අවුරුද්ද හා බැඳි ශක රාජ කවුරුද?

අප්‍රේල් 12, 2024

ඔබගේ ජන්ම පත්‍රය කේන්ද්‍රය දෙස නෙත් යොමු කරන්න. එය ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් යනුවෙන් සඳහන් වනු පෙනෙනු ඇත. මෙහි පමණක් නොව ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ සෑම කටයුත්තකදීම ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් විසින් ශක රාජ වර්ෂය භාවිත කෙරේ. මේ ශකරාජ වර්ෂය අවුරුද්ද හා සම්බන්ධය. ඔබගේ ගෙදර ඇති ලිතේ පවත්නා ව්‍යවහාර වර්ෂය හෙවත් ක්‍රිස්තු වර්ෂය කැපී පෙනෙන සේ සඳහන් වෙයි. ඊට වම් පසින් බොහෝ දුරට ඉහළට වන්නට ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂයත් දකුණු පසින් බොහෝ දුරට ඉහළට වන්නට ශ්‍රී බුද්ධ වර්ෂයත් සඳහන්ව තිබෙනු ඔබ දකින්නට ඇත. මේ වර්ෂයේ ලිත බලන්න. එහි 2024 කැපී පෙනෙන සේ දැක්වෙයි. ව්‍යවහාර වන්නේ එයයි. ක්‍රිස්තුන්් වහන්සේ හා සම්බන්ධිත එය ක්‍රිස්තු වර්ෂයයි. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙන් පසු එළඹෙන ජනවාරි පළමුවැනිදා සිට එය ආරම්භ වෙයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ලබන්නේ 2024මැයි 23 වෙසක් පුර පොහොය දිනයයි. එයද පෙනෙනු ඇත. සම්බුද්ධ පරිනිර්වාණ දින සිට ඇරඹෙන අතර ඒ දිනය බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුව වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ශකරාජ වර්ෂ 1946 ලබන්නේ 2024 අප්‍රේල් 13 දින යනුවෙන් වන සඳහන බලන්න. එය ශක රජු හා සම්බන්ධ බව පෙනෙනු ඇත. එය ලබන දිනය ලෙස සඳහන් වන්නේ අපේ අවුරුදු දිනයයි. දැන් අපි අවුරුද්ද හා බැඳුණු ශක රාජ ගැන බිඳක් කතා කරමු.

චීනයේ වයඹ ප්‍රදේශයේ වාසය කළ යුචි නමැති මනුෂ්‍ය කොට්ඨාසයක් මෞර්ය රාජ පරම්පරාවෙන් පසු දඹදිව සිංහාසනය අත්පත් කරගත් අතර ඔවුන්ගේ කඩෆයිසස් නම් නායකයකු රජ ලෙස පත්කර ගත්හ. මේ ඇරඹුණු රාජ වංශය කුෂාණ රාජ වංශය නමින් හැඳින්විණ. රජවරුන් කිහිප දෙනෙකුගෙන් පසු කණිෂ්ක නම් අති ශ්‍රේෂ්ඨ රජතුමෙක් කුෂාණ වංශයේ බලයට පත් විය. බලවත් ප්‍රතාපවත් රජෙකු වූ එතුමා යුද්ධ කරණයෙහි අති දක්ෂයකු විය. ඒ කීර්තියටත් වඩා බුද්ධාගමෙහි අනුගාමිකයකු ලෙස එතුමා ලද කීර්තිය මහත්ය.

කුෂාණ රාජ වංශයේ අති ශ්‍රේෂ්ඨ රජ වූ කණිෂ්ක රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව විවිධ අදහස් වෙයි. ඇතමෙක් ක්‍රි.ව. 78 දී ද ඇතමෙක් ක්‍රි.ව. 120 දී යයි ද රජ වීම සම්බන්ධ අදහස් දක්වති. බෙහෙවින් ක්‍රි.ව. 78 දී යන්න පිළිගන්නා බව පෙනේ. අද ඡ්‍යොතිෂයේ දී, ව්‍යවහාර වන ශක රාජ වර්ෂය ගණිනුයේ කණිෂ්ක රාජ්‍යෝදයේ සිට යයි අදහස් කරන අතර එසේ හෙයින් ක්‍රි.ව. 78 දී ඔහු රජ වී යයි යන්න පිළිගත හැකියයි ඔවුහු පෙන්වා දෙති.

වර්තමාන පෙෂාවොර් නමින් ව්‍යවහාර වන පැරැණි පුරුෂ පුරය කණිෂ්ක රජුගේ රාජධානිය විය. ඔහුගේ බලය ඉන්දියාවට පමණක් සීමා නොවීය. ඉන්දියාවෙන් පිට බොහෝ රාජ්‍ය මෙතුමාගේ ආඥා චක්‍රයට යටත් විය.

රජතුමා පඳුරු සහිත වගුරු බිමක ඇවිදින සුදු හාවෙකු දැක ඌ පසු පස යන කල අඩි තුනක් පමණ උස සෑයක් ගොඩ නඟන ගොපලු දරුවකු දුටු අතර රජතුමා නුඹ කුමක් කරන්නේ දැයි ඇසූ බවත් එහිදී ගොපලු දරුවා මෙසේ කී බවත් හියුසියෑං දක්වයි.

“මෙහි රාජ්‍යත්වයට පත්වන රජෙක් මගේ ශරීර ධාතුවලින් විශාල කොටසක් පිහිටුවා මේ තැන ස්ථූපයක් ගොඩනංවන්නේ යයි බුදු හිමියන් විසින් ප්‍රකාශ කරන ලදී. ඒ උත්තම ශාස්තෘවරයාගේ අනාවැකිය සිද්ධ කිරීමට මේ යෝග්‍ය කාලය බව සිහිපත් කරමි. කණිෂ්ක රජතුමා පෙර පින් ඇත්තෝ ය.”

මෙබස් පැවසූ ගොපලු දරුවා නොපෙනී ගිය බවත් මේ වදන් ඇසූ රජතුමා මහත් සතුටට පත්ව බුද්ධාගමට ගෞරව කරමින් බුද්ධාගම වැලඳගත් බවත් සර්වස්තිවාදී බෞද්ධයෙකු වූ කණිෂ්ක රජතුමා බුද්ධාගම වැලඳ ගැනීම පිළිබඳ හියුසියෑං පවසයි.

සර්වඥ ධාතූන් තැන්පත් කළ මහා දාගැබ් තනවමින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරමින් ධර්ම සංගායනා පවත්වමින් ආදී නොයෙක් කටයුතුවල යෙදුණු එතුමා සැදැහැති බෞද්ධයකු විය. එතුමාගේ වැදගත් ලක්ෂණයක් වූයේ සිය අධිරාජයාගේ යටත් වැසියන්ගේ ආගම්වලටද ගරු කිරීමය. කිසි විටෙක් ඒ හෙළා නොදැක්කේ ය. ඔහුගේ බලය පැවති ප්‍රදේශවල හින්දු, ගී‍්‍රක් ආදී විවිධ දේව රූප සටහන් කාසිවල දක්නට ලැබේ. පුරුෂපුරයේ ගොඩනැඟූ සුවිසල් ආරාමය බොහෝ කල් පැවතිණි. අඩි 600ක් පමණ උසට ගොඩනැඟූ ස්ථම්භය පුදුම සහගත නිර්මාණයකි.

කණිෂ්ක රජුගේ රාජ්‍ය ප්‍රාප්තිය ප්‍රභව කොට ඇති ශකරාජ වර්ෂය ආරම්භ වූ වර්ෂය ලෙස එපරිදි ක්‍රි.ව. 78 ගැනේ. අශෝක රජතුමාට පසුව බොහෝ ධර්ම ප්‍රචාර කටයුතු කළ කුෂාණ වංශික රජතුමාගේ රාජ්‍ය පදවි ප්‍රජාපතී වර්ෂය පිළිබඳ යම් යම් අදහස් ඇතත් ක්‍රි.ව. 78 බොහෝ දෙනාගේ පිළිගත් අදහසයි.

ශ්‍රීමත් ශාලිවාහන නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් විෂ්ණු දේව පංචාබ්දයෙහි තෙවැනි සංවත්සර භේදනාමධාරී චන්ද්‍ර දේවාධිපති කෝණ නම් සංවත්සරය වනාහි මීන රවි 31 භාග බක් මස පුර විසේනිය නම් තිථිය ලත් ශනිදින මධ්‍යම උදයාදි පැය 37 විනාඩි 11 තත්පර 00 ට නොහොත් සූර්යෝදයාදා පැය 37 විනාඩි 35 තත්පර 30ට හෙවත් ක්‍රි.ව. 2024 ක් වූ අපේ‍්‍ර්ල් මස 13 වන ශනිදින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් අපර භාග 09.05 ට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන්නේ ය යනාදි ලෙසින් 2024 හින්දු සිංහල අවුරුද්ද ශක රාජ වර්ෂයෙන් ආරම්භවන ආකාරය සඳහන් වන්නේ ය.

 

 

අම්බලන්ගොඩ

සිරිපාල  මාදුවගේ 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.