හත අධිපතියාගේ පිහිටීමෙන් විවාහය ගැන දැනගනිමු

මැයි 26, 2023

හත අධිපති පළමු කොටුවේ නම් යහපත් විවාහයක් සිදුවේ. ලැබෙන්නා වූ සහකාරිය හෝ සහකරු යුක්තිගරුකව වැඩකටයුතු සිදුකරයි. දිවා රැයේ පවුලේ උන්නතිය වෙනුවෙන් වෙහෙසයි. මහන්සිය නොබලා ධනය උපයයි. එම ධනය ක්‍රමානුකූලව පරිපාලනය කරයි. තම මතයට අනුව බොහෝ දුරට කටයුතු කරයි.

විවාහය වූ කලී ජීවිතයක දෙවැනි උපතයි. විවාහයක සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වය සේම වාසනාව අවාසනාව පිළිබඳ ඕනෑම ජන්මියකුගේ කේන්දරයේ හත්වැන්නෙන් පැවැසිය හැකි වේ. තමාට හිමිවන අනාගත සහකරු හෝ සහකාරිය කෙබඳුවේද ඇය හෝ ඔහු ජන්මියාට වාසනාව අවාසනාව ගෙන දෙන්නේ ද යන්න පිළිබඳව හත්වැන්න ඔස්සේ පැවැසිය හැකිය. සහකරු සහකාරිය පිළිබඳ කියැවෙන හත්වැන්න පිළිබඳ තවදුරටත් විග්‍රහ කරමු. හත අධිපති ග්‍රහයා ජන්ම කේන්දරයේ කොටුවෙන් කොටුවට බලපාන්නේ මෙලෙසිනි.

 

හත අධිපති පළමුවැන්නේ

හත අධිපති පළමු කොටුවේ නම් යහපත් විවාහයක් සිදුවේ. ලැබෙන්නා වූ සහකාරිය හෝ සහකරු යුක්තිගරුකව වැඩකටයුතු සිදුකරයි. දිවා රැයේ පවුලේ උන්නතිය වෙනුවෙන් වෙහෙසයි. මහන්සිය නොබලා ධනය උපයයි. එම ධනය ක්‍රමානුකූලව පරිපාලනය කරයි. තම මතයට අනුව බොහෝ දුරට කටයුතු කරයි.

 

හත අධිපති දෙවැන්නේ

හත අධිපති දෙවැන්නේ සිටීමද යහපත් වෙයි. ධනය ලැබේ. සුළුවෙන් අරඹන ව්‍යාපාර කල්යත්ම මහා පරිමාණ ව්‍යාපාර බවට පත්වේ. දෙදෙනාම උත්සාහවන්ත වේ. මතු දියුණුව මෙන්ම මෙලොව දියුණුව සාදගනී. පිදිය යුත්තන් පුදයි. දන්දීම, පින් කිරීම්වලට මෙම ජන්මීන් පෙළඹේ. ගායන හැකියාවන් පිහිටයි. මෙවන් විවාහයන් වාසනාවන්ත වෙයි.

 

හත අධිපති තුන්වැන්නේ

හත අධිපති තුන්වැන්නේ සිටීමද යුවතිපතීන්ට වාසනාව ගෙන දෙන්නකි. සහෝදර සහෝදරියන් සමඟ හිතවත්ව කටයුතු කරයි. ඔවුන් සමඟ සුහදව කටයුතු කරයි. හත අධිපති තුන්වැන්නෙන් උපත ලබන අය විදෙස් රැකියාවලට උරුමකම් කියයි. බොහෝ විට විවාහය විදේශ රටක දී සිදුවීමට ඉඩ තිබේ. සුඛෝපභෝගී දිවියක් ගත කරන්නට වාසනාව ඇත්තන් වෙයි.

 

හත අධිපති හතරවැන්නේ

හත අධිපති හතර වැන්නේ යෙදීම ද විවාහයට සුබදායක වෙයි. රූමත් සහකරුවකු හෝ සහකාරියක විවාහයට හිමිවේ. යානවාහන ඉඩම් ව්‍යාපාර ස්ථාන, දෙමහල් නිවාස, වාහන ව්‍යාපාර ආදියට හිමිකම් කියයි. ලැබෙන්නා වූ දූ දරුවන් ද රූමත් ගුණයහපත් අය වේ.

 

හත අධිපති පස්වැන්නේ

හත අධිපති පස් වැන්නේ යෙදීම ද විවාහයට සුබදායක වෙයි. විවාහය යහපත් වෙයි. රූමත් අඹුසැමියන් වෙයි. දරුවන් ද රුවින් අගතැන්පත් වෙයි. මෙවැනි ජන්මීන්ගේ දරුවන් විදේශගතව අධ්‍යාපනය ලබා දියුණු වී රට දැයට වැඩ ඇති දරුවෝ බවට පත්වෙති.

 

හත අධිපති හයවැන්නේ

හත අධිපති හය වැන්නේ යෙදීම විවාහයට එතරම් සුබදායක නොවේ. විවාහ වුවත් වෛරී ජීවිත ගත කිරීමට සිදුවිය හැකිය. පරිහානියට පත්විය හැකිය.

 

හත අධිපති හත්වැන්නේ

හත අධිපති හත්වැන්නේ යෙදීම විවාහයට යහපත් වන්නෙකි. යහපත් දරුවන් ලැබේ. පී‍්‍රතිමත් විවාහ දිවියක් වෙයි. හත අධිපති උපතේ දී විපත් නැකතක යෙදී ඇත්නම් විවාහය අසාර්ථක වීමට හේතුවිය හැකිය.

 

හත අධිපති අටවැන්නේ

සහකරුට හෝ සහකාරියට මාරක ගෙන දෙයි. නිසි ලෙස පොරොන්දම් නොබලා විවාහය නොකළ යුතු ය. විවාහ පොරොන්දම සුබවේ නම් දියුණු වීමට හැකි වෙයි. ධනය උසස් අයුරින් ලැබී ගෙදර දොර යාන වාහන ලැබ ජීවිතය දියුණුවට පත්වෙයි. නිහඬ රූමත් සහකරුවකු හෝ සහකාරියක හිමි වෙයි.

 

හත අධිපති නව වැන්නේ

වාසනාවන්ත විවාහයකි. උසස් මංගල උත්සවයක් පවත්වා විවාහය සිදුවෙයි. කල්පනා ශක්තිය ඉතා හොඳයි. විවාහ දිවියේ කුමන බාධක ප්‍රශ්න පැනනැඟුණත් බුද්ධියට මුල් තැන දී කටයුතු කරයි. කිසිදෙයකට කලබල නොවී ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. එනිසාම ජීවිතය ජය ලබයි.

 

හත් අධිපති දසවැන්නේ

හත්වැන්නාධිපති දසවැන්නේ යෙදීම විවාහයට සුබදායක වෙයි. සහකාරිය හෝ සහකරු රාජ්‍ය අංශයේ උසස් නිලයක් දරන්නෙක් වෙයි. දෙදෙනාම රූමත් වෙයි. දෙදෙනාම එකතුව ධනය උපයයි. උසස් අධ්‍යාපනය ලබන්නට දරුවන් වාසනාවන්ත වෙයි. විභාග ජය ගනියි. රජයේ උසස් රැකියාවලට පත්වෙයි. අවංකව රටට සේවය කරන අය වෙයි. විදේශ ගතව තම උසස් අධ්‍යාපනය ලබා එහිදී රැකියාකර දියුණු වී විවාහයද විදේශයක වීමට මෙම පිහිටීම හේතු වෙයි.

 

හත අධිපති එකොළොස්වැන්නේ

මෙම පිහිටීමද විවාහයට සුබදායක වෙයි. සහකරු හෝ සහකාරිය කාර්යශූර අයෙකි. හොඳ දැහැමි ගතිපැවැතුම් ඇති රූමත් ධනවත් උගත් අයෙක් වෙයි. වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය මේ අයගේ රැකි රක්ෂා වෙයි. අන් අයට අත නොපා ස්වාධීනව ධනය සොයා ජීවත් වෙයි. කාර්මික අංශයේ රැකියා සඳහා ද යෝග්‍ය වෙයි.

 

හත අධිපති දොළොස්වැන්නේ

දුර බැහැර ප්‍රදේශයකින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවෙයි. මෙම ජන්මීන් හට සහජ කලා කුසලතා තිබේ. විවාහ ජීවිතය වාසනාවන්ත අයුරින් ගත කරයි. බොහෝ දුරට විදෙස්ගතව ධනය ඉපැයීමට මොවුහු කටයුතු කරයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ද මොවුහු දියුණුව ලබති.

 

උපදෙස් - ඡ්‍යොතිෂවේදී,

ජයසේන ජයසිංහ

සටහන - තුෂාරි නේරංජා වික්‍රමසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.