දන්නා ගාථාවලින් විස්මිත පල ලබන අයුරු

පෙබරවාරි 9, 2024

ඔබට අපට සෙත සදන තවත් මාහැඟි ගාථා රත්නයක් ඔබ හමුවේ තබන්නට අදහස් කළෙමි. එක් පුරාණ පිටපතක මෙය සිරිපා ඉමේ තවුසකු විසින් දෙන ලදැයි සඳහන් වේ. ඒ පිළිබඳ සටහන් විවිධ තැන්හි විවිධ අයුරින් දක්නට ලැබෙන අතර, මේ ගාථා රත්නය අප්‍රකට එකක් නොවේ. එහෙත් ප්‍රකට ගාථා රත්නය සහ මේ ගාථා රත්නය ප්‍රවේශමින් විමසත්වා.

නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
වම්මා තරද්ධ ගසමො අමබු භතො
නතො සසස හස්ස
සතො තම්බු භග නම්මා අස්සදධතො
වමො සර භස්ස
නමෝ තස්ස භගවතො
අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ප්‍රකට ගාථාවෙහි තෙවැනි පදයෙහි හයවන අකුර ‘භ’ වේ. එහෙත් මෙහි එය “හ” වේ. එහිම කෙළවර පදය ප්‍රකට ගාථාවෙහි “හ” වන මුත් මෙහි එය “භ” වන බව පෙනේ. මේ ගාථාවෙහි අක්ෂර සංයෝජනය ඉතා නිවැරදි සේ යොදා ඇති අතර, මෙය නිතර භාවිතයෙන් ඇස්වහ කටවහ දොස් මෙන්ම අණවින දෝෂද පහ වේ. ජයග්‍රහණය සඳහා ද යෝග්‍ය වේ.

කිසියම් රැකියා ප්‍රශ්නයක් හෝ අසාධාරණට එල්ල වන්නා වූ සතුරු ප්‍රශ්නයක් ඇති විටක ගිතෙල් පහන් 18ක් බෝධියට පුදා කහමල් 9 බැගින් මල් 36ක් බෝධියෙහි සිව් කොන පුදා මේ ගාථාරත්නය 108 වරක් බෝධිය අසල සිට පුරවා දෙවියන්ට පින්දී, දෙවියන්ට කාරණය සැළකිරීමෙන් නොසිතූ විරූ අයුරින් ඔබට යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිය. ඔබගේ කේන්ද්‍රයට ගැළපෙන ජය ගෙනෙන දවසක එම වර්ණ භාවිතා කිරීමෙන් ප්‍රතිඵල තවදුරටත් ශාක්ෂාත් කර ගත හැකි වනවා ඇත.

මේ ගාථාවට අදාළ යන්ත්‍ර රත්නයක් ද වේ. එහි ගැබ් 54කි. යන්ත්‍ර ක්‍රියා අනුව සකසා ගෙල පැලඳීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිය. මේ යන්ත්‍රය මෙහි ඉදිරිපත් නොකෙරෙන අතර, යන්ත්‍ර ක්‍රියා දන්නා ඇදුරු මහතකු ලවා එවැන්නන් සම්පාදනය කර ගත යුතුය.

බුදුන් වැඳ මේ ගාථාරත්නය පිරිසුදුව භක්තියෙන් සජ්ඣායනය කිරීමෙන් ශාන්තිය, සතුට, සාමය උදා වේ. තෙරුවන්ගේ පිරිත් ගාථා භාවිතා කිරීමේදි යහපත් ශීලයක පිහිටීම ප්‍ර‍්‍රධාන වේ. නවගුණ ගාථාවේ ගුණ කෙතෙක්ද ඒ හා සමානවම බුදුගුණ ගැයුමෙහි ගුණ වේ.

තවත් පිරිතක් ඔබට ගෙනෙන්නෙමි. එය නිවසේ සිරියාව, සෞභාග්‍ය, සතුට සඳහා වන්නේය. හොඳ තැඹිලි තෙල් ටිකක් ගෙන පිරිසුදුව පිරිත් කරගෙන බුදුපහන දැල්වීමට යොදා ගත හැකිය. සීවලී රහතන් වහන්සේට මල්, පැන්, සුවඳ දුම් පූජාකොට මෙහි දැක්වෙන් පිරිතෙන් 7 වරක් ගායනා කිරීම වැඩදායක වනු ඇත. කල්පනා කර බොහෝ යහපත් ප්‍රතිඵල සඳහා යොදා ගත හැකිය. පිරිත් පොතේද මේ ගාථා ඇත. මෙහි දක්වනුයේ අත්‍යවශ්‍ය කොටස පමණකි. ඉහත කී ප්‍රතිඵල අපේක්ෂා කරන්නවුනට එම දැහැන ප්‍රමාණවත් වේ.

නමො සීවලීච මහා ථෙරො සොරභො පචඡයාදීනං
පියො දේව මනුස්සානං පියො බ්‍රාහ්මණ මුත්තමං
නාසං සීමොච මෙ සීසං නාන ජාලිති සංජලිං
සදේව මනුස්ස පූජිතං සබ්බ ලාභං උපෙන්තු මේ

 

තවදුරටත් සුවඳ දුමට පිරිත් කොට වෙළඳසැළේ දුම් ඇල්ලීමෙන් වෙළෙඳාම සරු වේ යැයි කියා තිබේ.

ඛයං විරාගං අමතං පණීතං
යදඤ්ඤගා සක්‍ය මුණී සමාහිතො
නතෙන ධමෙමන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධමෙම රතනං පණීතං
එතෙන සචෙඡන සුවත්ථි හොතු

මේ රතන සූත්‍රයේ එන ගාථා රත්නයකි. මේ පිරිත් ගාථාවෙන් එළකිරට මතුරා පිරිත්කොට පිරිසුදුව කිරිබත් පිස පිඬුකොට එම කිරිබත් පිඬු තුණුරුවන් උදෙසා පූජාකොට සිතැඟි කියනු. හතුරු කරදර දුරුවේ. රැකියා විවාහ, දූදරු ගැටලු විසඳා දෙන සේ බෝධි ආරක්ෂක දෙවියන්ගෙන් අයදිනු. හොඳින් තුණුරුවන් වැඳ දෙවියන්ට පින්දී සැලකරනු. මේ ගාථා රත්නයෙන් පැන් මතුරා බෝධිය නහවනු. අවම 54වරක් පිරිත් කරනු 108ක් කළ හැකිනම් යහපත්ය. මා කුඩා කාලයේ සාමාන්‍ය සර්ප දෂ්ටනයකදී විෂ බැස්සවීමේ මන්ත්‍රයක් සේ භාවිතා කර ඇත්තෙමි. දෙහිඅත්තෙන් පිසිමින් මතුරා තිබේ. (එහෙත් අත්දැකීම් නැතිව එවැන්නක් කිරීමට යෝජනා නොකරමි)

දසමාර ගාථා රත්නයෙහි අවසන් දැහැන වශයෙන් සැලකෙන ගාථා රත්නය දැන් ඔබට ඉදිරිපත් කරනු ලැබේ. ඒ පිළිබඳ මතභේද තිබේ. එහෙත් මේ පිරිත් ගාථාව ඉතා ප්‍රබල ගුණ දෙන්නකි. විශේෂයෙන් අසාධාරණයට ලක්වුනු අයගේ යුක්තිය පසිඳලීම සඳහා සුදුසු සුදුසු විදියට හිතූ හිතූ විදියට භාවිත කළ හැකිය. පිරිසුදු රන් තැඹිලි තෙල් ටිකක් 1080 වර පිරිත්කර පැලැඳ නඩුවට යන්නේ නම් එය ජය ගනී. එහෙත් තමා ස්ථිර වශයෙන්ම නිවැරැදි විය යුතුය. මේ ගාථා රත්නය යන්ත්‍රයක් සේ ප්‍රස්තාර කොට කර පැලඳීම තුළින් සතුරු උවදුරු ප්‍රශ්න බොහොමයකින් මිදී යා හැකිය.

බුද්ධ ගාථා පිරිත් කර තෙල් බෙහෙත් යන්ත්‍ර නූල් සකස් කිරීමට පෙර අනිවාර්යයෙන් තිසරණ සරණ ගොස් සීලයක පිහිටා කායික, මානසික, පාරිසරික පිරිසුදු බව සහිතව ශ්‍රද්ධා භක්තිය ඇතිව ඒවා සිදු කළ යුත්තේය. පෙර කී ගුණ ඇති ගාථා රත්නය මෙසේය.

 

විභංගමානං ගරුළේහි තණෙඩා
මීගං ගණානං පරමොහ සීහො
මහා සයො මාර බාලස්ස මජෙඣ
විසාරදො වීත භයෝ නිසීදී

 

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.