හරක් හොරුන් මට්ටු කළ කොණ්ඩදෙණියේ මන්තර

ජුනි 14, 2024

හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිදුණු කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් පන්සල්භූමිය ඇමද, වැව්තාවුල්ලට ගොස් දිය නා ගෙන පැමිණ බුදුගේ බුද්ධ වන්දනාමාන කොට අහවරව දේව මන්දිරයේ පහන්සිළු දල්වා අවසන් වී ඩිංගිරිබණ්ඩා හිමිදිරියේම පිළියෙල කළ කොළ කැඳ කෝප්පයක්, කිතුල්හකුරු සමඟ වළඳා අවසන් වූවා පමණි.

යාබද කඩම්බාවේ ගමේ වෙසෙන අහිංසක දුප්පත් මනුෂ්‍යයකු ඉතා කඩිමුඩියේ අවුල්වූ පෙනුමකින් යුතුව පැමිණ නායක හිමියන් බැහැ දකින්නට විය.

ඔහු කෙතරම් කලබලවී පැමිණියේද යත් ඔහු කියනා දෙය. කටහඬ පැහැදිලි නොවීය. සුළු මොහොතක් යනතුරු ඔහුගේ වචන ද මුවින් පිට නොවී තතනන්නට විය.

“මේ අපේ උපාසක උන්නැහේ නොවැ”

මොකෝ මේ අරුමැක්කේ කලබලෙන් වගේ... හීන්සැරේ හති ඇරලා... පැමිණි කාරණය පැහැදිලිව කිව්වා නම්”

බීරන්තට්ටු වී ගොස් ඇති ඔහුගේ මුහුණ මහත් ශෝකාකූල විය. ඉහෙන් කනින් දා බිඳු ගලමින් පැවතිණි. ඔහු නාහිමි පාමුල අඬාවැටෙන්නට විය.

“අපේ හාමුදුරුවනේ මගේ එකම එළදෙනයි. වහුපැටියයි. ඊයේ රෑ හොරු අරන් ගිහිල්ලා. අනේ අපිට පිහිට වෙන්න හාමුදුරුවනේ”

එදා කොණ්ඩදෙණිය ගම්පියස මහ වන කඳුරක්ව පැවතිණි. විශේෂයෙන්ම අපරාධයක් සිදුවූයේ නම් ඒ හොරකම්ය. එදා මුළු පළාතටම ගම්මුලාදෑනියකු ද නොවීය. කොණ්ඩදෙණිය ගමේ මහා දුක්ගන්නාරාළ වූයේද අප නායක හිමිපාණන් මය.

“අනේ මට කියන්න කරන්න වෙන කෙනෙක් නෑ නොවැ ඔබ වහන්සේ මට සිද්ධ වුණ අසාධාරණයට පිහිට වෙන්න”

මගේ පවුලේ දරුවෝම දහ දෙනෙක්. උන් බලාහදා ගත්තෙ, උන්ට කන්න බොන්න දුන්නේ මේ කිරිහරකයි වහුපැටියයි හින්දාමයි. මගේ රස්සාවත් ගමේ ඇවිදිල කිරිටික විකුණන එකනෙ, දැන් ඒ ඔක්කෝම අහවරයි. මගේ කොලු පැටව් ටිකත් උස්මහත් වෙච්ච එවුන්. උනුත් මේ හොරකම් කළ අයත් හොයාගෙන උණුත් එක්ක පැටලිලා මහා විජ්ජුම්බරයක් කර ගනී කියලත් බයයි හාමුදුරුවනේ.”

අසල්වැසි ගමේ දායකයාගේ මේ දුක්ඛ දෝමනස්සය සාවධානව අසා සිටි නායක හිමියන් හඬ අවදි කළහ. “දායක මහත්තයාගේ ගෙදර ඉන්න කොලු පැටව් දෙන්නෙක් ඉක්මනින් දුවල ගිහින් පන්සලට එක්කගෙන එන්න.”

නොබෝ වේලාවකින් වැඩිමල් කොලුපැටව් දෙදෙනාද කැටුව ලොකු උන්නැහේ කොණ්ඩදෙණිය පන්සලට පැමිණ හිමියන් මුණ ගැසිණි. හිමියන් දේව මන්දිරය තුළ ඇති කළුවර කනප්පුවට බලගතු මන්ත්‍රයකින් ජීවම් කරන්නට විය. කාලි මෑණියන්ගේ පහන් සිළුව මහත් ආලෝකයක් ගෙන දෙන්නට විය. ඒ සමඟ තඩි කළු බළලෙක් පැන හිමි පාමුල දැවටෙන්නට විය. මොහොතකින් සමන්පිච්ච මල් සුවඳින් මුළු දේව මන්දිරයම පිරී ඉතිරිණි.

හිමිගේ අණ පරිදි ලොකු උන්නැහේගේ කොළුවන් දෙදෙනා කළුවර කනප්පුවට අත්තබා ගෙන ඇවිදින්නට පටන් ගති. ගම පුරා කරකැවෙමින් ඇවිද ගිය කනප්පුව උපාසක දායක මහතාගේ එකකුස උපන් නැඟෙණියගේ ගේ අසල නතර විය.

කළුවර කනප්පුව පසුපස හිමියන් ද, ලොකු උන්නැහේද ගමේ පරිවාර කොල්ලො කුරුට්ටෝ ද පැමිණ නතර වූහ. හොරා තම නංගීගේ ගෙදර සිටින්නේදැයි උපාසක මහතාද අවට වාසීන්ද පුදුමයට පත් විය.

උපාසක මහතා තම නැගණිය සමඟ උස්හඬින් කතාබහ කරන්නට විය. මේ අතරතුර සීලරතන හිමියෝ ද වහා එතැනට වැඩම කළහ.

“තමුන් දන්නවනෙ මම කව්ද කියලා

ඇයි මේ වගේ හොරකමක් කළේ”

“අනේ මම මේවට කිසිසේත් සම්බන්ධ නැහැ හාමුදුරුවනේ අර නාහෙට අහන්නැති මදාවි කොලු ගැටව් දෙන්න තමයි ඔය වගේ තිරිසන් වැඩ කරන්නෙ.

උන් මගේ කුස උපන් දරුවෝ නොවෙයි. අපේ මනුස්සයාගේ පළමු කසාදෙ ළමයි. කියන කිසිදෙයක් අහන් නැහැ. මහ නැහැදිච්ච එවුන්. උන් හදන්න බැහැ හාමුදුරුවනේ”

“මගේ වාසනාවකට ඔබ වහන්සේ වැඩියේ, අන්න උන් තවත් මොකද්දෝ අසමජ්ජාති වැඩකට අර අඳිමින් ඉන්නවා”

එම දිසාවට වැඩම කළ හිමියන් දුටුවේ මාළු කපන මහා දිග මන්නයක් ඇතැතිව සිටින දෙදෙනාය. ගසක බැඳ සිටි කිරිහරක් පැටියා මරා දමන්නට එක් අයකු අත එසවූවා පමණි. හිමියන්ගේ ප්‍රබල මන්ත්‍රයකින් ඔහු ගල්ගැසී ගියේය. හිමියන් වහා ක්‍රියාත්මක වූහ. පසුව මන්නා පිහි විසිකළ ඔවුහු හිමි දෙපාමුල දණින් වැටී බැගෑපත් වූහ. කරන්නට ගිය අපරාධය වැළකිණි.

“මේ ලොකු උන්නැහැ. දැන් ඉතින් මේ කිරි අම්මවයි පැටවයි මෙතැනින් ගෙදර අරන් යනවා. මට ඕනෙ නම් මේ අපරාධයට කැස කැවූ දෙන්නාම මෙතනම ගල්කරල යන්න පුළුවන් ඒත් මම එහෙම කරන්නේ නැහැ. දැන් තමුන්ලට ගම තහනම්. වෙන ගමකට ගිහින් හේනක් කොටාගෙන ජීවත්වෙයල්ලා. ආයෙ මේ වගේ වැඩ කරල අහුවෙනවා හෙම නොවෙයි.”

වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ නාහිමියන් වෙත ද මෙවැනිම සොරකමක් පිළිබඳ ආරවුලක් කොණ්ඩදෙණිය ගමට යාබද බමුණුගම වෙසෙන අහිංසක දුප්පත් මිනිසකු විසින් පවසන ලදී.

ඒ අහිංසක ලොකු උන්නැහැ තමන්ට වෙච්ච නස්පැත්තිය අනුරුද්ධ හිමියන්ට සැලකළා පමණි. “මට ඔනෙ නම් කනප්පුවක් කරකවලා ගමටම කියලා හොරා අල්ලා දෙන්න පුළුවන්. හැබැයි මම කැමැති නෑ හොරාට වුණත් ලැජ්ජා කරන්න. මට ඔනේ ආපහු එහෙම වැරැදි නොකර ඉන්නවා දකින්න. ඒ නිසා අදට මම පොඩි දෙයක් කරනවා.”

එසේ කියමින් හොරකම සිදු වූ ස්ථානයට වැඩි අනුරුද්ධ නායක හිමියන් ලොකු උන්නැහේ කිරි හරකුන් ගැට ගසා තිබූ ගවගාල අසලින් පස්මිටක් ගෙන එවලේම බලගතු මන්ත්‍රයකින් ජීවම් කොට එම පස්මිට අහසට විසිකර ලොකු උන්නැහේ ද කැටුව කොණ්ඩදෙණිය පන්සලට වැඩම කළහ.

නොබෝ වේලාවක් ගතවූවා පමණි. කටින් නාසයෙන් සෙම පෙරාගෙන.. විකාර දොඩවමින් වෙව්ල, වෙව්ලා හොරකම් කළ මිනිසාත් ඔහුගේ භාර්යාව හා දරුවන් ද සමඟ කොණ්ඩදෙණිය පන්සලට පැමිණ තම ස්වාමි පුරුෂයා කළ මේ අසමජ්ජාති හොරකමට සමාව ඉල්ලා හිමි පාමුල හඬා වැටෙන්නට වූහ.

හිමියන් වැලිමිටක් දෝතට ගෙන නැවත මන්ත්‍රයක් මතුරා අහසට විසි කළහ. හොරාට ප්‍රකෘති සිහිය ලැබුණි.

යාබද කැළෑවක සඟවා තිබූ රත්තී සහ වසුපැටවා බේරාගෙන ලොකු උන්නැහේ තම සුපුරුදු නවාතැනට කැන්දාගෙන ආවේ මහත් සොම්නසිනි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.