උපන් මාසයට අනුව අංක විද්‍යාෙවන් අවුරුදු පලාපල

අප්‍රේල් 5, 2024

සුර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ඡ්‍යොතිෂවිද්‍යානුකූලව අලුත් අවුරුදු උදාව ලෙස විග්‍රහ කරන අතර එම රාශි මාරුව සිදුවන කාල හෝරාවේ ග්‍රහ තත්ත්වය ආදි වු කරුණු සැලකිල්ලට ගෙන පලාපල කථනයන් සිදු කරනු ඇත. එසේම අංක විද්‍යානුකුල විග්‍රහයකදි සුර්යයා හෙවත් රවි ග්‍රහයාගේ රාශි මාරුව සැලකිල්ලට ගෙන මාසයේ බලයන් ගණනය කර පුද්ගලයාගේ පෞද්ගලික අංකය දෛවය අංකය සහ වසරේ අංකය ද යොදා ගනිමින් ඔබ උපන් මාසය අනුව පලාපල කථනයන් සිදු කරනු ඇත.

ඒ අනුව 2024 වසරේ අංකය වන්නේ 2 + 0 + 2 + 4= 8 වේ. එය ශනි ග්‍රහයා නියෝජනය කරන අංකයක් වේ. තවද මාසයේ බලය ගණනය කිරීමේදි ඉහත කී පරිදි සුර්යයා ගමන් කරන රාශි අධිපති සැලකිල්ලට ගනි. ඒ අනුව මාර්තු 27 සිට අප්‍රේල් 26 දක්වා ග්‍රහ කම්පනය කුජ ග්‍රහයාටද (අංක 9) අප්‍රේල් 27 සිට මැයි 26 දක්වා ග්‍රහ කම්පනය සිකුරු ග්‍රහයාටද (අංක 6) මැයි 27 සිට ජුනි 26 දක්වා ග්‍රහ කම්පනය බුධ ග්‍රහයාටද (අංක 5) ජුනි 27 සිට ජුලි 26 දක්වා ග්‍රහ කම්පනය සඳු ග්‍රහයාටද (අංක 2) ජුලි 27 සිට අගොස්තු 26 දක්වා ග්‍රහ කම්පනය රවි ග්‍රහයාටද (අංක 1) අගොස්තු 27 සිට සැත්තැම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය බුධ ග්‍රහයාටද (අංක 5) සැත්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය සිකුරු ග්‍රහයාටද (අංක 6) ඔක්තොම්බර් 27 සිට නොවැම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය කුජ ග්‍රහයාටද (අංක 9) නොවැම්බර් 27 සිට දෙසැම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය ගුරු ග්‍රහයටද (අංක 3) දෙසැම්බර් මාසයේ 27 සිට ජනවාරි මාසයේ 26 දක්වා රවි මකර රාශිගත හෙයින් ග්‍රහ කම්පනය ශනි ග්‍රහයාට (අංක 8) ජනවාරි 27 සිට පෙබරවාරි 26 දක්වා රවි කුම්භ රාශිගත හෙයින් එම මාසය තුළ උපන් අය ශනිගේ ග්‍රහ කම්පනයට (අංක 8) පෙබරවාරි 27 සිට මාර්තු 26 දක්වා ග්‍රහ කම්පනය ගුරු ග්‍රහයාටද (අංක 3) හිමිවේ. මේ ආකාරයට මාසයේ බලයන් ගණනය කරන අතර පෞද්ගලික අංකය සහ දෛවය අංකය කුමක් වුවත් ඔබ උපන් මාසය අනුව 2024 අලුත් අවුරුදු උදාවත් සමග 2024 අප්‍රේල් මස සිට 2025 මාර්තු මාසයේ අවසානය දක්වා ඔබ උපන් මාසය අනුව ඔබට මෙම කාලය කෙසේදැයි විමසා බලමු.

 

අප්‍රේල් මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව අප්‍රේල් මාසය ලෙස යෙදෙන්නේ මාර්තු 27 සිට අප්‍රේල් 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා මේෂ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

නොපසුබසින අධිෂ්ඨාන ශක්තියෙන් හොඳ සංවිධාන ශක්තියකින් යුක්ත ඔබට 2024 වසර දී බාධක දුරුවන අලුත් ගමනක ආරම්භයක් සඳහා වසනාව උදාවෙන අතර උපන් ප්‍රදේශයෙන්, උපන් රටින් බැහැරව පවා තම අරමුණු හඹා යන්න මාර්ගය සැලසේ. නමුත් බලාපොරොත්තු නොවන අලාභ හානි සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. ස්ථාන මාරුවීම් සිදුවේ. රැකියාවේ හෝ පදිංචි නිවසෙන් විය හැකිය. ඔබෙන් උදවු ගත් අයම ඔබට ද්‍රෝහි වනු ඇත. එම නිසා නිතරම සැකයකින් ජීවත් වීමට සිදුවන බැවින් වඩාත් කල්පනාකාරී වීමෙන් තත්ත්වය මඟ හරවා ගැනීමට හැකිවනු ඇත.

ආර්ථිකය

හොඳ ඉපයිම් ශක්තියක් ඔබ තුළින් විද්‍යාමාන වන බැවින්ම ආර්ථිකමය සුවිශේෂී දියුණුවක් ඇතිවේ. කාර්මික හා තාක්ෂණික අංශයන්හි නියුතු අයටත් වසර සුබදායක වන අතර, අනපේක්‍ෂිත ධන ලාභ ලැබීම සඳහා වසනාව ඔබට හිමිය. සැලසුම් විශාල වීමත් වියදම්කාරි වීමත් නිසා බිඳ වැටීම්වලට ඉඩකඩක් පවතින බැවින් ප්‍රවේසම් විය යුතුය.

සෞඛ්‍යය

ආහාර ජීර්ණ පද්ධතියේ රෝගයන් ඉස්මතු වන අතර මධ්‍යසාරවලින් වැළකීම සහ දිනපතා ව්‍යායාම කිරිම මඟින් බොහෝ අසනීප වළක්වා ගත හැකිය. හිස සහ මුහුණ සම්බන්ධ අවයව පීඩාවට පත්වීමද සිදුවිය හැකිය. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට මතක තබා ගත යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයට ඉතාමත් යහපත් වසරකි. ඇතැමෙකුට විදෙස් අධ්‍යාපන අවස්ථා පහසුවෙන් හිමිවනු ඇත. ගුප්ත විද්‍යා වැනි විශේෂ විෂයයන් ඉගෙනීමට ද විටෙක පෙලඹීක් ඇති කරවනු ලබයි. ඉගෙනීම් කටයුතු සැලසුම් සහගතව සිදුකර ගත්තොත් වඩාත් ප්‍රතිපලදායී වනු ඇත.

 

මැයි මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මැයි මාසය ලෙස යෙදෙන්නේ අප්‍රේල් 27 සිට මැයි 26 දිනටය. මේ කාල සිමාව රවි ග්‍රහයා වෘෂභ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

කායිකව මෙන්ම මානසිකවද දරාගැනීම අතින් ඉදිරියෙන් සිටින ඔබේ වචනයට හා ක්‍රියාවට වැඩි බලයක් හිමි වන වසරක් වන අතර ස්වාධීන තීන්දු තීරණ ඉතා පහසුවෙන් ක්‍රියාවට නංවන්න හැකියාව ලැබේ. ඔබට වඩා උසස් යැයි සලකන අය වෙතින් රහසිගත උදවු ලැබෙනු ඇත. තවද මිතුරන් සමඟ උත්සව ආදියට සහභාගි වී වැඩි වශයෙන් කෙළිදෙලෙන් ගත කිරීමද වසර පුරා හැකියාව ලැබේ. මියගිය පිරිමි පාර්ශවයේ අයෙකුගේ පිහිට ආරක්‍ෂාව හිමියි. කෙසේ වෙතත් යහපත්ව ජීවත්වීම ඔබ උත්සහ කළ යුතුය. නො එසේ නම් නෛතික ගැටලුවලින් නිදහස්වීමට ඔබට නොහැකි වේ.

ආර්ථිකය

ඔබට ව්‍යාපාරික හැකියාවත් සංවිධානාත්මක හැකියාවත් දෙකම පවතින බැවින් නව රැකියා හා ආදායම් මාර්ග විවරකර ගැනීමටත් මූල්‍ය කළමනාකරණය ගැන වඩාත් සැලකිලිමත් වීමෙන් ඉහළ ධනවත් භාවයකට පත් වීමටත් මේ වසරේ හිමිකම් කිව හැකිය. හදිසි ධනලාභ ද ලැබිය හැකි වසරකි.

සෞඛ්‍යය

සියලු ආකාරයේ ඇබ්බැහිවීම්වලින් ඉවත් වී ප්‍රවේශම් විය යුතුය. අත් පා වේදනා ඇස් රෝග ඇතිවිය හැකි අතර, දරුවන්ගේ අසනීප වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයට ඇති ළැදියාව මෙන්ම ධාරණ ශක්තිය ඉහළ නැඟීම නිබඳව මේ වසර තුළ බලාපොරොත්තු විය හැකිය.

 

ජුනි මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජුනි මාසය ලෙස යෙදෙන්නේ මැයි 27 සිට ජුනි 26 දිනටය. මේ කාල සිමාව රවි ග්‍රහයා මිථුන රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

සමාජයට වඩාත් ප්‍රියමනාප මෙන්ම මානසික වශයෙන් ඉතාම වේගවත් වන ඔබට මෙය නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වසරක් වන අතර නිවස තුළ ඇතිවන යම් බාධාකාරි තත්ත්වයන් තම අධ්‍යාත්මික ගුණ වගාව තුළින් මගහැර ගත හැකිය. පාප මිත්‍රයන් ආශ්‍රයෙන් ඉවත්වීම නුවණට හුරුය. ආදර සම්බන්ධතා සඳහා මඟ විවර වන නමුත් ඒවා ඔබට යහපත් නොවන බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න.

ආර්ථිකය

රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි ඔබට එයට අවස්ථාව හිමි වසරක් වන නමුත් තැන්පත් ධනය ඉතා ප්‍රවේශමෙන් පාලනය කිරිම ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාමට මඟක් වනු ඇත. ආර්ථිකය ගොඩනඟා ගන්නේ බොහෝ විට මනස මෙහෙයවා කරන කටයුතුවලින් බැවින් එනම් විද්‍යාව කලාව සාහිත්‍යය සංගීතය හෝ මනස මෙහෙයවා කරන ඕනෑම ශාස්ත්‍රීය කටයුත්තක් ඔබට යාදේ.

සෞඛ්‍යය

ස්නායු සම්බන්ධ රෝගාබාධයන්, ගොත ගැසීම, පෙනහලු දුර්වල වීම් චර්ම රෝග රුධිරගත අසනීප සහ නිව්මෝනියා තත්ත්වයන් සෑදීමේ වැඩි ඉඩකඩක් පවති.

අධ්‍යාපන

අධ්‍යාපන කටයුතුවලදී බාධාකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් උත්සාහයෙන් කටයුතු සිදුකිරීම වැදගත්වේ. විවිධ භාෂාවන් ශාස්ත්‍ර හැදෑරීමට ප්‍රිය අය සඳහා අවස්ථාව සැලසෙනු ඇත. අධ්‍යාපන කටයුතු සඳහා පදිංචි ස්ථානයෙන් බැහැරව සිටීමටද සිදුවිය හැක.

 

 

ජූලි මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජුලි මාසය ලෙස යෙදෙන්නේ ජුනි 27 සිට ජුලි 28 දිනටය. මේ කාල සිමාව රවි ග්‍රහයා කටක රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයට සාර්ථක විවාහ යෝජනා ඉදිරිපත් වන වසරකි.

සහකරුගේ ඥාතීන්ගෙන් උදවු ලැබීමේ හිමිකමක් පවති. සමීප වැඩිහිටියකුට තරමක් අහිතකර කාලයකි. ධාර්මික ජීවිතයක් ගත කිරීමත් වෙනදාටත් වඩා සැලසුම් සහගතව කටයුතු කිරීමත් යහපත් අනාගතයකට සුබ දායක වනු ඇත.

 

ආර්ථිකය

විදෙස් වෙළෙඳාම් නියුතු අයට වාසිදායක කාලයකි. තරඟකරුවන් අභිබවා යාමේ ශක්තිය හා රාජ්‍ය නීති සහයත් මේ කාලයේ ඔබට නොඅඩුව හිමි වනු ඇත. වසර මැදදී ආර්ථිකමය තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වීම යහපත් වේ. ආයෝජන තැන්පත් ධනය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

සෞඛ්‍යය

පපුව ආශ්‍රිත රෝගාබාධයන්ගේ අවදානම වැඩිය. සෙම, වාතරෝග, සීනි හා කොලෙස්ටර්රෝල් ආදී ආහාර භාවිතයෙන් යම් අහිතකර තත්ත්වයන් ඇති කරනු ඇත. මානසික ආතතියෙන් පෙළීමේ අවකාශයන් වැඩිවන නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

දරුවන් ඇත්නම් ඔවුන්ටත් විභාග ජය අත්වනු ඇත. නව ශිල්ප ශාස්ත්‍ර, ආගම දහම ආදිය ඉගෙනීමට ගුරුවරු හමුවීමද මේ කාලයේදී සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට පදිංචි ස්ථානයෙන් දුරස්ව යාමට ඉඩ සැලසේ.

 

අගෝස්තු මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව අගොස්තු මාසය ලෙස යෙදෙන්නේ ජුලි 27 සිට අගොස්තු 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා සිංහ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ප්‍රබල චරිත ලක්ෂණ සහිත ඉහළ බලාපොරොත්තුවලින් හෙබි ස්වකීය උත්සහයෙන් අධිෂ්ඨානශීලිව නැඟී සිටින පුළුල් හදවතක් සහිත ඔබට ඔබ සතු ඉවසීම හා දරාගැනීමේ ශක්තිය උරගා බැලීමට සදුසුම වසරක් වේ. සොර සතුරු පිඩා ඇතිවිය හැකි බැවින් තමන් සතු ධනය ආරක්ෂා කර ගැනිම අලුතින් ධනය රැස් කරනවාට වඩා යහපත් වේ. හැකිතාත් ධර්මානුකූලව කටයුතු කිරීමට ඔබ වගබලා ගත යුතුය.

ආර්ථිකය

තමාගේ සියලු වියදම් මේ වසර තුළ ඉහළ යන අතර ආදායම් පහළ යනු ඇත. එම නිසා මූල්‍ය කළමනාකරණය ගැන දෙවරක් සිතිය යුතුය. ස්ව උත්සහයෙන් යමක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා කාලය වශයෙන් මේ වසර යහපත් වේ. උත්සාහවන්තව කටයුතු කිරීමෙන් ඉලක්ක වෙත ගමන් කළ හැකිය.

සෞඛ්‍යය

ඔබගේ ආසන්නම සමීපතමයාගේ රෝග තත්ත්වයන් වැඩි විය හැකිය. ඇස්රෝග සහ දත් සම්බන්ධ රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සඳහා පිටස්තර අයකුගෙන් නොසිතු උදවු උපකාර ලැබෙන වසරකි. විශේෂයෙන් ධර්ම ශාස්ත්‍ර හැදැරීමට යොමුවේ. එසේම විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීමට යහපත් වසරකි.

 

සැප්තැම්බර් මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව සැප්තැම්බර් මාසය ලෙස යෙදෙන්නේ අගෝස්තු 27 සිට සැප්තැම්බර් 26 දිනටය. මේ කාල සිමාව රවි ග්‍රහයා කන්‍යා රාශිගතව ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

මේ වසර ඔබට පමණක් සිමා වූ යහපත් වසරක් බව ප්‍රකාශ කරනවාට වඩා ඔබ වටා ඉන්න සියලු දෙනාටම යහපත් වසරක් බව කිව යුතුය. ඔබට ඔබ නොසිතු පුද්ගලයෙකුගෙන් උදවු උපකාර ලැබීම් නිසා හිතට අමුතු අභිමානයක්ද ඇතිවේ. ආදර සම්බන්ධතා ඇතිවේ. පදිංචි පළාතට වඩා පිට පළාත්වලදී තමා හිතනවාටත් වඩා ගරු සැලකිලි හා සාර්ථකත්වයක් උදාවනු ඇත. සහෝදර පාර්ශ්වයටද ඔබ නිසා සාර්ථකත්වයට ළඟාවිය හැකි වසරක් වේ.

ධර්මානුකූලව ජීවත්වීමට ඔබ යොමු වේ. සිතට සැනසිලිදායක කාලයකි. දේශපාලනයේ නිරත අයටත් ඉතා පලදායි කාලසීමාවකි. ලාභදායි විදෙස් සංචාරයක් හෝ වන්දනා ගමනකට යොමුවේ.

ආර්ථිකය

ඔබ නොසිතු මාර්ගවලින් ආදායම් හිමිවනු ඇත. ණය කටයුතුවලින් නිදහස් වීමය හැකියාව ලැබේ. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට ඔබ යොමු වේ. බලාපොරොත්තු අත්හළ ණය මුදලක් ආපසු ලැබෙනු ඇත. එසේත් නැතිනම් හිමිකමක් නිරවුල් වන්නේය. නව නිෂ්පාදනයක් කිරීම කෙරෙහිද සිත යොමුවේ.

සෞඛ්‍යය

ශරීරයේ හෘදය හා වකුගඩු සම්බන්ධ වැඩි අවධානයක් යොමු කිරීමට කරුණු සැලසිය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයට යහපත් වසරක් වේ. විදේශයකදී අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් එයට සුදුසු කාලය මෙය වේ.

 

ඔක්තෝබර් මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ඔක්තෝම්බර් මාසය ලෙස යෙදෙන්නේ සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා තුලා රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

කඩවසම් ආකර්ෂණීය පෙනුමකින් යුත් කලාවට කැමති සහ ඒ සම්බන්ධ ශීල්පීය හැකියාවන් සහිත ඔබට මේ වසර තුළදි පවුල් සම්බන්ධතා තවදුරටත් වර්ධනය වනු ඇත.

සතුරන් මර්දනය වනු ඇත. තමාට වඩා උසස් අය සමග නිතර ඇසුරු කිරීමට ඉඩ සැලසේ. සමාජ සේවා හෝ විනෝද කටයුතු වලට නිතර යොමුවිය හැකි වසරක් වේ. සමීපතම හිතවතෙකු අභාවයක් ද සිදුවිය හැකිය. හදිසි අනතුරු සිදුවිය හැකි බැවින් මේ වසර තුළ ප්‍රවෙසම් විය යුතුය.

ආර්ථිකය

ව්‍යාපාරවලින් සාර්ථකත්වයට පත්විය හැකිය. ණය ගණුදෙනුවලින් ද ලාභ සැලසේ. ධනය ඉපයීමට මහන්සි විය යුතු නොවේ. තම සුදුසුකම් මත රැකියා උසස්වීම් ද ලබා ගත හැකි වනු ඇත.

සෞඛ්‍යය

බෝවන වසංගත රෝග අවදානම සහිත වසරකි. අර්ශස් අමාරු වැඩිවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට සුබයි. විභාග ජය හිමියි.

 

නොවැම්බර් මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව නොවැම්බර් මාසය ලෙස යෙදෙන්නේ ඔක්තොම්බර් 27 සිට නොවැම්බර් 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා වෘශ්චික රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

අසාමාන්‍ය ලෙස මිනිසුන් ආකර්ෂණය කරගැනීමේ හොඳ හැකියාවක් ඇති ඔබ ආගමික කටයුතුවලට මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා වැඩි වශයෙන් යොමුවනු වසරක් බව කිව යුතුය . එසේම දේව ආකර්ෂණය ද නො අඩුව හිමිකර ගනු ලබයි. මියගිය ඥාතීන් වෙතින් පිහිට ආරක්ෂාව සැලසෙනු ඇති අතර යහපත් පුද්ගලයන් ඇසුරකට අඩිතාලම වැටෙනු ඇත. වැඩිහිටි පාර්ශ්වයෙන් උදව් උපකාර නොඅඩුව හිමිවේ. නිවාස කළඑළි වනු ඇත. දරුපල බලාපොරොත්තුවෙන් සිටි අයට සුබ පණිවිඩයක් අසන්න ලැබේ.

ආර්ථිකය

ආර්ථික යහපත උදාවේ. ආදායම් තත්ත්වය නව ව්‍යාපාර හා ආයෝජන තුළින් ඉහළ යනු ඇත. නිරතුරුවම දියුණුවට කටයුතු සැලසෙනු ඇත. එහෙත් වියදම් අසාමානය ලෙස ඉහළ යාමක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. තම තත්ත්වය ගැන සැලිකිලිමත් විය යුතුය. නොඑසේ නම් ඔබගේ නමට කැළලක් වීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

දරුවන්ගේ වියදම් හා සෞඛ්‍ය සඳහාද වියදමක් දැරිමට සිදුවේ. රැවටිලිකාරයන්ගෙන් ආරක්ෂා විය යුතුය.

සෞඛ්‍යය

පිත කෝප වීම නිසා අපහසුතා ඇති වීමය පැහැදිලි ඉඩකඩක් තිබේ. දත් ආශ්‍රිතව මෙන්ම ගෙල අශ්‍රීතව සුළු රෝගාබාධයන් ඇතිවිය හැකි නිසා අවධානයෙන් කටයුතු කළ යුතුය.

අධ්‍යාපනය

අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට මඟ සැලසෙන අතර විභාග ජය නිරන්තරයෙන් අත් පත් වන කාලයක් බව කිව යුතුය. නව පාඨමාලා හැදෑරීමට ඉඩ සැලසෙන අතර ඉගෙනීමටද ඉගැන්වීමටද එකලෙස සුබදායි කාලයකි.

 

දෙසැම්බර් මාසය

රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව දෙසැම්බර් මාසය ලෙස යෙදෙන්නේ නොවැම්බර් 27 සිට දෙසැම්බර් 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා ධනු රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක කරගත හැකි වසරක් බව කිව යුතුය. නමුත් ආර්ථික කටයුතු අසාර්ථක වන බවක් එයින් අදහස් නොවේ. ධනාත්මක සිතුවිලි ඇති වන වසරක් හෙයින් නව ආදායම් මාර්ග විවර කර ගැනීමට කටයුතු සැලසෙනු ඇත. දරුවන්ගෙන් මෙන්ම ගුරු උතුමන් වෙතින් පවා යහපත සැලසෙනු කාලයකි. ආදර සම්බන්ධතා ඇති වන අතර විවාහයන් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වනු ඇත. ප්‍රීති උත්සව ආදියට නිරන්තරයෙන් සහභාගිවීමට අවස්ථාව හිමි වේ.

ආර්ථිකය

වස්තුව මිල මුදල් නිරායාසයකින් යුතුව ඔබ කෙරෙහි ඒකරාශී වන්නේය. ලොතරැයි ජයක් වැනි විශාල ලාභයක් එකවර හිමිවිය හැකිය.

සෞඛ්‍යය

සුළු රෝග පීඩා පහව ගොස් ඔබට කායික හා මානසික යන දෙආකාරයෙන්ම සැනසිල්ල හිමි සුබ වසරක් වේවි.

අධ්‍යාපනය

අන් කවරදාකටත් වඩා ඉගෙනීමේ ළැදියාව කැපී පෙනෙන වසරක් නිසා ඔබ බොහෝ ඇගයීම් පවා අත්පත් කර ගන්නවා ඇත. තරග විභාග පහසුවෙන් ජය ලබන කාලයකි.

 

2025 ජනවාරි මාසය

මේ වසරේ වසරේ අංකය වන්නේ අංක 9 වන අතර රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව ජනවාරි මාසය ලෙස යෙදෙන්නේ දෙසැම්බර් 27 සිට ජනවාරි 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා මකර රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ජනවාරි මාසයේ උපන් දැඩිව ඉහළ නැඟීමේ අශාවෙන් යුක්ත ඔබ ඔබ තුළ පවතින නව නිර්මාණාත්මක හැකියාවෙන් ඵල ප්‍රයෝජන ලැබිය හැකි මෙන්ම තම එම හැකියාවන් තුළින් ඉහළට ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත. නව නිර්මාණයන් තුළින් විදේශයන් ජය ලබා ගැනීමට හැකි කාලයක් උදාවේ. සහෝදර සහෝදරියන්ගෙන් චෝදනා එල්ලවීමට ඉඩ තිබේ.

ආර්ථිකය

ආර්ථික වශයෙන් යහපත් කාලයක් වුවත් මුල්‍ය කළමනාකරණය ගැන දෙවරක් සිතිය යුතුය. අසනිපයක් සම්බන්ධයෙන් මුදල් වියදම් විය හැකිය.

සෞඛ්‍යය

ඇදුම රෝගය සහ ශ්වසන පද්ධතිය සම්බන්ධ අනිකුත් ආබාධ ද ඇතිවිය හැකිය. යහපත් සෞඛ්‍ය සඳහා ධනාත්මකව සිතීම, ප්‍රීතිමත්ව සිටීමේ ක්‍රමවේද අනුගමනය කිරීම, ප්‍රමාණවත් ව්‍යායාම, යහපත් ආහාර රටාවන් ඉතාම සුදුසු වේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයට බාධා පැමිණේ. සිත එකඟකර ගෙන කටයුතු කිරීමෙන් එම තත්ත්වය මඟහැරගත හැකිය.

 

2025 පෙබරවාරි මාසය

මෙම වසරේ වසරේ අංකය වන්නේ අංක 9 වන අතර රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව පෙබරවාරි මාසය ලෙස යෙදෙන්නේ ජනවාරි 27 සිට පෙබරවාරි 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා කුම්භ රාශි ගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ආකර්ෂණීය පෙනුමක් ඇති අධි සංවේදීභාවයෙන් යුක්ත ඔබට මේ කාලය යහපත් හෝ අයහපත් කිව නොහැකිය. එහෙත් ඉලක්ක හඹායාමෙන් අරමුණු ඉටුකරගත හැකිය. සංචාරක කර්මාන්තය සඳහා යොමුවීමට මේ කාලය යහපත් වේ. රිය පැදවීමේදී ප්‍රවේසම් විය යුතුය. උනන්දුව සහ කැපවීම ඔබව සාර්ථකත්වයට ගෙන යනු ඇත.

සෞඛ්‍යය

මුත්‍රාශයේ දුර්වලතාවයන් වකුගඩු ආබාධ පාදවලට සිදුවන අනතුරු සහ වළලුකර පෙරලීම ආදිය සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

අධ්‍යාපන

අධ්‍යාපන කටයුතු සඳහා සුබදායක වසරකි. විභාග කටයුතුවලින්ද ඉහළ සාමාර්ථ්‍යයන් ලබා ගැනීමට වාසනාව උදාවේ.

 

2025 මාර්තු මාසය

මේ වසරේ වසරේ අංකය වන්නේ අංක 9 වන අතර රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව මාර්තු මාසය ලෙස යෙදෙන්නේ පෙබරවාරි 25 සිට මාර්තු 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා මීන රාශිගතව ගමන් කරයි.

ගෘහ ජිවිතය

ජීවිතයේ ඉහළ නැඟීමේ ආශාව අරමුණ සහිත ඔබට නව ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක වන වසරක් වේ. කලක් පැවැති චිත්ත ශක්තිය වර්ධනය වීමත් සමග නවතා දමා ඇති බොහෝ වැඩ කටයුතු නැවත ඇරඹිය හැකි වන අතර නව අදායම් මාර්ග විවර වනු ඇත. දරුවන්ගෙන් මෙන්ම ගුරු උතුමන් වෙතින් පවා යහපත සැලසෙන කාලයකි.

ආර්ථිකය

ගෘහ අශ්‍රිත වගා කටයුතුවලට නිරත අයට සුබයි. ආදායම් වැඩි වනු ඇත. එසේම වැටුප් ආදිය ඉහළ නැඟීමට කටයුතු යෙදෙනු ඇත. එහෙත් රැකියාවේ ස්ථානමාරුවක් සිදුවීමට නියමිතය. එසේ වුවද විදේශ ගමනකට මේ කාලය ඉතා සුදුසු වනු ඇත. වසර මුලදී අධික වියදම් ඇති විය හැකිය.

සෞඛ්‍යය

පාද ආශ්‍රිත තුවාල හෝ යම් අපහසුතාවයක් ඇතිවිය හැකිය. සෙම, වාතාබාධ හා සුළු අනතුරු ද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සඳහා සුබදායක වසරකි. විභාග කටයුතුවලින්ද ඉහළ සාමාර්ථ්‍යයන් ලබා ගැනීමට වාසනාව උදාවේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.