නියපොතු නියමල් සහ කළු ලප

අප්‍රේල් 19, 2024

ඇඟිලි ගැන කීමේදී ඇඟිලි අග පවත්නා නිය පොතු අමතක කළ හැකි නොවේ. ශරීරයේ දෑතේද, දෙපයේ ද ඇඟිලි කෙළවර උඩ පැත්තේ නියපොතු පිහිටා ඇත. රළු ඝණ නියපොතු සහිත ඇඟිලි පවතී නම් ඔහු වාසනාවන්තය. ඇඟිලි වටකුරු රවුම් ආකාරයේ නියපොතුවලින් යුතු නම් කරුණාවන්ත හදවත් ඇති අන්‍යයන්ට පිහිට වන්නේය. හතරැස් ලෙසින් පිහිටි නියපොතු සහිත ඇඟිලි වේ නම් හේ මහා පෞරුෂයකින් යුක්ත අයෙකි. සමහරුන්ට තුන්හුලස් නියපොතු සහිත ඇඟිලි ඇත. හේ කාමාධික අයෙකි. වක්‍රාකාර සිනිඳු නියපොතු සහිත ඇඟිලි ඇත්නම් ඔහු නිරතුරු සතුටින් ජීවත්වෙයි. ජනසමාජයේ මහත් ප්‍රසාදයට පත් වෙයි. පැලී ගිය නිය සහිත ඇඟිලි ඇත්නම් ඔහු දුප්පත්වීමේ ලක්ෂණ ඇත්තෙකි.

ඉතා පළලට සුදුපැහැයට නිය පිහිටි ඇඟිලි වේ නම් ජනප්‍රසාදයට පාත්‍රවෙයි. කාගෙත් සිත් ඇදගන්නා සුළු නියමල් ඇඟිලි වගේම දක්නට ලැබෙන්නකි. සුදු නියමලක් සහිත මාපටැඟිල්ල වේ නම් ඔහුට කාන්තාවන්ගේ ආදරය එමට හිමිවෙයි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකි අයෙකි.

සුදු නියමලක් වෙදඟිල්ලේ පිහිටා ඇත්නම් කාගේත් ප්‍රශංසාව හිමිවෙයි. ධන ලාභීය.

මැදඟිල්ලේ සුදු නියමලක් සහිත නම් ඒ වාසනාවන්ත භාවයේ ලක්ෂණයකි. දෙස් විදෙස් සංචාරක ලක්ෂණයකි.

සුදු පැහැ නියමලක් සහිත දබරැඟිල්ල ඉක්මනින් ධනවත් වන බව ලකුණුය. වෙළෙහෙළඳාම් දියුණු වෙයි.

සුදු පැහැ නියමලක් සුළඟිල්ලේ පිහිටා ඇත්තේ නම් ඉගෙනීමේ සාර්ථකත්වය ලබයි. මිල මුදල් යම් යම් වාසි ප්‍රයෝජන ලබයි.

සුදු පැහැ නියමල් පිහිටි ඇඟිලි වීම යහපත් ලක්ෂණයක් මෙන්ම කළු පැහැ නියමල් පිහිටි ඇඟිලි අයහපත් ලක්ෂණයකි. මැදගිල්ලේ කළු පැහැ නියමලක් පිහිටීම මරණය ගෙන දෙන තරම් අවාසනාවන්ත පෙරනිමිති සේ සැලකේ.

නියමල් මෙන්ම කලු ලපද ඇඟිලිවල පිහිටයි. එබඳු ලප ගැන දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ කරුණු පෙන්වති.

සුළඟිල්ල කලු ලප සහිත නම් අවාසනාවන්ත ලෙස සිය දිවි ගමනේ අවසානය ළංව ඇතැයි හඟවයි. වෙදඟිල්ලේ කලු ලපය සහිත නම් හේ ධනය රැස් කරන්නෙකි. මැදඟිල්ලේ කලු ලපය ඇත්තෝ අනුන් ගැන නොසලකති. ආත්මාර්ථකාමී පුද්ගලයෝය. ධනය ඒකරාශි කිරීම් අරමුණෙන් ක්‍රියාකරන මොවුන්ගේ ජීවිත විනාශයද ළඟ බව කියා පායි.

දබරඟිල්ල කලු ලපයක් සහිත නම් අභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදයක් උදාවන බව කියයි.

මාපටැඟිල්ල කලු ලප සහිතවීම ආදරයෙන් කරදරයක පටලවයි. බරපතළ කරදරවලට පත්වෙයි.

නියමල් හා කලු ලපද ඇඟිලි හා සම්බන්ධ හෙයින් ඇඟිලිවල ස්වභාවය ඔස්සේ චරිත ලක්ෂණ කියාපෑමේදී නියමල් හා කලු ලපද මෙහිලා ගැනිණි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.