අරමුණු දිනා දෙන අක්ෂර බලය

මැයි 26, 2023

පසුගිය ලිපි ඇසුරු කරන ලද ඔබට ඔබේ ජය භූමිය සොයාගන්නා ආකාරය ගැටලුවක් නොවනු ඇත. ‘ජයභූමි’ සංකල්පය විසල් මාතෘකාවකි. සාමාන්‍ය ප්‍රකට ව්‍යවහාරික ඡ්‍යොතිෂය සමඟද මුසුව තිබේ. එහෙත් එය නිවැරැදිව තේරුම් ගැනීම සඳහා “සිංහල උමා ඡ්‍යොතිෂ” සිද්ධාන්ත හඳුනාගත යුතුව තිබේ. මෙහි ශාස්ත්‍රීය පසුබිම සාකච්ඡා කිරීම පසෙක තබා ජය භූමිය යොදාගත හැකි ආකාර කීපයකට අවධානය යොමු කිරීම වටනේ යැයි සිතමි. අප පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළේ ජයභූමි තෝරාගන්නා වූ ක්‍රම රැසක් අතුරින් එක් ක්‍රමයක් පමණි. එහිදී ඔබේ නමේ මුල අකුර අනුව ඔබට හිමි ස්ථාන හෝ දිශාව තෝරාගැනීමට

උපදෙස් දුන් බව සිහිපත් කළ යුතු ය.

 

ක, කා, කි, කී ආදී ‘ක’ අකුරේ ප්‍රභේද සහ ග, ගා, ගී යන ‘ග‘ අකුරේ ප්‍රභේද සඳහා ගිනිකොන දිශාව ජය භූමිය වෙයි. මෙය යොදා ගත හැකි ආකාර කීපයක් මෙසේ සඳහන් කරනු ලැබේ.

 

ඔබ බෝධි පූජාවක්, දේව පූජාවක් විශේෂ ලෞකික හෝ ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් පවත්වන්නට තීරණය කළේ නම් ඔබේ නිවෙසට සාපේක්ෂව ගිනිකොන දිශාවේ පිහිටි පූජනීය ස්ථානයක් තෝරා ගත හැකි වේ. එය ඔබේ අරමුණු ඉටු කරන දිශාව වනු ඇත.

ඔබ නිවෙසක් ඉදි කරන විට ඔබේ ඉඩමේ ගිනිකොන දිශාව ඔබට වඩාත් සුදුසු විය හැකිය. මෙම නියමය නිසි පරිදි යොදන්නේ නම් සෙසු සියලු වාස්තු නියමයන් ඛණ්ඩනය කොට ජයගත හැකිය. මෙයට තව කරුණක් එක් කරමි. වාස්තු දොරටු චක්‍ර නියමය අනුව ‘ගිනිකොන’ අසුබ යැයි සම්මතය. එහෙත් ඔබේ නමේ පූර්ණ ලෙස ක, ග, අක්ෂර ප්‍රභේද සමඟ වේ නම් එය අසුබ නොවන්නේමය. මෙවැනි ලිපියකින් ශාස්ත්‍රය ඒ ආකාරයෙන්ම හෙළි කළ නොහැකි නමුත් එය අවබෝධ කර ගැනීමට ඉඟි සැපයීම සිදුකළ හැකි ය. නමේ මුලකුර’ක, ග‘ ප්‍රභේදවලට අයත්වීම සාමාන්‍ය කරුණකි. ඒ අනුව ගිනිකොන ජයභූමිය තෝරාගැනීමද ජයග්‍රහණයට හේතුවකි. එහෙත් මේවායේ සංයෝජන ඇති බැව් අමතක කළ යුතු නොවේ.

කොස්, කරඳ, කතුªරුමුරුංගා ආදිය ගිනිකොන දිශාවේ වඩාත් හොඳින් වැවෙනු ඇත. ‘කජු’ වැනි බීජවලින් පැළවෙන ශාකයක අතු කැබැල්ලකින් පවා ගිනිකොන දිශාවේ ශාකයක් හටගනු ඇත. මේ සම්බන්ධව පාලක පරීක්ෂණයන් සිදුකළ හැකි ය.

තෝරාගනු ලබන ක්ෂේත්‍රයක, ලබා ගන්නා සුබ මොහොතකදී කජු අත්තක් සිටුවනු ලැබේ.

ලබා ගන්නා අසුබ මොහොතකදී කජු අත්තක් සිටවනු ලැබේ. අහඹු මොහොතක ද එසේම කරනු ලැබේ. දිශා බලය වෙනස් කරමින් එය සිදු කරනු ලැබේ.

මෙසේ සිදු කිරීමෙන් ‘ක’ අක්ෂරය ගිනිකොන දිසාව සහ ‘ක’ අක්ෂරයේ බලය ක්‍රියාත්මක වන මොහොත ආදිය පිළිබඳව සත්‍යභාවය පසක් කරගත හැකිය.

ඔබේ නාමාක්ෂරය ‘ක, ග‘ ප්‍රභේදයෙන් යුතු නම් ගිනිකොන දිසාව බලා කටයුතු කිරීම සාමාන්‍යයෙන් සුබදායක වනු ඇත.

සමහර විටෙක ගවයන්ගෙන් ඔබේ ගොවිබිමට හානිවනවා ඇත. ඒ ‘ග‘ යන්න ගිනිකොන ජය බිම කරගත් අකුරකි. ගවයන්ගේ හානි වැළකුමට ‘ග‘ යන්නට විරුද්ධ වයඹ දිශාව තුළ පළමුව වැට ගැසිය හැකි වේ. නිසි මොහොතකට කළේ නම් ප්‍රතිඵලය වරදින්නේ නැත.

සාමාන්‍ය නියමයන් යටතේ ගුරුලා - ඉරිදා ද, බළලා - සඳුදා ද, සිංහයා- අඟහරුවාදා, දිවියා - බදාදා, නයා - බ්‍රහස්පතින්දා, මීයා - සිකුරාදා, ඇතා - සෙනසුරාදාට ද බලය. ඒ අනුව ඔබට ඔබේ කටයුතු තව දුරටත් සාර්ථක කර ගැනීමට ජයභූමි සංකල්පය යෙදිය හැකි ය. නිදසුනක් ගෙන එමු. ඉගෙනීමට මැළි දරුවෙකි. ඉගෙනීම යහපත් කරගැනීම අරභයා බෝධි වන්දනාවක් සිදු කිරීමට සිතනු ලබන්නේ නම් “දරුවාගේ නමෙහි මුල් අකුරු” අ, ඉ, ඔ, එ, උ වන්නේ නම් නිවෙසට සාපේක්ෂව නැඟෙනහිර දිශාවේ ඇති බෝධීන් වහන්සේ නමක් තෝරා ගත හැකි ය. ‘අ’ හිමි ගුරුලාගේ දවස ඉරිදා වන බැවින් එය ඉරිදා කීපයකදී සිදුකළ හැකිය.

තවද විශේෂ රහසක් මෙහි හෙළි කරමි. පුද්ගලාභිමතාර්ථ සාධනය සඳහා මෙහි උපයෝගිතාවයයි. ඔබේ අරමුණු ජය ගැනීමට ප්‍රධාන වන කරුණු සතරක් මනෝ විද්‍යාවේ දී ඉගැන්වේ. ඒවා නම් සිතිවිලි, වදන්, හැඟීම් සහ ක්‍රියා ය. ඔබට යම් අරමුණක් ජය ගැනීමට අවැසි කල්හි එය පළමුව උත්පාදනය වනුයේ සිතිවිලි ඇසුරිණි. ඔබ පසුව එය වදන් කරනු ලැබේ. එය නූතනයේ ධනාත්මක චින්තනය නමින් ගෙන හැර දක්වනු ඇත. ඉදින් එවැනි ධනාත්මක වැකි සඳහා ඔබට මෙම දැනුම යොදා ගත හැකිය.

ඔබ ප, බ, ම වර්ගයේ නම් ඔබේ යෝනිය ‘මීයා’ ය. මීයාගේ ජය භූමිය වයඹය. ඔබට ඔබේ ධනාත්මක වැකිය ප, බ, ම වර්ගයේ අකුරකින් ආරම්භ කළ හැකි. “මම ධනවත් කෙනෙක්මි” එහි ඇරඹුම “ම අකුරිනි. ඔබට ජය වයඹ බලා ලියන්නට හැකිය. සිහි කරන්නට හැකිය. මුමුනන්ට හැකිය.

ඉදින් ඔබට ප්‍රශ්නයක් පැන නැඟෙනු ඇත. මෙසේ මුමුනපු තරමින් ලියපු තරමින් අරමුණ ඉටුවේද යන්නයි. කිසිවක් ඒක හේතුක නොවේ. එහෙත් උත්සාහ කර බැලීමද ඒ සඳහා නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර භාවිතය ද බුද්ධිමත් බවේ ලක්ෂණයකි. මෙහි කියනු ලබන ජයභූමි ශාස්ත්‍රය ද ශිල්පයකි. ශාස්ත්‍රයකි. විද්‍යාවකි.

ඊළඟ කාරණාව බොහෝ දෙනකු දන්නා කරුණකි. පෙර කියන ලද කාරණාව හා වක්‍රාකාර සම්බන්ධයක් ද පවතී. ඒ සෙත් කවි හඬාවයි. “ඉසුරි” ට සෙත් කවියක් ලියන විට ‘ඉ’ යන්නට ගැවසෙන අකුරකින් කවිය අරඹයි. “එය ‘ඉ’ යන්නට වීමද යෙහෙකි. ඉදින් පෙර කියන ලද්දේ ‘ගද්‍ය’ ක් ගැනය. මෙහි කියන ලද්දේ ‘පද්‍ය’ ගැනය හරියට ලීවොත් ගුණය නොඅඩුව ලැබෙනු ඇත.

ඔබේ නිවෙසේ ‘රෝස’ මල් පෝච්චි උතුරෙන් තබා බලන්න. එසේ කීවාය කියා හිරු එළිය නොවැටෙන උතුරෙහි පෝච්චි තැබීමට තරම් ඔබ අනුවණ නැතයි සිතමි. මෙහි ලියනු ලද්දේ ඉඟියකි.

ඔබ දෛනික වන්දනාවක්, භාවනාවක් කරනවාද ඉදින් ඔබේ නාම යෝනිය හිමි දිශාව ඔබේ නමේ මුලකුර අනුව තෝරාගෙන එම දිශාව බලා කටයුතු කළ හැකිය.

සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම යහපත් වැඩකට මෙම දිශාව පොදුවේ භාවිත කළ හැකි වන අතර මරුට පිටුපා භාවිත කිරීම සුදුසු ය.

දිශා බලය පමණක් සෑහේ ද ඕනෑම කරුණක දළ ස්ථුල සූක්ෂ්ම ප්‍රභේද ඇත. මෙහි කියන ලද්දේ උමා ඡ්‍යොතිෂයෙහි එන ජයභූමි ශාස්ත්‍රයෙහි ඉතා කුඩා කොටසකි. ශාස්ත්‍රීය වශයෙන් පවසන්නේ නම්, ජයභූමි ශාස්ත්‍රයෙහි එන සජත යෝග ශාස්ත්‍රය අංග සතෙකින් සමන්විතය. එම අංග සතෙහි පළමු අංගය ඉන්ද්‍ර ගුරුලුව නම්, ඉන්ද්‍ර ගුරුලුව ද ප්‍රධාන අංග සතකි. එහි පළමු අංගය ‘ගුරුලු සංහාරය’ නම් මෙම ගුරුලු සංහාරයේ ප්‍රාථමික හඳුනාගැනීමක් සේ මෙකී තොරතුරු ඔබ හමුවේ පවසන බව දත යුතු ය.

එහෙත් එම ප්‍රාථමික ඉගැන්වීම් පවා වැඩ සහිතය. ප්‍රයෝජන සහිතය. මෙහිදී ඔබ අක්ෂර බලයත්, දිසා බලයත් එකට යොදා ඔබේ ජයග්‍රාහී අරමුණු සඳහා යොදනු ලබන්නට ඉගෙන ගන්නා බව සිහිකටයුතු ය. වෙනත් වෙනත් සාධක එක් කිරීමෙන් විශේෂයෙන් කාලය පිළිබඳ සංකල්පය එක් කිරීමෙන් මෙහි බොහෝ ප්‍රතිඵල වඩාත් තීව්‍ර ලෙස අත්විඳිය හැකිවනු ඇත. අප ඔබට එම කාලය පිළිබඳ තොරතුරු ද මතු ගෙන එන්නට අපේක්ෂා කරමු.

කෙසේ වෙතත් දරුවකු දණ ගෑමෙන් ද ප්‍රතිඵලයක් නොවේ යැයි කාට කිව හැකි ද? දෙවරක් චක්‍රය පමණක්ම දන්නා කෙනෙකු වී නම් එය නිෂ්ඵල යැයි කාට කිව හැකිද එසේම දිශා බලය පමණක් වුව කිසියම් දුරකට හෝ ඔබව ඔසවා තබනු ඇත්තේම ය.

‘යෝනිය’ සොයන විවිධ ක්‍රම මෙහි පවසන ලද්දේ වාස්තු විද්‍යාවේදී ද මුදුන්මල්කඩක් සේ ගැනෙන නාමාක්ෂර යෝනි දිග්භාගය සොයන ක්‍රමයයි. ඊට ‘උමා ඡ්‍යොතිෂයත්’ ඈඳා ගත්තේ ඇයි දැයි යමෙකුට ප්‍රශ්නයක් විය හැකිය. ඡ්‍යොතිෂය පිළිබඳ ශාස්ත්‍රීය විස්තරයක් පැහැදිලි කිරීමක් පසුව පළ කරන්නට අදහස් කරමි. මාතෘකාව යෝනිය සොයන විවිධ ක්‍රමය. එවන් ක්‍රම රැසකි. සත්‍ය වශයෙන්ම නාමය අනුව, උපන්දිනය අනුව, උපන් වේලාව අනුව, සමස්ත ජන්ම කේන්ද්‍රය අනුව ‘යෝනිය’ සොයන ක්‍රම විධි බොහෝ වන අතර ඒ ඒ ඖෂධය ඒ ඒ රෝගයට මෙන් සමහර ක්‍රම විශේෂය උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඉඟුරු කොත්තමල්ලි සේ පොදුවේ භාවිතයට සුදුසු ක්‍රම ද වේ. මෙහි ඔබට ගෙන එනුයේ එවැන්නකි. එහෙත් මෙහි අක්ෂර බලය සුළුකොට නොතැකිය යුතු ය. එය විද්‍යාත්මකය. ගණිතමය රූ සටහනක් ඇසුරින් පැහැදිලි කළ හැකි ය. ශ්‍රී ලංකාවේ අපට වඩා පිට රැටියන් ශබ්ද ගැන පර්යේෂණ කර ඇති බවද, පර්යේෂණ කරන බවද අමතක නොකළ යුතුය.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.