ඇටසැකිල්ලක් සමඟ සටනක්

අප්‍රේල් 19, 2024

මෙතෙක් කතාව...

දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින් එකේ නිදා ගන්නට අවසර දෙන ලෙසයි. බියක් දැනුණ ද පසුව එකඟ වූ මට ඔහු තනිව කාමරයේ නිදා ගැනීමට අකැමැති වූ හේතුව පවසන්නට විය. පැරැණි වළව්වක පදිංචියට ගිය ජෝන් බ්‍රොට්න් නම් තරුණ යුවළ පදිංචිව සිටි මන්දිරයේ සැරිසරන අවතාරයක් එංගලන්ත සංචාරයක් අවසානයේ වළව්වේ පැවැති උත්සවයකින් පසු නිදා සිටි ඔහුගේ ඇඳ කෙළවර හිඳගෙන සිටිනු දුටු බව ද එය සිහිනයක් නොව සැබෑවක් බව දැනගත් පසු කිසි දිනෙක නොවූ විරූ හැඟීමකින් ඇඟ කිළිපොලා ගිය බවද ඔහු පැවසීය.

 

අද එතැන් සිට....

ඵ් සමඟම මගේ මනස තුළ ඉස්මතු වෙමින් ආ ඇතැම් සිදුවීම් ගැන කල්පනා වෙද්දී අමනුෂ්‍ය රූපය කෙරෙහි වූ භීතිය මඳක් අඩු වී කෝපයක් මතු වෙන්නට පටන් ගත්තා. බ්‍රෝට්න් විසින් මා රවටා මෙහි කැඳවාගෙන පැමිණ ඇති බවත් , රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව ඔවුන් මා හොල්මනකට කොයි ආකාරයෙන් මුහුණ දෙන්නේ දැයි යන්න ගැන ඔට්ටු අල්ලන්නට ඇති නොවේද කියාත් මට කල්පනා වුණා. සමහර විට මේ අමනුෂ්‍යයා දැක විලාපයක් නඟන තුරු ඔවුන් බලා සිටිනවා ඇත කියාත් මට සිතුණා.

බ්‍රෝට්න් හා මිතුරන් මීට පෙර නොයෙකුත් පුද්ගලයන් මේ ආකාරයට මන්දිරයට කැඳවා මෙවැනි ඔට්ටු අල්ලා සතුටු වන්නට ඇත යන හැඟීම මා තුළ ගොඩනැගුණේ බරපතළ කෝපයක් ද සමඟයි. අවතාරය දුටු සැණින් මා තුළ ඇති වූ භීතිය ක්ෂණික කෝපයක් බවට පත්වූයේ මා ඉදිරියේ සිටින්නේ අමනුෂ්‍යයෙක් නොව කෘතිමව සාදා මා බියපත් කරන්නට තැබූ රූකඩයක්ය යන හැඟීම ඇති කරමින්. කෝපයෙන් උමතු වූ මම ඉදිරියට පැන අවතාරයට ඵල්ල කළ පළමු පහරින්ම ඇටසැකිල්ලේ හිස ගැලවී බිමට වැටුණා. ඵ් සමඟම හිස් කබලට එල්ල කළ පා පහරින් ඵය ඇඳ යටට පෙරළී ගොස් නැවතත් ආපසු පෙරළෙමින් පිටතට ආවා. මා ඵය අතට ගෙන කොතෙක් වේගයෙන් පොළවේ ගසනු ලැබුවේද යත්, කැබලි ගණනාවක් ලෙස කුඩු පට්ටම් වී ගියා. ඵතැනින් නොනැවතුණ මා අවතාරයේ ඉලඇට කූඩුව ඔසවා අසල වූ කණුවක ගසා කැලිවලට කඩා දැම්මා. ඉතා සියුම් දුවිල්ලක් අවට විසිර යද්දී අවතාරය පොරවාගෙන සිටි රෙදි කඩමල්ල ඉරා , විසිකළ මා ඇටසැකිල්ලේ අතපය දණහිසට තබා දෙකට තුනට කඩා දැම්මා. අනතුරුව බිම වැටී තිබූ හිස් කබලේ කැබැල්ලක් ද අහුලා ගනිමින් බ්‍රෝට්න්ගේ කාමරය වෙත පිය නැගුවේ තවමත් පහ නොවූ කෝපයෙන් යුතුවයි.

ඇටසැකිල්ලට පහර දීමේදී මගේ අතක් ගැඹුරට කැපී රුධිරය වෑහෙන බවත් , අහුලා ගත් ඇටකැබැල්ල ඉන් තෙත්වී ඇති බවත් මට පෙනී ගියේ ඒ අතරතුරයි. දහදියෙන් තෙත් වුණු හා කෝපයෙන් වේව්ලන ගතින් යුතුව බ්‍රෝට්න්ගේ කාමරය ඉදිරියට ගිය මා වේගවත් පා පහරක් ඔහුගේ කාමරයේ දොරට ඵල්ල කළා. දැල්වුණු විදුලි පහනක ආලෝකය යටතේ භීතියෙන් ගුලි ගැසුණු බ්‍රෝට්න් යහන කෙළවරට වී සිටියා. නමුත් මා ඔහු සිටින තත්වය ගැන කිසිම හැඟීමකින් තොරව ඔහුට කෝපයෙන් බැණ වැදුණා. බ්‍රෝට්න් තම මිතුරන් හා ඵක්ව මා බියගන්වන්නට සැලසුම් කළ නීච උපක්‍රමය ගැනත්, මින් ඔබ්බට කිසිවෙකු රැවටිය නොහැකි ලෙසට මා එය කුඩු පට්ටම් කර දැමූ බවත් ඔහුට කියා සිටියේ මා අත තිබූ මිනිස් ඇට කැබැල්ල ඔහු දෙසට විසිකර දමමින්, එහෙත් මේ කිසිදු දරුණු චෝදනාවක් හමුවේ බ්‍රෝට්න් ඵක වචනයක්වත් කතා කළේ නැහැ. ඇත්ත වශයෙන් කියනවා නම් ඔහුට වචනයක් හෝ පිටකර ගන්නට බැරි ආකාරයට උගුර කට වියළී තිබුණා. මුවෙහි කෙළ සි¼දී වියළී ගොස් තිබූ දෙතොල් දිවෙන් තෙමාගත් ඔහු හස්ත මුද්‍රාවෙන් කියා සිටියේ මගේ චෝදනා සාධාරණ නොවන බවයි.

මේ අතර බලවත් සේ සුදුමැළි වු මුහුණින් යුතුව බ්‍රෝට්න් මහත්මිය අප දෙදෙනා අතරට දිව ආවා. ඉකිබිඳීමින් ඇගේ සැමියා අසල වාඩි වූ බ්‍රෝට්න් මහත්මිය ආයාචනාත්මකව ඉල්ලා සිටියේ දෙවියන්ගේ නාමයෙන් සිදු වූයේ කුමක්දැයි තමාට ද පවසන ලෙසයි. මේ වන විටත් පහ නොවූ කෝපයෙන් සිටි, මම ඉතා රළු ආකාරයට ඇයගේ සැමියා හා මිතුරන් එක්ව මා බිය කරන්නට අටවා තැබූ රූකඩය ගැන ඇයට පැවසුවා. මේ සියල්ලම අසා සිටියදී තම දිවෙන් දෙතොල් තෙත් කර ගන්නවා හැර බ්‍රෝට්න් කිසිවක් කියන්නට උත්සහා කළේවත් නැති බව මට හොඳට මතකයි. ඒ අවස්ථාවේදී කෝපයෙන් උමතුව සිටි මා ජෝන් බ්‍රෝට්න්ට පමණක් නොව ඔවුන්ගේ අහිංසක බිරිඳට දරුණු ලෙස චෝදනා කළ බව කිව යුතුයි. “ ඔබලා විසින් සිදු කළේ හොඳ මිතුරෙකු හෝ මිතුරියක විසින් කිසි දිනෙක නොකළ යුතු වැඩක්. ඒ නිසා අපේ මිතුදම මෙතෙකින් අවසානයි. නැවත කිසිදිනක මා ඔබලාගේ මුහුණු දකින්නට තර්න්ලේ මැදුරට පැමිණෙන්නේ නෑ . ඒ් වගේම ඔයගොල්ලන්ගේ නරක විහිළුවේ ප්‍රතිඵලයක් ලෙස මෙයත් ළඟ තබා ගත්න” මෙසේ කියූ මා සුරතෙහි රැ¼දී තිබු මගේ රුධිරයද තැවරුණු මිනිස් ඇටකැබැල්ල ඔවුන් ඉදිරියේ බිමට දැම්මා.

නමුත් එම මිනිස් අස්ථි කොටස දුටු වනම බ්‍රෝට්න් කොතෙක් බියට පත්වූවාද යත් කිසිදිනක පිරිමියෙක් නොනඟන තාලයේ විලාපයක් මුවින් පිට කළා. මගේ අතෙහි වූ තුවාලයෙන් ගලා ගිය රුධිරයද ඵහි තැවරී තිබීම නිසා ඔහු තවත් අවුල් වූවායයි මම සිතුවා. කාමරයේ ඔහුත් ඇතුළුව අප දෙදෙනෙකු සිටියත් බ්‍රෝට්න්ගේ බියෙන් තැති ගැන්වුණු ඉරියව් මොන ආකාරයකින්වත් වෙනස් වූයේ නැහැ. අසිහියෙන් මෙන් ඇඳ කෙළවර දක්වා පසුපසට යමින් ඔහු යමක් මුමුණන්නට පටන් ගත්තා.

“ සමහර විට... ඔව්.. තව ටිකකින් ” වැනි වචන ඔහුගේ තොල් අතරින් පිටවුණ බව මට ඇසුණා. මේ මිමිණුමත් සමඟ තව තවත් පිටුපසට ගිය ඔහු ඵක්වරම බිමට ඇද වැටුණා. ඒ සමඟම ඔහුගේ අතක් වැදී බිම වැටී තිබූ අස්ථි කැබැල්ල දොර දෙසට විසිවී ගියා. බිම ඇද වැටීමෙන් පසුව වුවත් ඔහුගේ යමක් කෙරෙහි වූ අවධානය ඉවතකට යොමු වුණේ නැහැ. මා ඔහුව නැගිටුවා යළිත් ඇඳ මත වාඩිකරවනු ලැබුවත් ඔහු තුළ වු භ්‍රාන්තිය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඉතා බරපතළ රහසක් පවසන්නාක් මෙන් ඔහු මා දෙසට සමීපවී මෙසේ පැවසුවා.

“ ඔන්න කොල්වින් ඔන්න.. ඔන්න... හොඳීන් ඇහුම්කන් දෙන්න කොල්වින්...” බ්‍රෝට්න් අසිහියෙන් මෙන් එක දිගට මුමුණන්නට පටන් ගත්තා.

ඉන් අනතුරුව ඉතා නිහඬව පිටතින් වූ අන්ධකාර රාත්‍රියට සවන් යොමු කරමින් අප තිදෙනා පාෂාණීභූතව සිටියා. එතැන් සිට ගෙවී ගිය තත්පර ගණනාවක කාල පරාසයකට පසු යමකු කොරිඩෝරය දිගේ ඇවිදගෙන එන ශබ්දයක් ඇසෙන්නට පටන් ගත්තා. ඔප දැමූ ඕක් දැවයෙන් සකස්කර තිබූ කොරිඩෝරය දිගේ එම හඬ ටිකෙන් ටික අප සිටි කාමරය දෙසට ඇදී එත්ම , එම හඬ නම් කිසිසේත්ම ලේ මස් සහිත මනුෂ්‍යයෙකු පා තබා එන හඬක් නම් නොවන බවත්, පැහැදිලිවම ඒ අඩි ශබ්දය ඇටසැකිල්ලක පා පොළොවේ වදින හඬක් බවත් මට අතැඹුලක් සේ හැඟී ගියේ මා මීට පෙර ඇටසැකිළි ඇවිදින හඬ අසා තිබුණ නිසා නම් නොවේ.

බ්‍රෝට්න් තම බිරියගේ අතින් අල්ලා තමන් වෙතට ළං කර ගත් අතර , ඇය බියෙන් සුදුමැළි වූ මුහුණ තම සැමියාගේ පපුව මත සඟවා ගත්තා. ඊළඟ ක්ෂණය තුළ බ්‍රෝට්න් ඇඳමත වු කොට්ටයකින් සිය මුහුණ වසාගනිමින් කාමරයේ විදුලි පහන නිවා දැම්මා. ඒ බියකරු අඩි ශබ්දය කෙමෙන් කෙමෙන් අප සිටි කාමරයේ දොරකඩ වෙත ළඟාවෙද්දී ඇත්තෙන්ම මට නම් හැඟී ගියේ අප රැගෙන යන්නට රාක්ෂයෙකු පැමිණෙන්නාක් බඳු හැඟීමක්.

දොර ළඟට පැමිණි අද්භූත බලවේගය යම්කිසි දෙයක නිරත වූ බව මට හැඟී ගියා.

ඒ නිමේෂය තුළ මට ඇසුණු අනෙක් ශබ්දය වූයේ තම බිරියද තුරුළු කරගත් බ්‍රෝට්න් සිහින් හඬින් යාඥා කරන හඬයි.

මේ අතර තුර මේ හිතෛෂිවන්ත අවංක දෙපළට නපුරු ලෙස බැණ වැදීම ගැන මා මටම දහස්වරක් ශාප කරගත්තා. මේ මොහොතේදී දොරටුව අසල සිට පෙර කී පියවර හඬ කෙමෙන් කෙමෙන් ඈතට ඇදී යන අයුරු යළිත් අපට ඇසෙන්නට පටන් ගත්තා. මැරෙන තරමට බියපත්ව සිටියත් මේ අද්භූත බලවේගය ඈතට ඇදී යද්දී මට නොනැඟිට සිටින්නට බැරි වුණා. ඉතින් මම ඉතා ප්‍රවේශමෙන් කාමරයේ දොර විවෘත කර කොරිඩෝරයේ සිසාරා නෙත් හෙලුවා.

එහි අන්ධකාර අන්තයේ යම්කිසි ඡායාවක් ඇවිද යන අයුරුත් එක්වරම එය අතුරුදන්ව ගිය ආකාරයත් මම දුටුවා. යළි මා හට දක්නට ලැබුණේ බ්‍රෝට්න් මහත්මිය සිහිසුන්ව සිටින අයුරුයි. බ්‍රෝට්න් ඉතාමත් කලබලයට පත්ව සිටි අතර විනාඩි දහයක පමණ උත්සාහයකින් අනතුරුව බ්‍රෝට්න් මහත්මියට සිහි එළවා ගන්නට අප සමත් වුණා. බ්‍රෝට්න් දිගටම යාඥා කිරීමේ යෙදී සිටි අතර, එක් වරම මා දුටුවේ කාමරයේ දාර අසල වැටී තිබුණ මීනි ඇට කැබැල්ල අතුරුදන්ව ඇති අයුරුයි!

ඒ සමඟම මා නැවතත් තැතිගත් බව වටහා ගත් බ්‍රෝට්න් යාඥාව නවතා මගෙන් ඇසුවේ “ මා ඇයත් සමඟ කතා කළේ නැහැ නොවේද ?” කියායි. ඔහු ඇය යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ මේ ඇවිද ආවේ කන්‍යා සොහොයුරියගේ අවතාරය යයි සිතාගෙන වන්නට පුළුවන්. මොනවා වුණත් ඔහුගේ ප්‍රශ්නයට උත්තර දෙන්නට මා මහන්සි නොවිය යුතුව තිබුණේ සිදු වූ දේ ඉතා හොඳීන් අප තිදෙනාම දැන සිටි නිසයි. ඉතින් අප තිදෙනා බියෙන් ගැහෙමින් ඵදින රාත්‍රිය බ්‍රෝට්න්ගේ කාමරය තුළ ගත කළා.

අලුයම වන විට බ්‍රෝට්න් මහත්මිය නින්දට වැටුණත් සිහිනයෙන් බිය වී කෑ ගසාගෙන නැගිට්ටා. බ්‍රෝට්න් නින්දට නොවැටුණත් පැහැදිලිවම ඔහු සිටියේ පියවි සිහියෙන් නම් නොවේ. කතා කරගත නොහැකි තරමේ කම්පනයකින් පසුවූ බ්‍රෝට්න් මහත්මිය තම සැමියාගේ අත තදින් ග්‍රහණය කරගෙන සිටියේ යම් මොහොතක ඔහු තමාව දමා දිව යාවි යයි කියන සැකයකින් යුතුව වාගේ.

ඒ් අතරතුර බ්‍රෝට්න් බැන්ඩේජ් පටියකින් මගේ අත ඉතා හොඳීන් වෙලා දමනු ලැබුවේ ඉතා කරුණාවන්ත ආකාරයකින්. මගේ බැණ වැදීම් නිසා ඔහුගේ සිත පොඩ්ඩක්වත් රිදී නොතිබුණු බව ඔහුගේ මුහුණින් පිළිඹිඹු වුණා.

මැඳුරේ ප්‍රධාන සේවකයා වන චැප්ටන් පැමිණ දොරට තට්ටු කර විවෘත කරන මොහොතේවත් අපගේ ඉරියව් වෙනස් වුණේ නැහැ. ආයාසයෙන් කටහඬ අවදි කරගත් බ්‍රෝට්න් ඔහුව අමතා තව විනාඩි දහයකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

මා හැකි ඉක්මනින් මින් පිටව යන බව ඔවුන් දෙදෙනාට පැවසුවත් , ඒ මොහොතේ මගේ කාමරය තුළට යාමට තරම්වත් ධෛර්යයක් තිබුණේ නැතැයි කියන්නට මම මේ මොහොතේදීවත් පොඩ්ඩක්වත් ලැජ්ජා වෙන්නේ නැහැ. හොඳ මිතුරෙකු සේ නැඟී සිටි බ්‍රෝට්න් සමඟ කාමරය වෙත පැමිණි බ්‍රෝට්න් මහත්මියද යළිත් වරක් එක සේ තැති ගැණුනේ මවිසින් කුඩු පට්ටම් කර දැමු ඇටසැකිල්ලේ එක කැබැල්ලක්වත් එහි දක්නට නොලැබීම නිසයි. කාමරයට හොඳීන් හිරු එළිය වැටී තිබූ හෙයින් පැහැදිලිව ඇඳ ඇතිරිලි හා පලස මතට මගේ අතින් ගලා ගිය රුධිරයේ පැල්ලම් පෙනුණා."

කොල්වින්ට කියන්නට ඉතිරි වූයේ තත්පරයක් හෝ නොසිට තර්න්වේල් මන්දිරයෙන් පිටවී පැමිණි ආකාරය පමණයි.

උදෑසන හිරු කිරණ නෞකා තට්ටුව මතට වැටෙමින් තිබූ අතර මම කොල්වින්ද කැටුව මගේ කැබින් කාමරය කරා පිය නැගුවෙමි. කාමරයට පැමිණි ඔහු නින්දක් ලබා ගැනීමට පෙර මෙසේ පැවසුවා.

“ ඔබ මගේ කතාවට ඇහුම්කන් දුන්නා. දැන් මට හිත සැහැල්ලුවෙන් නිදා ගන්නට පුළුවන් ”

*** නිමි ***

 

(පර්සිවෙල් ලන්ඩන්ගේ කතාවක් ඇසුරින් පරිවර්තනය කළේ)

 

 

තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.