදල් යටකරලා දින කීපයකින් නිවැසි මූලිකයා අසනීප වනවා. වැඩය කරන අය රෝගී වනවා. අවසානයි නේද? මේවා පවතින ග්‍රහ ශක්තිය නිසා ඇතිවන දේවල් ග්‍රහයන්ට බැන බැන ඉන්න බොහෝ අය මානසිකව වැටණාම ග්‍රහ ශාන්ති කරනවා. සමහර විට එතකොට ප්‍රමාද වැඩි වන්නන් බැරි නැහැ.

ඡ්‍යොතිෂ කරුණු විස්තර කිරීමේ දී ග්‍රහචාරය, ලග්න චාරය ගැනම කිය කිය ඉඳලා වැඩක් නැහැ. එකම ලග්නයේ ඉන්න සැමටම එකම ප්‍රතිඵල දෙන්නෙ නැහැ. අපි ඡ්‍යොතිෂ පේ‍්‍රක්ෂකයන්ට මීට වඩා ප්‍රයෝජන වන දෙයක් ඉදිරිපත් කරන්ට ඕනෑ.

නැකත ගැන දැනගත යුතු බොහෝ කරුණු තිබුණත් වැදගත් වූ කරුණු ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි සම්පත් නැකතක සීහුම් කරල අව තිථියට වැඩ කළොත් මුදල් ලැබේවි. නමුත් ඊට වඩා මුදල් වැයවන රෝග හැදෙනවා. (ආරෝග්‍යා පරමා ලාභා) එහෙම වුණොත් ඔබ ලබන හැම මුදලම රෝග පීඩාවලට වැය කරන්ට වේවි.

නැකතක් ගැන කියන කොටම “පංච පක්ෂී” මනසට එන්න ඕනෑ. එක දවසකට පක්ෂීන් පස් දෙනෙක් පස් විදියේ ගමන් විලාසයක් යනවා. ඒ යන්නේ සුබ දිශාව බලලා. මේ ඔක්කොමටම එක සමාන බලයක් තිබෙනවා. නමුත් එකිනෙකාට ආවේණික වූ දිනයට වේලාවට බලය වැඩියි. ඡ්‍යොතිෂයෙහි සඳහන් පරිදි පංච පක්ෂියා විස්තර කරන්නෙ මෙහෙමයි. එනම් භේරුණ්ඩ, මයුර, කාක, කුක්කුට හා පිංගල කියලා සාමාන්‍ය අපේ භාෂාවෙන් කිව්වොත් රාජාලියා, මොනරා, කපුටා, කුකුලා හා බකමූණා වනවා. මේ හතර දෙනා පංචෝපකාර ගමනක් යනවා. එනම් රජ වන, භෝජන ගන්න, ගමනේ යන, මරු වන හා නිදි වන වේලාව මේ ගමනකට පැය 2 විනාඩි 24ක කාලයක් ගන්නවා. ඔබට අයිති පක්ෂියා ඔබේ කේන්දරයේ ලියා තිබෙනවා. ඒක ඔබටම දැනගත හැකියි. අනික නොදන්නවා නම් අදම දැනගන්න මේවා දැනගන්න ඕනෑ පෑන හසුරවන්ට කලින්. මේ ගමන් විලාසයත් හරියට නැකැත් චක්‍රය වගේ. අපි පුංචි උදාහරණයක් ගනිමු. ඔබ ගන්නවා, අලුතින් නිවෙසක් හදන්න. නැකතක් ඔක්කොම නිවැරැදිව ගත්තා කියමු. හැබැයි ඒ වෙලාවට ඔබේ පක්ෂියා ‘නිදි’ වෙලාව වුණොත් නිවෙස හදන්ට ආරම්භ කරල හරියට දින 7ක් යනකොට මොන කරදරයකින් හෝ වැඩ නවතිනවා. ඔබේ මුදලුත් ශ්‍රමයත් ඔබේ පක්ෂියා වගේ නිදි තමයි. ඔබට එකක් කියන්නම් පක්ෂියා වැරදිලා නැකත වැරදුණොත් නැවත මුලටම එනවා. හදා ගන්න. ඒත් ඒක අමාරු වනවා.

මේ ගමන් විලාසය ඔබට බලාගන්න කැමැති නම් පංචාංග ලිතේ 12 පිටුවේ වගුවක් ලෙසින් ඇති බලාගෙන දියුණුවන්ට. ඔබ මොන විදියේ නැකතක් ගත්තත් මොන කරුණු සුබ වුණත් ඒ වෙලාවට ඔබේ පක්ෂියා නිදි හෝ මරණ උනොත් ‘සොරි’ ම තමයි.

අනික තමයි පංච පක්ෂි බලන කොට එක එක ප්‍රදේශයට කාල ප්‍රමාණය වෙනස් වනවා. ඒ වෙනස් වන වෙලාව සූර්යය උදාව සමඟ කාලය ගළපා අඩු කර ගන්න. ඕනෑම වටිනා වැඩක් නියම පංච පක්ෂියාට අනුව ගත්තොම ආයේ දෙකක් නැහැ ඔබ “ගොඩ” මයි ඡ්‍යොතිෂය කිව්වේ අපට අත්‍යවශ්‍යම ශාස්ත්‍රයක්.

නපුරු වේලාවකට ඔබ ගමනක් යන්ට නැකතක් ගත්තොත් ඒ වෙලාවට ඔබේ පක්ෂියා මර වෙලාවක් නම් ඔබ ආපසු ගෙදර නම් එන්නෙ නැහැ. ඒ බවත් පංච පක්ෂියෙන්ම දැනගන්න.

 

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ජ්‍යෝතීර්වේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.