වාස්තුව දැනගෙන වස්තුව රැක ගනිමු

මැයි 10, 2024

ඡ්‍යොතිෂයේ එක් පැතිකඩක් තමයි වාස්තු විද්‍යාව. එහෙම වුණාට වාස්තු විද්‍යාව විතරක්ම කරන උදවියත් ඉන්නවා. ඒ තරමටම වාස්තුව වැදගත්. ඔබගේ වස්තුව රැකෙන්නෙ මේ වාස්තුව නිසා. ඔබ පදිංචි නිවෙස ඉඩම මේ වාස්තු විද්‍යාවේ කරුණුවලට පටහැණිව තිබුණොත් ක්‍රමයෙන් ඔබව දුප්පතෙක් කරවනවා. එපමණක් ද නොවේ, ඔබේ නිවෙසේ ඇති ආරෝග්‍යා පරමා ලාභා නැති කරනවා.

මේ ගැන ලියන්නට කලින් විශේෂ එකක් කියන්නට ඕනෑ. මේක විද්‍යාවක්. ශාස්ත්‍රයක්. එනිසා කිසිම ආගමකට, කුලයකට හෝ වංශයකට සීමා වෙලා නැහැ. වාස්තුව හරියට ගෙයකට නොතිබුණොත් විශේෂයෙන් ක්‍රම දෙකක් කඩා දමනවා. පළමුවැන්න තමයි නිවෙසේ පදිංචි අයගේ නීරෝගී තත්ත්වය නැති කරනවා. දෙවැන්න ඔබව දුගී දුප්පත් කරවනවා. මේ දෙක නැති වුණාම ඉතිරි හැමදෙයක්ම කඩා හැලෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරවන ලෙස ඉල්ලා සිටිනවා. අනෙක තමයි මේ සටහන සම්පූර්ණ වන කොට ඡ්‍යොතිෂයේ තිබෙන වචන ටිකක් පාවිච්චි කරන්ට සිදු වේවි. ඒ වචනවල අර්ථය ගත්තාම හරි ලේසියි අවබෝධ කරගන්ට. මම උදාහරණයක් කියන්නම්කෝ. මේ විශ්වයේ හැමදෙයක්ම පංච මහා බලවේගයන්ට අනුරූපිවයි සිදු වන්නේ. පංච මහා බලවේගය කිව්වේ ආපෝ, තේජෝ, පඨවි, වායෝ, ආකාශ කියන පංච ශක්තීන්වලට. මේ ලොකු ලොකු වචන සඳහන් කළාට විශ්වයේ හැම දෙයක්ම පවතින්නෙ තද ගතිය, රස්නය, සීත ගතිය, සුළඟ නැත්නම් වාතය, හා රික්තය නිසා. සුළුවෙන් නැත්නම් සරලව කිව්වොත් ඕක තමයි අර්ථය. විශේෂයෙන් මේ පහ කිසියම් අවුලක් නම් වාස්තුවත් අවුල්. ඉතින් ඉඩමේ හෝ නිවෙසේ පිහිටීම හා සැලැස්මත් වාස්තුවට බලපානවා පුංචි ඉඟියක් මේ සමඟ ලියනවා. 2024 වසරේ අප්‍රේල් 14 වැනිදා රවි මේෂ රාශියට සංක්‍රමණය වනවා. මේෂයට රවි උච්චයි. එතැන ඉඳලා දින 11ක් 23 වැනිදා වෙනකම් පුර තිථිය නැවත මැයි 11 ඉඳලා දින 24 දින දක්වාත් මැදින් පුර තිථිය මෙන්න මේ කාලය තුළ ඔබේ තත්කාල කේන්දරයේ යහපත් චන්ද්‍රයා 11 වැනි රාශියට ආවා නම් ඔබට හදිසි ලාභයකින් සතුටක් ලැබෙනවා. අමතක නොකර ඒ වාසනාවත් උදා කර ගන්න.

වාස්තු ශාස්ත්‍රයට අනුව ඔබේ ඉඩම නිවෙස පවත්වාගෙන යාම එච්චර දෙයක් නොවේ. හැබැයි ඔබ හිතුවක්කාරව වැරදි විදියට නිවෙස හැදුවානම් ඒක ඔබට ඕන විදියට තියාගන්ට බැරිවනවා. ඔබට මෙය වැටහෙන්න එක උදාහරණයක් පහදන්නම්කෝ. ඔබේ නිවෙස මහල් නිවසක් නම් උඩුමහලට යන්නට තරප්පු පෙළක් දමන්න ඕන නේ. ඒක කොටස් දෙකකින්නෙ හදන්නේ. ටිකක් දුර උඩට යනකොට ඒක එක පැත්තකට හරවනවා. එහෙම නැතුව එක එල්ලේම දමන්නෙ නැහැනේ. ඒ හරවන කොට ඔබ දකුණ හරවන්ට ඕනෑ. යම් හෙයකින් වමට හැරෙව්වොත් ඒ නිවෙසේ පලදීම අඩුයි.කරදරත් වැඩියි. හැම වැඩක්ම වමට තමයි ඉතින්. ඒක එතකොට නැවත කඩලා හදන්න බැරි වනවා. මේ වගේ හිතුවක්කාරකම් කරන්ට එපා. වැරැද්දක් වුණාට කාරි නැහැ. ඒක නිවැරැදි කරන්නට හැකි නම් වැඩ දන්නා බාස් මහත්වරු මේවා දන්නවා. ඔය අද ඊයේ රස්සාවට ආපු අය නම් මේවා දන්නෙ නැහැ. හැම බාස් කෙනෙක්ම මේ වගේ දේවල් දැනගත යුතුමයි කියල මම යෝජනා කරනවා. එතකොට ඔබට වැඩත් ඒවි. නිවෙසකින් බොහෝ අපල, සපල ඇතිවනවා.

ඔබ ඉඩමක් අරගෙන ගෙයක් හදනවා නම් වාස්තු පරික්ෂා කළ යුතුමයි. මොකද මේවා මුලින්ම පරීක්ෂා කරවා ගත්තොත් ලේසියි. වෙනස් කරන්ට හැකි වනවා. සමහර නොදන්නා අය ඉන්නවා සුදුසු නිවස නුසුදුසු කරනවා. ඔබේ වාස්තුව වැරදියට තිබුණොත් ඉවරටම ඉවරයි. ඕනෑම පදිංචි නිවෙසක ඇති උළුවහු ජනෙල් හරියට ගණනට තිබෙන්න ඕනෑ. දොර උළුවහු ඔත්තෙ ගණනටත් ජනෙල් උළුවහු ඉරත්තෙ ගණනටත් තිබිය යුතුයි. දෙකම එකතුව නැවත ඔත්තෙ විය යුතුයි. ප්‍රධාන දොර අයිති ගෘහමූලිකයාට, තාත්තට. එළියට බහින කුස්සියේ දොර අයිති අම්මට. මේවා නිවැරදිව නොතිබුණොත් මේ දෙන්නත් නිවැරදි නොවෙනවා. අනික තමයි ප්‍රධාන දොරේ පළලට කිසිම දොරක් තියන්නට බැහැ. ඊට වඩා පටු විය යුතුයි. එතකොට ගෙදරට එන ආදායම වැඩි වෙලා වියදම අඩුවේවි.

අනෙක තමයි ත්‍රිකෝණාකාර ඉඩම් ගන්නට එපා. ගත්තොත් හදා ගන්න. සෘජුකෝණාස්‍ර හෝ සමචතුරස්‍ර ඉඩම් හොඳයි. හැම තිස්සෙම ඉරු එළිය නිවස තුළට එන්නට ඕනෑ. උදේට නැඟෙනහිරින් එන සූර්යයා කිරණ වැඩියෙනුත් හවසට බටහිරින් වැටෙන කිරණ අඩු වශයෙනුත් ගෙට එන්නට සලස්වන්න. මේ සටහනේ ලියන්නෙ සරල පාඩම් විතරයි. හැකි වුණොත් විශේෂ ඒවා පසුව ලියන්නම්.

ඊසාන දිශාවේ හෝ නිරිත දිශාවේ පල්වෙන වතුර වළවල් තබන්නට එපා. සතුට අඩුවෙලා දරුවන්ගෙ අධ්‍යාපනය කඩාවි. ඉගෙනීම මල් පූජා කිරීම ඊසාන දිශාවට කරන්න. මේ මරු නැති දිශාව බව හිතට ගන්න. අනෙක ගෙවල්වල ඉදිරියේ මිදුලේ තැනක එකම වෙලාවට පහන දල්වන්න මම අනුමත කරන්නෙ නැහැ. සතෙකුට වුණත් එකම වෙලාවට යමක් දුන්නොත් ඌ පුරුදු වෙලා නැති වුණ දවසට ඔබට හතුරෙක් වේවි.

ගෙදර ළිඳ වහන්නට එපා. වහන්නට ඕනෑම නම් වතුර තිබෙන ප්‍රමාණයට හොඳ පස්වලින් පුරවා ඊට පසු වෙනත් පස්වලින් ගල්කෑලිවලින් පුරවන්න. මේ ළිඳ මට, ඔබට කවදා හරි වතුර ටිකක් බොන්නට දුන් බව අමතක කරන්න එපා.

අත්‍යවශ්‍යම නැති වුණත් උදේ හවස ගේ හොඳට අතුගාලා හොඳ සාම්බ්‍රානිවලින් දුම් අල්ලන්න. ඔබ දුම් අල්ලනකොට ඔබේ ආගමේ හැටියට භූමියට ගාථාවක් හෝ සූත්‍රයක කොටසක්වත් කියන්න. මේ පුරාණ හින්දු ක්‍රමය වුණාට පලදායි ක්‍රමයක්.

ගේ ඇතුළේ ලොකු අන්ධකාරයක් පවතී නම් ඒක නැති කරන්ට ජනේලයක් වත් සවිකරන්න. හැබැයි සමතුලිතතාවය රැකෙන පරිදි.

බොහෝ අය ප්‍රධාන උළුවස්සට යා කරලා ජනේලය සවි කරනවා. මේ ගැමි භෂාවෙන් කියනවා නම් ‘අතකොට බාසුන්නැහේ’ මේක කරන්ට එපා. ගෘහ මූලිකගෙන් එක් අයෙක් සදහටම නොඑන ගමන් යාවි. අනික ප්‍රධාන උළුවස්සේ කම්බි ඇණ ගහන්නත් එපා.

ගෙදර ප්‍රධානියා තාත්තා එනම් නිවෙසකට ප්‍රධාන උළුවස්ස ශක්තිසම්පන්නව තබන්න. තවත් අය කරන වැඩක් තමයි. මේ උළුවස්සේ කම්බි ඇණ ගහලා රෙදි වැල් බඳිනවා. එපා කරන්නට. හරි නරකයි.

ගෙදර හැමදාම ප්‍රේත දෝෂ. අඬු ලුහුඬුකම් පවතීවි. අනික ප්‍රධාන උළුවස්ස පුපුරණ තද ලීයෙන් හදන්ට එපා. පරණ අය නම් මේවා කළේ නැහැ. දැනට හොඳ ලීය තමයි කොස්. ටිකක් වියදම් ගියත් ඒ මුදල පසුව ක්‍රමයෙන් ලැබේවි. ගෙදර අයට අනවශ්‍ය රෝගවලට මුදල් වැය නොවෙනවා කියන්නෙ මුදල් ලැබෙනවට වඩා වැඩි යමක්. අන්තිම එක තමයි උළුවස්ස කෑලි අමුණලා තබන්නට එපා. කෙළින් ලීයෙන් හදන්න. ඕනෑම ගෙයක වාස්තුව නිවැරැදිව තිබුණොත් ඔබ ගොඩ, ගොඩ කිව්වත් ගොඩේ ගොඩ.

 

පාරම්පරික ගුප්තවේදී, ඡ්‍යොතිෂවේදී

මීපේ ගණිතගේ

රංජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.