හදිසියේ අන්ධවූවන් සුව කළ කොණ්ඩදෙණියේ හිමිවරු

ජුනි 7, 2024

 

බ්‍රහ්ම මුහුර්ථයෙන් හිමිදිරි පාන්දර අවදිවන කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තම වත් පිළිවෙත් අවසන් කර බුදුමැදුරේත්, දේව මන්දිරියේත් සුවඳ දුම් අල්වා පහන් දැල්වීය. ඉන්පසුව තමන් වහන්සේගෙන් කවර හෝ සේවාවක් ලබාගැනීමේ අටියෙන් පෙළ ගැසී සිටින ආගන්තුක පිරිස දෙස සානුකම්පිතව බැලූහ.

ඒ සමඟම එකවර දේවමන්දිරයේ පහන්සිළු සියල්ල මහත් ආලෝකයක් දෙමින් ඒකාලෝක විය. තම අත්දැකීම් සමුදාය තුළින් හිමියන්ට ප්‍රත්‍යක්ෂ වූයේ පළමුව දේව මන්දිරය තුළට සපැමිණෙන පුද්ගලයාගේ අරමුණූ දේව මණ්ඩලය විසින් එවලේම ඉටුකරන බවට දෙන දේව ප්‍රතිඥාවක් බවය.

වයසක වුවත් පාංශු දේහධාරියකුගේ කණවැල අල්ලාගෙන පැමිණෙන කඩවසම් තරුණ කොලු ගැටයකු උන්වහන්සේට එක්වරම දිස්විය. ඔවුහු පෝලිමේ කෙළවර සිටියහ. “ඩිංගිරි බණ්ඩෝ - මාව හමුවන්න ඉන්න හැමෝටම අර පාන්දරින් හදාපු කොළ කැඳ වීදුරුවකුත්, කිතුල් හකුරු කෑල්ලකුත් සමඟ උදේට සප්පායම් වන්නට හදාපු දෙයකුත් දීල බෝධියත්, බුද්ධ මන්දිරයත් වැඳ පුදාගෙන තමන් ආ කාරණාව ඉෂ්ට සිද්ධ වන්න ප්‍රාර්ථනා කරල එන්න කියන්න. ඊට පසුසේ අර පෝලිමේ කෙළවරම ඉන්න අන්ධ මනුස්සයාව ඉස්සෙල්ලාම දේව මන්දිරයට ගන්න.

හිමි එලෙසම ක්‍රියාත්මක විය.

දෑස් නොපෙනෙන තම පියා සමඟින් පැමිණි ඉලන්දාරී තරුණයා හඬ අවදි කළේ ය. අවසරයි හාමුදුරුවනේ, අපේ ගම ගාල්ලෙ උණවටුනේ. ඊයේ කොළඹ නෑ ගෙදරක ඉඳල රේල්ලුවෙන් මහවට ඇවිත් එතැන් සිට රික්ෂෝවකින් කොණ්ඩදෙණිය පන්සල හොයාගෙනයි ආවේ.....”

“හොඳයි ආපු කාරණේ කීවානම්”

“ මේ මගේ තාත්තා, මම ඉපදෙන්නත් කලින් අපේ තාත්තගේ ඇස්දෙක එකපාරටම පේන්නේ නැතිව ගිහින්. ඊට කලින් හොඳින් පේන්න තිබුණලු.” ඇස් දොස්තරවරු කීදෙනකුට කීවතාවක් පෙන්නුවත් වැඩක් වුණේ නැහැ නොවැ....

අඩු තරමින් දැස් නොපෙනෙන්නට හරිහමං හේතුවක් වත් දැන ගන්නට ලැබුණේ නැහැ. ලංකාව පුරා ගිහින් ගුරුකම් කීයක් නම් කළාද? ඒ එකකින් වත් පෙනීම ගන්න බැරි වුණා.... අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට බුදුබව අත්වෙයි. මගේ තාත්තාගේ ඇස්දෙක සනීපකරල දෙන්න.”

හිමියන් පාමුල වැඳ වැටුණු තරුණයා පින්සෙන්ඩු වන්නට විය. සියලු දුක්ඛ දෝමනස්සයන්ට සාවධානව මෙතෙක් ඇහුම්කන්දුන් හිමියන් “ඩිංගිරි බණ්ඩෝ - මුන්දෑව ගොඩදාන්න යාතු කර්මයක් කරන්න වේවි. අඩු වැඩිය ඉක්මනින් අරං ආවනං”

මෙවැනි අවස්ථාවට අවශ්‍ය දෑ මොනවාද යන්න තම අත්දැකීමෙන් දත් ඩිංගිරි බණ්ඩා සුළු මොහොතකින් අවශ්‍ය සියලු දෑ ගෙන දේව මන්දිරයට පැමිණියේ ය. දෑස් නොපෙනෙන මනුෂ්‍යාටත් ඔහුගේ පුතාටත් දේව මණ්ඩලයට වැඳගෙන සිටින ලෙස නියෝග කළ හිමියන් බලගතු මන්ත්‍රයක් ජීවම් කිරීමට පටන් ගත්හ.

ක්‍රමයෙන් මන්ත්‍ර ජප කිරීමේ හඬ වැඩිවෙමින් මහත් වූ දෝංකාරයක් දෙන්නට විය. එයට සමගාමීව දේව මණ්ඩලයේ සියලුම පහන් සිළු මහත් සේ ඒකාලෝක වී වඩාත් ප්‍රභාශ්වර විය. හිමියන් තව තවත් මන්ත්‍ර කියමින් ජීවම් කිරීම වේගවත්වන්ට මුළුමහත් දේව මණ්ඩලයේ පිළිමවලට කිසියම් ජීවයක් පැමිණියාසේ ඒවා සියල්ල සෙලවෙන්නට විය.

හිමියෝ දකුණු අත ඔසවා ඩිංගිරි බණ්ඩාට කිසියම් සංඥාවක් කළහ. එසැණින් වහාම එක ඉත්තේ පැහුණු දෙහි ගෙඩි තුනක් ගිරයක්, වතුර සහිත භාජනයක් හිමි අතට පත්විය.

නැවත වතාවක් මන්ත්‍ර ජීවම් කිරීමේ හඬ ප්‍රබල විය. ක්‍රම ක්‍රමයෙන් භාජනයේ ජලය නටා බුබුළු දමන්නට විය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන් කෙළ පැමිණි සිටි උන්වහන්සේ ඒ සමඟම ඩිංගිරි බණ්ඩා ලබාදුන් ඖෂධ වර්ග කිහිපයක්ද කවලම් කරන්නට විය. ඒ සමඟම පිරිසුදු නටන වතුර කොළ පාටට හැරිණි. තරුණ පුතණුවන්ද මොනවායින් මොනවා වේවිදැයි නොදැන විස්මයෙන් බලා සිටියේය.

හිමියන් දෑස් නොපෙනෙන මහලු පියාගේ ඇස් දෙක ඇරවා එම ජීවම් කළ ඖෂධීය ජලය දෑසට වත්කර ඉතිරි ඖෂධීය ජලයෙන් මුහුණකට හොඳින් සේදීමට සැලැස්වූහ. ඒ පුද්ගලයාද කිසිදු පැකිලීමකින් තොරව තම දෑස් පිසදාන්නට පටන් ගති. ගත වූයේ නිමේෂයකි. කිසිවක් පේන්නේ නැතිව ආ ලොකු උන්දෑ මහා සද්දෙන් කෑ කෝ ගසන්නට පටන් ගත්තේය.

“අයියෝ මට අදහගන්නත් බැහැ නොවැ. මේ මක්කද වුණේ... දැන්මට - මගේ කොල්ලා, මගේ එකම දරුවා හොඳින් පේනවා හාමුදුරුවනේ මට මගේ කොල්ලව දැක බලාගන්න ලැබිච්ච එකත් මම කළ පූරුවේ පිනක් වෙන්නැති.”

ඔහුට තමන් දේව මන්දිරය තුළ සිටින බව මොහොතකට අමතක වී තිබිණි. ඔහුගේ සතුට දෝරේ ගලන්නට විය. එම තාත්තා තම තරුණ පුතාගේ ඇඟපත අත ගාන්නට විය. උස මහත බලන්නට විය.

“ආහ්... මටත් වැඩිය පුතා උස මහතනේ...” ඔහු එක් වරම දොහොත් මුදුන් දී වැඳ වැටී නායක හිමිපාණන්ගේ දෙපතුල් සිඹිමින් සතුටු කඳුළු වගුරුවා සමුගත්තේය.

මාස කිහිපයකට පසු කොණ්ඩදෙණිය පාසලට නැවත පැමිණ හිමියන් මුණ ගැසුණේ තරුණ පුතාගේ විවාහ මංගල්‍යයට ආශීර්වාද ලබා ගැනීමටය. එකල පන්සලේ අබැලිව තිබූ කුස්සියද අලුත්වැඩියා කරදීමට ද අමතක කළේ නැත.

කොණ්ඩදෙණියේ වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් තම කිරි අත්තා වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් සමීපයේ කුඩා කල පටන් හැදී වැඩුණු බැවින්ද යාතු කර්ම පිළිබඳවත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවත් ප්‍රවීණත්වයක් ලැබුහ.

ගාල්ල මිහිරිපැන්නේ ජන්ම භූමිය කරගත් මගේ බිරිඳගේ කිට්ටු ඥාති නැඟණියකගේ කනිටු දියණියට ඇති වූ අක්ෂි දෝෂයකට පිළියම් කිරීමට ඉන්දියාවේ ප්‍රසිද්ධ රෝහලකට සිදුවිය. අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ පියාත් රජයේ හිටපු හෙද පාලිකාවක් වූ මවත්, මේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්, යාතු කර්ම විශ්වාස නොකළහ. එබැවින් ඔවුන් කොණ්ඩදෙණියේ හිමියන්ගේ සහායක් ලබා ගැනීමට නොහැකි විය.

ඒ අල්ලපනල්ලේ මගේ හිතවතකුගේ සොයුරාගේ නිඹුල්ලු වූ පස් හැවිරිදි පුතණුවන් දෙදෙනාගේ එක්විටම පුදුම සහගත ලෙස දෑස් පෙනීම ඉතා ඉක්මනින් දුර්වල වී නැති වී ගියේය. ලංකාවේ සුප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරුන් වෙත දරුවන් දෙදෙනා රැගෙන ගියද ඔවුන්ගේ මතය වුයේ හඳුනාගත නොහැකි ඉතා විරල අක්ෂි රෝගයකින් දරුවන් දෙදෙනා අන්ධභාවයට පත්වන බවය.

ලංකාවේ වාණිජ අගනුවර ප්‍රසිද්ධ බොදුනු පාසලකට දරුවන් දෙදෙනා ඇතුළත් කර හොඳ අධ්‍යාපනයක් ලබාදීම අභිප්‍රාවෙන් ඔවුන් එම පාසලට යාබද නිවසක්ද විශාල මුදලක් වැයකොට ඊට වසර 5කට පෙරාතුව මිලදීගෙන තිබුණි. දෙමව්පියන්ගේ සියලු බලාපොරොත්තු සුන් විය. රත්මලාන අන්ධ විද්‍යාලයට තම කුලුඳුල් දරුවන් ඇතුළත් කළ යුතු බවට උපදෙස් ලැබිණි.

මේ අතරතුර මේ මාපයෝ කොණ්ඩදෙණිය පන්සලට දරු දෙදෙනා කැටුව ගොස් තම දුක්ඛ දෝමනස්සය කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන්ට සැළ කළෝ ය. හිමියන්ට වැටහුණේ ඔවුන්ගේ ඥාතියකු විසින් ඊර්ෂ්‍යාවට කරන ලද බන්ධනයක් හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ අනුරුද්ධ හිමියන් ප්‍රබල යාතු කර්මයක් සිදු කළහ. ප්‍රබල මන්ත්‍ර ජීවම් කර උපයෝගී කොට රන්සුර දෙකක් දරුවන්ට පලඳවා ප්‍රතිකාර කළහ. සතියකින් දරුවන් දෙදෙනාට පෙර පරිදි පූර්ණව පෙනීම ලැබිණි. ඔවුන් දැන් පුංචි ආනන්දීයන්ය. එදා බුදුන් කල සිටි ජීවක වෙදතුමන් මට සිහි විය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.