ඔබත් උපන්නේ අප්‍රේල් මාසයේ 12 සිට 18 දක්වා දිනෙකද?

අප්‍රේල් 19, 2024

 

අප්‍රේල් 12 වැනිදා

අප්‍රේල් 12වැනිදා උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ ගුරු ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබේ අභිලාෂයන් කෙසේ හෝ ඉටුකර ගැනීමේ ශක්තියක් ඔබ සතුවේ. එසේම කුජ සහ ගුරුගේ බලපෑම නිසා නිරන්තරයෙන් අන් අය පාලනය කිරීමට ඔබ උත්සහ කරන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව ඔබ සකසා ගනු ඇත. අන් අය යටතේ ක්‍රියාත්මක වීමට ඔබ කැමැති නැත. නීතිය සම්බන්ධයෙන් පූර්ණව ස්වාධීනව කටයුතු කරන අතර තරාතිරමකින් තොරව සියලු අවස්ථාවන්හි කටයුතු කරයි. එම නිසාම ශක්තිමත් සතුරන් මෙන්ම හොඳ මිතුරන්ද ඇතිකර ගනී. අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධයන්ට ගොදුරු විය හැකි නිසා ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 13 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සම්ප්‍රදාය ප්‍රිය කිරීම ඔබගේ ක්‍රමය නොවන අතර ඉතා ස්වාධීනව කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. සාහිත්‍යය කෙරෙහි ද දැඩි ඇල්මක් ඔබ දක්වන අතර ඔබටම ආවේණික වු ආගම ඇදහීමක් ද සහිත වේ. කිසිවකුගේ අවවාද ඔබ පිළිගන්නේ නැත. සෑම මතයකටම විරුද්ධ මතයක් ඉදිරිපත් කර තර්කයක් ගොඩනැඟීම ඔබගේ ක්‍රමය වේ. ඔබට සාර්ථක කාල පරිච්ඡේදයක් මෙන්ම අසාර්ථක කාල පරිච්ඡේදයකට ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුය. සෞඛ්‍යමය වශයෙන් සොයා ගැනීමට අපහසු රෝගාබාධවලට ලක්වීමට පැහැදිලි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 14 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ ස්වභාවය සහ ක්‍රියා කලාපයන් මත ජිවිතයේ සාර්ථක හෝ අසාර්ථක භාවය රඳා පවති. ඉතා උසස් අන්දමින් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිවැරැදි ලෙස තම මනස පාලනය කරගත යුතු වේ. ඉතා වේගවත් බවක් ඔබ සතුවන අතර ඕනෑම දෙයක් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රබල හැකියාවක් හිමි කරගෙන සිටී. කියවීමට බොහෝ සේ ඇලුම් කිරිම මෙන්ම ලිවීමෙන් සමාජයට යම් බලපෑමක් සිදු කළ හැකිය.අන්‍යයන්ගේ ආදරය එක සේ බලාපොරොත්තු වන නමුත් විවාහයේ ගැටලු සහගත බවට මුහුණ දීමට සිදු වේ. ආර්ථිකය සවිමත් කිරිමට හැකි නමුත් සෙල්ලක්කාර බව නිසා මුදල් විනාශ වීමට පැහැදිලි ඉඩකඩක් පවතී. ප්‍රබල වැඩ අධික බව නිසා මානසික ආතති තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

 

අප්‍රේල් 15 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ කුජ ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. ඉතාමත් අවංක පරිත්‍යාගශීලී ආදරණීය උණුසුම් හදවතක් ඔබට ඇත. විරුද්ධ ලිංගික ආකර්ෂණය නිබඳවම ඔබට හිමි අතර සරාගී බව ඔබ තුළ දක්නට ලැබේ. මිතුරන් බොහෝය. පරිත්‍යාගශීලි බව නිසා උදව් ඉල්ලන අයට නිබඳවම ඔබගෙන් උපකාරය හිමිවේ. පවතිනවාට වඩා හොඳින් ඉහළින් ජිවත් වීම ඔබගේ ස්වභාවය ද වේ.

කලාත්මක අංශවලට වැඩි නැඹුරුවක් ඇති අතර එම අංශවලදි වඩාත් සාර්ථක වේ.ඉක්මනින් විවාහය සිදුවන අතර පළමු විවාහය අසාර්ථක වේ. රෝගවලින් වහා සුවපත්වන මුත් හිස හා සම්බන්ධ රෝග තද බල හිස රදය උගුර කන නාසය සම්බන්ධ රෝග වැලඳීමේ පැහැදිලි ඉඩකඩක් පවතී.

 

අප්‍රේල් 16 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ සඳු සහ නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. සමාජීය සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් කැපවෙන ස්වාධීන මතවාද දරන ඔබ කලාකාමි පුද්ගලයකු වේ. සංචාරයේ යෙදිමට බෙහෙවින් ප්‍රිය වේ. එම නිසාම නිතරම පදිංචි ස්ථාන වෙනස් කරයි. ගුප්ත විද්‍යාව පිළිබඳ හැදෑරීම් කරන අතර මනස මෙහෙයවන ටෙලිපති වැනි දේ පිළිබඳව උනන්දුව කටයුතු කරයි. ආර්ථිකය එතරම් ස්ථාවර නොවේ. නිර්මාණාත්මක දේවලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉපයිය හැකි නමුත් සියලු ආකාරයේ සූදු ඔටිටු ඇල්ලීම විනාශයට හේතුවිය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතුය. ආදරය සම්බන්ධ කටයුතුවලදි පීඩාවට පත් වේ. සෞඛ්‍යමය වශයෙන් සෙම් රෝග උණ මැලෙරියාව ආදි තත්වයන්ට මුහුණ දේ.

 

අප්‍රේල් 17 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ජීවිතයේ මුල් කාලයේ එනම් අවුරුදු 35 පමණ විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් තම ඥතින් නිසා ඇතිවන බාධක ඉදිරි ගමන සදහා අවහිරයක් වනු ඇත විවාහය ප්‍රමාද වන නමුත් අඩු වයසින් විවාහය වුවහොත් විවාහය සාර්ථක වන්නේ නැත. එසේම හවුල් ව්‍යාපාරවලදීත් විවාහය මෙන්ම අසතුටු දායක සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ.මුදල් පිළිබඳ ලොකු ඇල්මක් ඔබට නොමැත. නමුත් දුගිභාවයට පත්වේයැයි බය නිසා මුදල් ආරක්ෂාකර ගැනීමට පෙලඹෙනු ඇත. නඩුහබවලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. නොසැලිකිල්ලෙන් ආහාර ගැනීමෙන් විවිධ චර්ම රෝග රුධිරගත ආබාධයන් වැලඳිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 18 වැනිදා

 

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 9 වන අතර එය කුජ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ කුජ ග්‍රහයා ගේ ද්විත්ව ආකාරයේ බලපෑමට යටත් වේ. ඔබ ඉතා ස්වාධීන පුද්ගලයකු වන අතර ඔබගේ අදහස් සෘජු ස්වභාවයක් ගනී. ඉවසීම අඩු අතර ඉක්මනින් කෝප ගැන්වෙන නිසා සෑම අවස්ථාවක ප්‍රබල නිර්භිත භාවයක් ඔබ සතුවේ. ජීවිතය පුරාම අනතුර බහුල වේ. විශේෂයෙන් කැපුම් තුවාල පිලිස්සීම් පිපිරීම් ගිනි අවි ප්‍රහාරයන් ශල්‍යකර්මයන් වැනි සිදුවීම්වලට මුහුණදීමට මොවුන්ට සිදුවේ. ක්‍රීඩාවට බෙහෙවින්ම කැමැතිය. සතුන්ට ආදරය කරයි. විවාහය සාර්ථක වන්නේ නැත. අසම්මත ක්‍රමවලට සමාව දෙන බිරිඳක් හෝ සැමියෙකු හමු වුනි නම් විවාහය සාර්ථක වේ. එහෙත් විරුද්ධ ලිංගිකයන් රාශියක් ඇසුරු කිරිම ඔබ විසින් සිදු කරයි. මත් පැන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සිදුවිය හැකිය. ආර්ථික කටයුතු සාර්ථක කර ගත හැකිය. හොඳ සෞඛ්‍ය සම්පන්න සිරුරක් දැකිය හැකි නමුත් අධි රුධිර පීඩනය හෘදයාබාධ සහ අංශභාගය සෑදීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.