සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද සායනය සමඟ එක්වන්නෝ

නොවැම්බර් 24, 2023

වසර 54ක අඛණ්ඩ ඉතිහාසයක් සහිත එකම ඡ්‍යොතිෂ පුවත්පත වන ‘සුබසෙත‘ ලේක්හවුස් ආයතනයේ සාඩම්බර ප්‍රකාශනයකි. සුබ යන්නෙන් සියලු යහපත් කටයුතු ද සෙත යන්නෙන් සියලු සත්ත්වයන් සුවපත් කිරීමද යන අරුත ගෙන ඡ්‍යොතිෂය හා ආයූර්වේදය මුල් කරගත් පුවත්පතක් ලෙස ඇරැඹි සුබසෙත මේ වන විට එහි නිම්වළලු පුළුල් කරමින් විවිධ විෂයයන් ඔස්සේ මුද්‍රිත පුවත්පත, විද්‍යුත් පුවත්පත සහ යූටියුබය, ෆේස්බුක්, වෙබ් අඩවිය වැනි නව මාධ්‍ය ඔස්සේ ද පාඨක ප්‍රජාව වෙත දැනුම සහ අවබෝධය බෙදා දීමට පියවර ගෙන ඇත.

කොවිඩ් වසංගතයත් සමඟ ඇණහිට තිබූ සමාජ සත්කාරක සේවාව වන සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද සායනය යළි ඔබ වෙත ගෙන එමින් ඔබේ ජීවිතයට සුබසෙත උදා කිරීමට අපි නැවත ඔබ සමඟ මෙසේ අත්වැල් බැඳ ගන්නෙමු.

විස වෙද රෝහල

ඒ සඳහා කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය දක්වන අනුග්‍රහය අති විශාලය. සර්ප දෂ්ඨනයෙන් ජීවිත අහිමි වීමට ආසන්න වූ පුද්ගලයන්ගේ දිවි ගලවා ගැනීමට තරම් ප්‍රබල විස වෙද ක්‍රම රැසක් මඟින් මහජනතාවට සේවය කිරීමට කැප වී සිටින මේ රෝහල ඊටම අදාළ වෛද්‍ය විද්‍යාලය මඟින් සිය දහස් ගණන් විස වෙද ප්‍රතිකාර දැනුමැති වෛද්‍යවරුන් බිහි කළ තෝතැන්නකි. එය බිහි වී වසර 44 ක් සැපිරීම නිමිත්තෙන් සහ එහි නිර්මාතෘ අමරවංශ පතිරාජ වෛද්‍යාචාර්යවරයාණන්ගේ 28 වැනි ගුණානුස්මරණය නිමිති කරගෙන මේ සායනය සංවිධානය කෙරේ. ඒ සඳහා අප සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ආයූර්වේද විෂ වෛද්‍ය මහා සංගමයේ ලේඛකාධිකාරිනී, කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධිකාරිණි - විදුහල්පතිනී, ආයුර්වේද විශාරද පණ්ඩිත විනිතා කල්‍යාණි පතිරාජ වෛද්‍යතුමිය ප්‍රධාන වෛද්‍ය මණ්ඩලය සහ ශිෂ්‍ය ප්‍රජාවයි.

ඊට අමතරව දිවයින පුරා විසිරුණු ඡ්‍යොතිෂවේදීන්, ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන්, වාස්තුවිද්‍යා විශේෂඥයන්, හස්තරේඛා විශේෂඥයන් හා අංග ලක්ෂණ ශාස්ත්‍ර ප්‍රාමාණිකයන් ඇතුළු දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපූර්ණ ප්‍රාමාණිකයන් පිරිසකගේ නොමඳ සේවය ඔබට ලැබෙනු ඇත.

 

ගඟුලේ වෙදමැදුර

පාරම්පරික ඇස් වෙදකම පිළිබඳ කීර්තිමත් පරපුරකින් පැවැත එන පානදුර හිරණ ගඟුලේ වෙදමැදුර හිමි පාරම්පරික අක්ෂි වෛද්‍ය විශේෂ වෛද්‍ය ශිරෝමනී බීත ඉෂාර මහේෂ් ලක්මාල් මහතා ඉන් එක් වෛද්‍යවරයෙකි.

 

ජාත්‍යන්තර පාරම්පරික හෙළ වෙද පවුර

නිරෝගී පුද්ගලයන්ගේ නීරෝගී කම රැක ගැනීම ප්‍රධාන අරමුණ කරගත් හෙළ වෙද පවුරේ වෛද්‍යවරු රැසක් අප හා මේ සද්කාර්යයට අත්වැල් බැඳගෙන ඇත. රෝගී පුද්ගලයන්ගේ රෝගී තත්ත්වය පාරම්පරික හෙළ ඔසු භාවිතයෙන් වඩාත් නිවැරදිව සහ රෝග නිධානය සහමුලින්ම ඉවත් කිරීමට කටයුතු කිරීම, අභාවයට යමින් තිබෙන සියලුම පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම සහ නගා සිටුවීම, දුර්ලභ ඝනයේ ඔසු පැල සංරක්ෂණය කිරීම සහ ව්‍යාප්ත කිරීම, මසකට වරක් ලංකාව පුරා නොමිලයේ සායන පැවැත්වීම මඟින් අභාවයට යන වටිනා හෙළ වෙදකම පිළිබඳව ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සහ ඒ අරමුණට ජනතාව යොමු කිරීම හෙළ වෙද පවුරේ අභිප්‍රායයි.

 

ෆේට්රෝ හස්ත රේඛා අධ්‍යයන ආයතනය

 

ෆේට්රෝ හස්තරේඛා සංවිධානය යනු දිවයිනේ හස්තරේඛා ශාස්ත්‍රය සම්බන්ධ පැතිර පවතින මිත්‍යාව දුරලමින් හස්ත රේඛා ශාස්ත්‍රය වෙත නව විද්‍යානුකූල ප්‍රවේශයක් ලබාදීම පිණිස කැපවී ක්‍රියාකරන ශ්‍රී ලංකාව තුළ පවතින එකම ගුරුකුලයයි. දහසකට අධික හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ නිපුණ ප්‍රාමාණිකයන් කණ්ඩායමක් සමඟ සම්බන්ධ එය අප සමඟ එදින හස්ත රේඛා පරීක්ෂාවට එක් වනු ඇත.

 

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනය

 

අප සායනයේ වාස්තු සේවය ලබා දෙන්නේ පුරාතන වාස්තු ශාස්ත්‍රය, නූතන වාස්තු විද්‍යාව හා පිරමිඩ (පයිරා) වාස්තු ශිල්පය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සඳහා වෙන් වූ ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයන් ආදීන්ගෙන් සමන්විත වසර පහළොවකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයයි. පසු ගිය දා අප අතරින් වියෝ වූ ආචාර්ය සූරිය ගුණසේකර සූරීන් මෙහි ආරම්භක සභාපතිවරයායි. වාස්තු පරීක්ෂාවන්, වාස්තු දෝෂ නිවාරණය මෙන්ම වාස්තු අධ්‍යාපනයේ ප්‍රමුඛතාවක් දක්වන සුවිශේෂ ආයතනයක් ලෙස ඔබගේ සියලු වාස්තු ගැටලුවලට ඔවුන් විසඳුම් ලබා දෙනු ඇත.

 

සිංහ සමාජ

 

අපට වඩා අසරණ වු ප්‍රජාව වෙනුවෙන් සරණක් විමට අන්තර්ජාතික සිංහ දිස්ත්‍රික් 306ඒ-2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති නිතිඥ සිංහ නුවන් ඉදුනිල් බැල්ලන්තුඩාව (එම්.ජේ.එෆ්) “නායකත්වයෙන් බල ගැන්වු සේවාවක්” යටතේ මාම්පේ සහ බටුවන්දර යන සිංහ සමාජ විසින් දියවැඩියාව වළක්වා ගැනිමේ උපදේශනය සහිතව ‘නිරාහාර හා අහඹු පරිඩි’ රුධිරයේ සිනි පරික්ෂාව සිදු කිරිම දෙසැම්බර් 9 හා 10 දෙදින උදෑසන 08:30 සිට පෙරවරු 11:30 දක්වා කැලණිය විස වෙද රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරේ. මෙහි ව්‍යාපෘති සංවිධායකවරු ලෙස සිංහ සුනිල් මද්දගේ සහ නවෝද්‍ය පණ්ඩිතරත්න කටයුතු කරති. ඊට අමතරව 306බී -2 සිංහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සිංහ සමාජය මඟින් නොමිලේ ඇස් පරීක්ෂාව සහ කණ්ණාඩි බෙදා දීමට පියවර ගනු ඇත. මෙහි පූර්ණ දායකත්වය සපයන්නේ වැලිවේරිය සිංහ සමාජයේ අධ්‍යක්ෂ සිංහ නිමල් කරුණාතිලක (පී.එම්.ජේ.එෆ් / පී. එම්. ඒ. එෆ්) මහතා ප්‍රමුඛ පිරිසයි.

මේ සියලු දෙනා සුබසෙත සමඟ අත්වැල් බැඳගනිමින් ඔවුන්ගේ සේවය මෙලෙස නිස්සරණාධ්‍යාශයෙන් කැලණිය අවට ජනතාව වෙත ලබා දෙනුයේ මහත් කැපවීමකිනි. ඒ පිළිබඳ ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ ප්‍රණාමය මේ සඳහා දායකත්වය දක්වන සියලු දෙනා වෙත හෘදයාංගමව පුද කර සිටින්නෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.