ඔබේ ඇවතුම් පැවතුම් ඔබේ පෞරුෂය විදහාපාන කැඩපතයි

නොවැම්බර් 17, 2023

ප්‍රවාහන අමාත්‍යාංශයේ එවකට ලේකම්ව සිටි ජී.ඒස්. විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාගේ නිර්දේශ පරිදි මැදපෙරදිග ඩුබායි රටෙහි පැවැති ජාත්‍යන්තර ප්‍රවාහන සැලසුම් පිළිබඳ සම්මේලනයකට සහ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එවකට ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රධාන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයකු වූ පාලිත සමරසිංහ මහතාටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලෙස කටයුතු කළ විජය සමරසිංහ වන මාහටත් ඇරයුම් ලැබ අපි ඊට සහභාගි වීමු.

සතියක් පුරා පැවැති මෙම අන්තර්ජාතික සම්මේලනයට සහ ප්‍රදර්ශනයට සහභාගිවූයේ ඩුබායි නගර මධ්‍යයෙහි පිහිටි සුඛෝපභෝගී ෂැන්ග්‍රිල්ලා හෝටලයේ නවාතැන්ගෙනයි. ඩුබායි විදේශ කටයුතු අමාත්‍යාංශය ඊට අවැසි සියලු පහසුකම් සපයා තිබුණේ ප්‍රශස්ත අයුරිනි.

දිනපතා සම්මේලනය සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනය අවසන් වූ වහාම මා මිත්‍ර ඉංජිනේරු පාලිත සමරසිංහ මහතා සමඟ මුළුමහත් ඩුබායි හි පිහිටි සියලු වැදගත් ස්ථාන සියල්ල නවීන විදුලි මෙට්රෝ දුම්රියෙන් සන්ධාවේදී නැරඹීමු.

එවකට ඩුබායි ෂැන්ගි‍්‍රල්ලා තරුපහේ හෝටලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූයේ මාගේ කිට්ටු ඥාතිවරයකු වූ චිත්‍රානන්ද අල්විස් මහතාය. එතුමාගේ ඇරැයුමෙන් එම නිවසටද ගොස් ෂැන්ගි‍්‍රල්ලා හෝටලයේ සුපුරුදු නවාතැනට සේන්දු වීමු. ගමන් මහන්සිය නිසාදෝ පාලිත මහතා තම හෝටල් කාමරයේම විවේකයෙන් සිටින බව දැන්වීය.

එදින සම්මේලනය සහ ප්‍රදර්ශනය අවසන් වූ බැවින්ද තවත් එක්දිනක් ගුවනින් ලංකාවට යාමට ඉතිරිව ඇති බැවින් ද ෂැන්ශ්‍රිල්ලා හෝටලයේ පහළමාලයේ ‘ඩුබායි’ රටෙහි පෞද්ගලික ආයතනයේ සේවයේ නියුතු ආසියාතික සේවකයින් සඳහා “පෞරුෂත්වය” (Personality)  ප්‍රයෝගික සන්ධ්‍යා කාලීන වැඩමුළුවක් පැවැත්වෙන බව මම දැන ගතිමි.

ඡ්‍යොතිෂ විද්‍යාවේදී තම ජන්ම කේන්ද්‍රයේ ඒ ඒ ජන්මියාගේ පෞරුෂ ලක්ෂණ පලාපලවලින් කිවහැකි නමුදු හෝරා කිහිපයක් තුළ ප්‍රායෝගික වැඩමුළුවක් තුළින් පෞරුෂත්වයේ මානයන් පෙන්වාදෙමින් ඔබේ ජීවිතයේ තවත් සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක්(Turning point)  කරගත හැකි නම් එය කෙතරම් වටින්නේ දැයි මට සිතුනි. ඡ්‍යොතිෂ විද්‍යානුකූලව බලන කල මහා පුරුෂ යෝග 5න් 3කටම හිමිකම් කියන මාහට ඊට සහභාගිවීමට සිත්විණි.

ඉදින් අන්තර්ජාතික සම්මේලනය සහ ප්‍රදර්ශනය ඩුබායිහි මෙහෙයවූ ඩුබායි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන නිලදරුවකු වූ මොහොමඩ් අබ්දුල්ලා මැතිතුමා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට මාහට සහභාගිවීමට අවකාශ සකසා දුනි. ඔවුන් ආගන්තුක සත්කාරය මැනවින් දන්නා කාරුණික පුද්ගලයන් විය. තවද එම ප්‍රායෝගික වැඩමුළුව සඳහා පිරිමින් 50 දෙනකු සහභාගිවීමට පහසුකම් සලසා තිබුණද එදින ලියාපදිංචි වී සිටියේ 49 දෙනකු පමණි. ඉදින් 50 දෙනා සම්පූර්ණ කිරීමට නොමිලයේම ඊට සහභාගිවීමට මම භාග්‍යවන්ත වීමි.

විදේශ රටවල දේශන පවත්වා පළපුරුදු අප දේශකතුමා “පෞරුෂත්වය” ප්‍රයෝගික වැඩමුළුව ආරම්භ කළේ අපූරු ආකාරයටය. අප 50 දෙනාම වේදිකා පීඨය වෙත කැඳවා10 දෙනා බැගින් ප්‍රථමයෙන් පේළි 5කට සිටුවා තම තමන්ගේ කමිසය උනාදමා ඒ අසල් රඳවා තිබූ රාක්කයේ රඳවන ලෙසට නියෝග කරන ලදී.

මෙම අනපේක්ෂිත සිදුවීමෙන් බොහෝ දෙනා මවිත වූහ. එසේ නමුදු අපි සියල්ලෝම එතුමාගේ අනට කීකරු වුනෙමු.

ඉන්පසුව අපි සියලු දෙනාට අංක 1 සිට 50 දක්වා ගණන් කිරීමට සලස්වා තම අංකය මතකයේ රඳවා ගන්නා ලෙසට උපදෙස් දෙන ලදී. ප්‍රථමයෙන් රැක් එකේ එල්ලන ලද කමිසය එකින් එකට මනාව පරීක්ෂා කළ දේශකතුමා ඉන් අනතුරු අප හැඳ පැලඳ ආ බැනියම් ද පරීක්ෂාවට ලක්කරන ලදී.

කමිසය

සමහර ඒවාවල සාක්කු නැත. පෑනක් රැඳවීමට තැනක් නැත. එහි බොත්තම් නිසි ලෙස අල්ලා නොතිබීම, කැඩී බිඳී ගිය බොත්තම් තිබීම, බොත්තම් අවර්ණවී තිබීම කමිසයේ කෆ්ලින්ක් නොගැළපීම එක සමාන බොත්තම් නොතිබීම, ඇතැම් කමිසවල කොලරය යටි දාරය ඉරී තිබීම, තැනින් තැන නූල් එල්ලීම වීඩියෝකොට විශාල කොට එම අඩුපාඩ පෙන්වාදෙන ලදී. ඇතැම් කමිස පොඩිවී තිබුණු අතර, සමහර කමිස කිහිපයක් යට කොටස් ඉරී තිබිණි. සමහර කමිසවල යට සාක්කුද තිබේ. එය තම පෞරුෂයකට හානි කරන ලක්ෂණ බව පෙන්වා දෙන ලදී. පවිත්‍රත්වය, සෝදා මනා පෙනුමකින් යුතුව නැවත භාවිතය සෞඛ්‍යයට හිතකර බවද ප්‍රකාශ කරන ලදී.

බැනියම්

ඇතැම් බැනියම් වාටි ඉරී තිබිණි. ඇතැම් බැනියම්වල හිල් තැනින් තැන තිබුණි. සමහර බැනියම් අවර්ණ වී තිබූ අතර ඇතැම් බැනියම් මා දැලක් මෙන් විය. දෙදෙනකු බැනියම් ඇඳ සිටියේද නැත. ඇතැම් බැනියම්වල විවිධ පැල්ලම් සහිත විය. හොඳ පෞරුෂයන් ගොඩනැඟීමට ඒවා බාධාවක් වවන බව දේශකතුමා පසක් කර දුනි. සුදු වර්ණය බැනියම් සඳහා යොදා ගැනීම උචිත බව ද දන්වන ලදී.

කලිසම

 

දේශකතුමා එක් එක් අය ළඟට පැමිණ හැඳ සිටි කලිසමද නිරීක්ෂණය කළ අතර බඳ පටිය ගලවා එතුමාට පෙන්වන ලෙසද නියෝග කළේ ය. අපි ඊට අවනත වීමු. ඇතැම් කලිසම් කිලිටි වී තිබිණි. අවර්ණ වී තිබුණි. එතුමා කලිසම් සාක්කු එළියට ඇද පෙන්වන ලෙසද නියෝග කළේ ය. ඊට අපි සැවොම එකඟ වීමු. සාක්කු හිල්වී ගිය තැන් යතුරු කටු මඟින් සම්බන්ධ කර තිබුණි. ඇතැම් සාක්කු හිල් තිබුණි.

ඇතැම් සාක්කු අන්ඩ දමා තිබුණු අතර, ඇතැම් සාක්කු කලිසමට නොහඹිනා වර්ණවලින් යුතුවිය. ඇතැම් ඒවා ඉරී ගොසිනි. මෙම අඩුපාඩු සියල්ල දේශන ශාලාවේ පුළුල් තිරයේ දිස්වන්නට සැලැස්වීය.

බඳපටිය

බඳපටිය නැති කිහිප දෙනෙක් ද සිටියහ. ඇතැම් හම් බඳපටි හට පලුදු වී ඇත. තවත් බඳපටි ඇඳුමට කිසිසේත් නොගැළපුණේ බඳපටිය අවර්ණ අවලක්ෂණ වී තිබුණි. සමහර බඳපටියේ ගාංචුවද කැඩී තිබී යන්තම් අටවාගෙන තිබිණි. ඇතැම් බඳපටි ප්‍රමාණයෙන් විශාල විය. ඇතැම් ඒවා තමන්ට අවශ්‍ය පරිදි ප්‍රමිතියට හිල්කර නොතිබිණි. ඒවා ඉරී ගොස් තිබුණි.

සපත්තු ජෝඩුව

නිරීක්ෂණය කිරීමේ දී දැනගත් කරුණු වන්නේ ඇතැම් සපත්තු තම පාදයට ඕනවට වඩා විශාල ඒවා ද, කුඩා ඒවා ද විය. ලේස් කැඩී ගොස් තිබුණි. සපත්තු නිසිලෙස ඔපදමා නොතිබුණි. සපත්තු අඩි බොහොමයක් එක් එක් පැතිවලට ගෙවී ගොස් තිබුණි. ඇතැම් සපත්තු ඉරී ගොසිනි. කිහිප සරයක් අලුත්වැඩියාකර බිඳීගොස් තිබූ පාවහන්ද තිබුණි.

මේස් ජෝඩුව

ඇතැම් අය මේස් නොපැළඳ තිබුණු අතර, මේස් බොහොමයක් නූල් ගැලවී ගොස්. හිල්මතුවී තිබුණි. ඇතැමකු වර්ග දෙකකින් නොගැළපෙන මේස් පැලඳගෙන තිබිණි. වර්ණයන්ද අසමාන මේස්ද ඉරීගිය මේස්ද ඇතැමකු භාවිතා කර තිබුණි. එම සියලු අඩුපාඩු පෞරුෂත්වයට හානිදායකය.

ලේන්සුව

භාවිතා කළ බොහොමයක් ලේන්සු තම ඇඳුමට නොගැළපිනි. ඇතැම් ලේන්සු ඉතා කුඩා වූ අතර ඇතැම් ඒවා විශාල ඒවා විය. වර්ණය විවිධ වූ අතර, ඇතැම් අය ලේන්සුවට කුඩාම තුවා විශේෂ ද භාවිත කර තිබුණි. සර්වියට් ද භාවිත කර තිබුණි. ඇතැම් ලේන්සු හිල් වී නූල් ගැළවී ගොසිනි. ඇතැම් ලේන්සු ඉතා කිළිටි අවර්ණ වූ ඒවාද විය.

පනාව

දේශකතුමා පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී ඇතැමුන් ඒ සඳහා විවිධ මාදිලියේ කුඩා බ්‍රෂ් භාවිත කර තිබිණි. ඒවායේ දැවටුණු හිසකෙස් සහිත අවර්ණ වූ ඒවා ද විය. ඇතැම් පනා ප්‍රමාණයෙන් විශාල ඒවාද විය. (එය කාන්තාවන් හිස පීරණ පනාවැනි) පනාවල දැති කැඩී තිබුණු ඒවා ද විය. කිලිටි වූ පනා ද දෙකට කැඩුණ පනාවක්ද එක් අයකු භාවිත කර තිබුණි.

කරපටිය සහ බෝ එක

ඇඳුමට නොගැළපෙන කරපටි භාවිත කර තිබුණි. ඇතැම් කරපටි පසුපස නූල් ගැලවී ගොසිනි. ඇතැම් ඒවා අවර්ණ ඒවා විය. බෝ එවා නිසි ප්‍රමිතියට නොතිබුණු අවස්ථාවක් ද පෙන්නුම් කරන ලදී. ඇතැම් කරපටි ඕනවට වඩා විශාල ඒවා විය. ඇතැම් කරපටි හීනි වී ඇත. ඇතැම් කරපටි ඉරී ගොස් තිබුණි. මැහුම් පාරවල් ගැළවී ගොස් තිබුණි. ටයි පින් එකද තම කරපටියට ගැළපෙන එකක්ම වියයුතු බව පැවසීය.

යට ඇඳුම්

මේ ලෙසම අඩුපාඩු ඇතිනම් ඉරීගොස්, හිල් ඇතිනම්, අවර්ණ වී ඇතිනම්, තම ඇඳුමට නොගැළපේ නම් ඒවා ඉවත් කරන ලෙසට උපදෙස් දුනි. එමෙන්ම විශේෂයෙන් යට ඇඳුම් ඉතා පවිත්‍රව හෝදා මැද භාවිත කිරීමට පුරුදු පුහුණු වන ලෙසට උපදෙස් ලැබුණි.

කරපලඳනා හා සාටක ආදිය

ඇතැම් දෙනා විවිධ වර්ගයේ මාල, පලඳනා භාවිත කර තිබුණි. එය ඇඳුමට නොගැළපෙන ප්‍රමාණයෙන් විශාල ඒවා ද භාවිතා කර තිබුණි. ඇතැම් කර පලඳනා බරින් බෙහෙවින් වැඩි ඒවා ද විය.

උපැස්යුවල

තම මුහුණට නොගැළපෙන උපැස්යුවල් භාවිත කර ඇති අවස්ථා පෙන්නුම් කරන ලදී. ඇතැම් උපැස් යුවලක වීදුරු බිඳී තිබුණි. උපැස්යුවල රඳවනයද අවර්ණ වී පොතු ගැළවී අවලස්සන වූ ඒවාද විය.

අතේ පලඳින විවිධ පලඳනා හා වළලු ආදිය

තම ඇඳුමට හා දේහයට නොගැළපෙන අත් පලඳනා භාවිත කර තිබූ අවස්ථා පෙන්වා දුනි. ඇතැම් ඒවා බිඳී ගොස්, අවර්ණ වූ ඒවාද පලඳාගෙන තිබුණි. ඒවා ඉවත් කිරීමට අපට උපදෙස් ලැබීමු.

කරාබු කන්වල සහ නාසයේ පැලඳීම

පිරිමි අය ද කරාබු පැලඳීම වත්මන්හි අලුත් මෝස්තරයක් වී ඇති නමුදු එය පෞරුෂයට හානිකර බව දන්වන ලද ඇතැම් පිරිමි පුද්ගලයන් ද නාසයේ එක් මුදුවක් පැලඳගෙන සිටින ලදී.

පච්ච කෙටීම

තම ශරීරය පුරා විවිධ පච්ච කොටාගත් පිරිමි අය විය. ඇතැම් ඒවා අවලක්ෂණ වූ අතර ඒ ඒ පුද්ගලයාගේ පෞරුෂයට එය බාධාවක් වී ඇත. ඇතැම් වචන, අකුරු කිසිසේත් නොගැළපුණු අවස්ථා දේශකතුමා පෙන්වාදුනි. පච්ච නොකෙටූ පිරිස බහුල විය.

අතේ නූල් වර්ග ගැටගසා සිටීම

පිරිත් වැනි, ආරක්ෂක නූලක් හැරුණු විට අනිත් නූල් වර්ග රැසක් අතේ රඳවා ගැනීම පෞරුෂය හීන කරවන්නක් බව දේශකතුමා පෙන්වාදෙන ලදී. ඇතැම් පිරිස් අතේ විවිධ ලෝහ පටි පලඳනා තිබිණි. ඒවා ඖෂධීය වටිනාකමකට මිස අනිත් සියල්ල බැහැර කරන ලෙස උපදෙස් ලැබුණි.

නියපොතු වැවීම හා පාට කිරීම

පිරිමි පාර්ශවයට මෙය නොහොඹිනා බව පෙන්වා දෙන අතර දෙදෙනකු එලෙස නියවවා පාටකර තිබුණි. ඇතැම් අයගේ නියපොතු නිසිලෙස කපා නොතිබුණු අතර ඇතැම් ඒවා කිලිටි වී කුණුද ඒ තුළ රැඳී තිබුණි. සෞඛ්‍ය ආරක්ෂණ විදියක් ලෙස ඒවා ප්‍රතික්ෂේප කළ දේශක තුමා පිරිමින්ගේ පෞරුෂයට මේ පුරුදු නොහොඹිනා බව දන්වන ලදී.

මුදල් පසුම්බිය

සියලු දෙනාගේ මුදල් පසුම්බි දේශකතුමා නිරීක්ෂණය කොට එහි අඩුපාඩු පෙන්වා දෙන ලදී. ඇතැම් මුදල් පසුම්බි ඉතා අවර්ණ වී ඇති අතර ඒ තුළ විවිධ කොළ කැබලි කසල මෙන් රැඳී පැවතුනි. මුදල් නෝට්ටුද දිගහැර මනාලෙස අසුරා තබා ගන්නා ලෙසට දැන්වීය. ඇතැම් හමින් නිර්මිත පසුම්බිවල හම් කොටස් ගැළවී පලුදු ඒවාද විය. ඇතැම් ඒවා ඉරී පැවතුනි.

ජංගම දුරකථන හා නවීන ශ්‍රවණ උපකරණ භාවිතය (ඉයර්ෆෝන්)

මෙහිද තමාට සුදුසු ජංගම දුරකථනයන් භාවිත කරන ලෙසත් ඇතැම් ජංගම දුරකථන කවර ඉරී, බිඳී ගොස් තිබුණු අතර අවර්ණ වී තිබුණි. වීදුරු බිඳී ගොස් තිබිණි. ඇතැම් ඒවාවල ආරක්ෂක වීදුරු ඉරිතැලී ගොස් විවිධ පලුදු ජංගම දුරකථන මුහුණතේ තිබුණි. ඒවා සියල්ල වහාම අලුත්වැඩියා කරගැනීමට උපදෙස් දුනි.

උඩ සාක්කුවේ සුදුසු අලංකාර පෑනක් දෙකක් (අස්සන් පෑන්) රැඳීමට අවකාශ ඇතත් උඩ සාක්කුව පුරවාගත් පෑන් දමාගැනීම නුසුදුසු බවද දන්වන ලදී.

අත් ඔරලෝසුව

තම දේහයට උචිත ප්‍රමාණයන් සහිත අත් ඔරලෝසුව පැළඳීම නිර්දේශකර අතර, ඇතැමකුගේ අත් ඔරලෝසු කිහිපයකම ක්‍රියාකාරී නොවූ අතර ඒවායේ මූහුණත වීදුරු බිඳී ඉරි තැලී අවර්ණව තිබුණි. තමන්ට ඒ ඒ ගමන, ඇඳුමට උචිත පරිදි අත් ඔරලෝසු පැළඳ ගැනීමට උපදෙස් ලැබුණි.

බෑගය

ඇතැම් පිරිස් විවිධ වර්ගයේ බෑග් භාවිත කර තිබුණි. ඒවා ඉරුණු පලුදු වූ සම හීරී ඇති අවර්ණ වූ ඒවා භාවිත නොකළයුතු බවට ද එය තම ‘පෞරුෂයට’ හානිදායක බවද දන්වන ලදී.

චෙක්පත් රඳවනය

ජංගම චෙක්පත් බැංකු කටයුතුවලදී දෙවර්ගයද නිසියාකාර විය යුතු ය. එයද ඉරී පලුදු වී තිබේ නම් එය පෞරුෂයට හානිදායක වෙයි.

නම් ශීර්ෂ සහිත කාඩ්පත් (Visiting card)  භාවිතයේ දී එයද සරල සුගම විය යුතු අතර පහසුවෙන් තමන්ව හඳුන්වාදීමට සන්නිවේදන ක්‍රමයක් ලෙස භාවිත කළ යුතුය. විවිධ විච්චූර්ණ, මෝස්තර සහිත වෛවර්ණ කාඩ්පත් පෞරුත්වයට හානියක් බව දන්වන ලදී.

මෙයට අමතරව පුද්ගලයා පවිත්‍රව, හිස පීඩා, නිසි ගමනින් යුතුව සෞඛ්‍ය ආරක්ෂිතව මනා දේහයක් පවත්වාගෙන යාමට ද දිනකට හැකිනම් පැය භාගයක් වත් මනස සැහැල්ලු සුවෙන් සිටීමද මනස සමතුලිතව තබා ගැනීමද දිනපතා ස්නානයද, මුඛය දත් නිසිලෙස සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමද ස්ථානෝචිත ප්‍රඥාව සහ බුද්ධිමත් බවද පෞරුෂවය ගොඩනැංවීමට හේතු කාරක වනු ඇත.

මුදු භාවිතය

මුදු භාවිතය පිළිබඳව අදහස් දක්වන ලදී. ඇතැම් අයකු ඇඟිලි 10යේම මුදු පළඳවාගෙන සිටින ලදී. එවැනි දෑ පෞරුෂත්වයට හානිකර බව දන්වන ලදී. විවාහක අය එම තත්ත්වය නිරූපණය කරන මුදුව පැලඳගෙන සිටීමද ඡ්‍යොතිෂයට අනුව ඒ ඒ කාලවකවානුවට අපල සඳහා මුදු භාවිතයද පමණක් අනුමත කරන ලදී.

ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධව ‘පෞරුෂය’ ගැන ස්වර්ණාභරණ භාවිතය, අලංකාරය, විචිත්‍රත්වය, ඇඳුම් පැළඳුම්, වස්ත්‍රාභරණ, කාන්තාවන්ට පමණක් සුවිශේෂ වූ කුංකුම තිලකය, කාන්තා යට ඇඳුම් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත පැළඳුම් භාවිතය ඇයගේ පෞරුෂයට බලපාන බවත්, අත් බෑගය, කුඩා බෑගය, මුදල් පසුම්බිය, කාන්තාවන්ට උචිත ආකාරයෙන් විය යුතු ය. ඇයගේ කතාබහ, පියකරු බව කරුණාභරිත බව, මානසික ඒකාග්‍රතාවය පෞරුෂබව වඩවන්නකි. ඔබද ඔබේ අඩුපාඩු සකසා හොඳ පෞරුෂයකින් හෙබි මනුෂ්‍යයකු වන්නට අදිටන් කරගනු මැන.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.