නිවෙසක පඩිපෙළ ගැන ඔබ දැනුම්වත් ද?

පෙබරවාරි 10, 2023

 

නිවෙසක් යනු සෑම කෙනකුටම සැප, නීරෝගිබව, ආයුබල හා සතුට පෙරදැරිව වාසයට සුදුසු ස්ථානයකි. පැරණි ආචාර්යවරුන්ගේ ඉගැන්වීම අනුව ඒ සියලුම සම්පත් එක්තැන්වන නිවෙසක් නිර්මාණය වන්නේ වාස්තු විද්‍යානුකූලව නිවෙස ගොඩනැඟුවොත් පමණි.

 

එදා රජවරු, සිටුවරු මහාමන්දිර ඉදිකර වසර ගණනාවක් තම කීර්තිය, තේජස පවත්වාගෙන විරාජමානව වැජඹී ඇත්තේ ඒවා වාස්තු විද්‍යානුකූලව ඉදිකළ නිසයි. එදා රාජ මන්දිරවල සොල්දර නමින් උඩුමහලක් සාදා එයට නැඟීමට ලී වලින් තරප්පු පෙළක් සාදා ගන්නා ලදී. අතීතයේ ලී සුලබ වූ අතර, ලී වල වාස්තු විද්‍යාවට අනුව වාසනාව, සෞභාග්‍ය උදාවීමේ ගුණයක් ද පවතින බැවින් ලී වලින් තරප්පු පේළිය ඉදිකර ඇත.

තට්ටු නිවාසවල අද බොහෝවිට පඩිපෙළ සකසනු ලබන්නේ කොන්ක්‍රීට්වලින් හෝ යකඩවලිනි. කොන්ක්‍රීට් හෝ යකඩවලින් වුවද පඩිපෙළ වාස්තු විද්‍යානුකූලව සාදා නොගතහොත් නිවැසියන්ට බොහෝ කරදර පීඩාවලට ලක්වීමට ඉඩ ඇත.

යකඩවලින් නිවස ඇතුළත පඩිපෙළ සෑදීම එතරම් සුබදායක නොවේ. ඒ අකුණුසැර මෙන්ම විදුලියෙන්ද ඇතිවන ආපදාවන්ටද මුහුණදීමට සිදුවිය හැකි බැවිනි.

නිවෙසක පඩිපෙළ තනි කෙළින් දැමීම නුසුදුසුවන අතර, එය මැදදී හරවා සෑදිය යුතුය. මෙහිදී පඩිපෙළ හැරවිය යුත්තේ දකුණු පැත්තටය. වම් පැත්තට හරවා සෑදීම දෝෂ සහිත වේ. මෙහිදී පඩි සුබ ගණනක් ඇතිව දැමිය යුතුයි. එය ගණන් කිරීමේ දී විවිධ ක්‍රම භාවිතා කරයි. මෙහිදී නඟිනවා, බහිනවා, දියුණුව, නොදියුණුව ආදී ක්‍රම භාවිත කරයි. පඩිපෙළ සඳහා ඔත්තේ පඩි සංඛ්‍යාවක් යොදා ගැනීම සුබදායක වේ. එමෙන්ම පඩිපෙළ යනු නිවසක මර්මස්ථානයකි.

නිසි පරිදි නියමිත ගණනට නියමිත දිශාවට හරවා ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර මේවා නොසලකා කටයුතු කිරීමෙන් නොසිතූ ලෙඩදුක්, නිවෙසේ අසමගියට මෙන්ම නිවෙසේ ඉදිරි කටයුතුවල ප්‍රමාදතාද සිදුකරයි.

විශේෂයෙන් නිවෙසේ පඩිපෙළ දැමීමේ දී දකුණු පැතත්තට හරවා ඉදිකිරීමෙන්, නිවෙසේ වාසය කරන පිරිසගේ ආර්ථික, මානසික හා සමාජීය තත්ත්වය වර්ධනය වන අතර සෙසු අය අතර පිළිගැනීමක්ද ඇති කරයි. පඩිපෙළෙහි බැස්ම බස්නාහිරට තබා සෑදීමද දෝෂයක් වන අතර ආර්ථිකයේ බැස්මක් මිස නැඟීමක් ඇති නොකරයි. කොපමණ මුදල් ඉපැයුවත් ඉතිරියත් නැත. එබැවින් පඩිපෙළ ඉදිකිරීමේ දී බස්නාහිරද සුබ දිශාවක් නොවේ. පඩි පෙළක් ඉදිරියෙන් දොර උළුවස්ස තැබීම අසුබ වන අතර නිවෙසට රැගෙන එන දේ නිවෙසේ රැඳීමක් සිදු නොකරයි.

 

වාස්තු විද්‍යාවේදී වාස්තු විද්‍යා උපදේශක

සුනිල් කුමාර වත්තගේ

 

සටහන - ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.