ගෙදරක හතර පැත්තටම දොරවල් තැබීම සුබද?

අප්‍රේල් 26, 2024

 

ඕනෑම නිවෙසක් පරීක්ෂා කිරීමේදී දොරවල්, ජනේල සංඛ්‍යාව ගැන බැලීම මූලික අවශ්‍යතාවක් ලෙස බොහෝ වාස්තු ශිල්පීහු සලකති. එහි සත්‍ය අසත්‍යතාව කවර තරම්ද යන්න කෙසේ වෙතත් නිවෙසක දොරවල් හා ජනේල පිහිටුවා ඇති ආකාරය නම් ඉඳුරාම නිවැසියනට බලපාන බව ආකාර ගණනාවකින් පැහැදිලි කළ හැකියි. එසේ වුවත් අප මෙහිදී පැහැදිලි කර ගැනීමට වෑයම් කරන්නේ ඒවායෙන් වාස්තුමය විග්‍රහය පිළිබඳව පමණි.

පුරාතන සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයට අනුව දොරවල් පිහිටුවීමේ ආකාර අනුව ගෘහ ආකාර 16ක් දක්වා තිබේ. එහිදී ඒ ඒ දොරවල් ප්‍රධාන දිශාවන් හතර අනුව වර්ග කරමින් ගෘහ ආකාර දක්වනු ලැබේ. මෙහිදී ඇති වන විවිධ ගැටලු නිරවුල් කර ගනු සඳහා මේ ගෘහ වර්ගීකරණය තවදුරටත් පැහැදිලි කර ගනිමු. නිදසුනක් ලෙස උතුරු දිශාවට පිහිටා ඇති බිත්තියක යම් දොරක් පිහිටා ඇත්නම් එය උතුරේ දොරක් ලෙස නම් කිරීම මෙහිදී සිදු වේ. ඒ ආකාරයටම අනෙකුත් ප්‍රධාන දිශාවන් තුන වන නැඟෙනහිර, දකුණ හා බස්නාහිර පිළිබඳව ද තත්ත්වය මෙබඳුම වේ. අනෙකුත් වාස්තු කටයුතුවලදී අනු දිශාවන් වන ඊශාන, ගිනිකොන, නිරිත හා වයඹ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බවක් මෙහිදි නොපෙනේ. එය කෙතරම් ප්‍රායෝගිකද නිවරැදිද යන්න පසෙක තබා මේ වර්ගීකරණයේ ස්වභාවය අපි තේරුම් ගැනීමට වෑයම් කරමු.

මේ අනුව මේ වර්ගීකරණයේ පළමුවන ගෘහ වර්ගය වන ප්‍රධාන දිශා හතරටම දොරවල් නොමැති ඉහළින් හා පහළින් නිවසට ඇතුළුවීම දක්වා ඇති එක්ටැම් ගෙවල් වැනි හෝ බංකර වැනි හෝ වන නිවෙස ධ්‍රැව නම් ගෘහයයි. මෙයින් අනතුරුව දොරවල් ප්‍රධාන දිශාවන් අනුව විවිධාකාරයෙන් දැක්වෙන ගෘහ ආකාර දක්වා තිබේ. ඒවා අතරෙන්ද දිශා හතරටම දොරවල් පිහිටුවා තිබීම අතිශයින් යහපත් ප්‍රතිඵල ගෙන එන බව සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ පැහැදිලිව දක්වා තිබේ. එබැවින් අපට ඉදිකිරීම් සැලසුම් කිරීමේදී හැකි සෑම අවස්ථාවකදීම මේ ආකාරයට ප්‍රධාන දිශාවන් හතරටම දොරවල් පිහිටුවීම කළ යුතු බව අපට අවධාරණය කළ හැකියි.

එසේ වුවත් අද වන විට නූතන වාස්තු විද්‍යාවේ එන අන්තරීක්ෂ (Cosmic) ශක්ති සංසරණය පිළිබඳ සිද්ධාන්ත අනුව යමින් මෙකී ප්‍රධාන දිශාවන් හතරටම දොරවල් තැබීම පිළිබඳ අදහස තවදුරටත් සියුම්ව විග්‍රහයට ලක් කළ හැකියි. මේ සඳහා විවිධ ව්‍යතිරේකයන් දැක්වීමද ඒ අනුව සිදු කළ යුතු වේ.

නිදසුන් කීපයක් මේ සඳහා ගෙන බලමු. අප පුරාණ පොතට අනුව හරියටම ප්‍රධාන දිශාවනට අනුව පිහිටා ඇති හතරැස් නිවෙසක් ගෙන බලමු. එවැනි නිවාසයන්හි දිශා අට සලකුණු කිරීමේදී ප්‍රධාන පිටත බිත්ති සතරෙහි මැද කොටස් හතර පමණක් ප්‍රධාන දිශාවන්ටත් ඉදිකිරීමේ මුළු සතරට ඊශාන, ගිනිකොන, නිරිත හා වයඹ යන අනුදිශාවනටත්, අයත් වන බව සරලව වටහා ගත හැකියි. මේ අනුව පෙර පැවැති ප්‍රධාන දිශා අනුව පමණක් කෙරෙන විග්‍රහය අනු දිශාවනටත් අදාළව පුළුල් කොට දැක්විය යුතු වේ. එසේ වුවත් එය යමකුට සිහියෙන් රඳවා ගත නොහැකි තරම් සංකීර්ණ වන බැවින් ඒ වෙනුවට අපට වර්තමානයේ කළ හැක්කේ ශක්ති සංසරණය පිළිබඳ ඍජු තාර්කික විග්‍රහයකට යෑමයි.

දැන් අපි අනුදිශාවනට බිත්ති පිහිටා ඇති හතරැස් ඉදිකිරීමක් ගෙන බලමු. එවිට බිත්ති හතරේ මැදට වන්නට අනුදිශාවන් හා මුලු හතරට ප්‍රධාන දිශාවන් යෙදෙන බව පැහැදිලි වනු ඇත. එවිට විග්‍රහය පෙර කී තත්ත්වයටත් වඩා ව්‍යාකූල වනු ඇත. දැනට ඒ සඳහා සිදු කරන වඩාත් ප්‍රධාන දිශාවනට ඇති නැමියාව අනුව ගෘහ ආකාර විග්‍රහය එතරම් ශක්තිමත් තර්කානුකූල අදහසක් නොවේ.

මීළඟට වර්තමානයේ ප්‍රායෝගිකව අපට දක්නට ලැබෙන හතරැස් නොවන ඉදිකිරීම් පිළිබඳ විග්‍රහයට යෑමේදී මේ ව්‍යාකූලභාවය මෙයටත් වඩා වැඩි වන බවත් ඒ සඳහා අද ශිල්පීන් විසින් දෙන “බොරු අත්තිවාරම්වලින් නිවාස හතරැස් කිරීමේ න්‍යාය” මූලික පුරාණ වාස්තු සිද්ධාන්තයනට කිසිසේත් නොගැළපේ. ගෘහ පිණ්ඩය පිළිබඳ මූලික සංකල්පය නොතකා හරිමින් මෙකි බොරු අත්තිවාරම් දැමීමම බොරුවක් හා සිත රවටා ගැනීමක්ම පමණි. එය දොරවල් හා හරස් බිත්ති පිහිටුවීමේ පාද සටහනට යම් පමණකට අදාළ කර ගත හැකි වෙතත් ඉදිකිරීමේ මධ්‍යයට හෝ මධ්‍යයට අනුව දිශා නිර්ණය කිරීමේදී හෝ එයින් ඔබ්බේ වූ වාස්තු විග්‍රහයන් සඳහා කිසිසේත් නිවැරැදි ලෙස භාවිත කළ නොහැකියි.

මෙහිදී අපට කළ හැක්කේ දොරවල් පිහිටුවීමේදී හතර දිශාවටම එය සිදු කිරීමේදි ඒවා යම් පමණකට හෝ බර කිරීම පිළිබඳ නූතන විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. එය ඊශාන, මධ්‍යය, නිරිත යන මාර්ගය ඔස්සේ අන්තරීක්ෂ ශක්තිය සාපේක්ෂ වශයෙන් ගමන් කරන ආකාරය උරගල (බේස් ලයින්) කර ගත යුතු බව අපගේ අවබෝධයයි. සැණින් අන්තරීක්ෂ ශක්තිය ඉවත යෑම වැළකීම පිණිස දකුණ හා බස්නාහිර දිශාවනට ළං වන බිත්තිවලට දොර තැබීමේදී නිරිතෙන් හැකිතාක් ඈත්කොට දොරවල් පිහිටුවීමටත් උතුරු හා නැඟෙනහිර දිශාවනට ළංවන බිත්තිවලට දොර තැබීමේදී ඊශානයට වඩාත් සමීප වන ලෙසත් මෙකී දොරවල් පිහිටුවීම කළ යුතු වේ.

මෙසේ විධිමත්ව තර්කානුකූලව දොරවල් පිහිටුවීමෙන් අන්තරීක්ෂ ශක්තිය වැඩි වැඩියෙන් නිවසට ඇතුළුවීමත් ඉදිකිරීමෙන් පිටතට අඩුවෙන් ශක්තිය ගමන් කිරීමත් සිදු වේ. එවිට ඉදිකිරීම ඇතුළත ශක්තිය රැඳීම මැනැවින් සිදුවීම නිසා නිවෙස අභ්‍යන්තරයේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (Cosmic Energy Intensity  වැඩි දියුණු වෙමින් ඉදිකිරීම ඇතුළත කටයුතු කරන භවතුන්ගේ ශක්ති ශරීර බලවත් වෙමින් වඩවඩාත් සාර්ථක ප්‍රතිඵල අත්දැකීමට අවස්ථාව උදාවේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.