ගජකේශරී යෝගයෙන් ලග්න හතරකට ධන උල්පත්

අප්‍රේල් 19, 2024

 

නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටම

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලය

සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ ලග්නවලට සස මහා පුරුෂ යෝග බලය

 

මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට ධන වාසනා පෑදෙන ගජකේශරී යෝගය ප්‍රබලව ද අනෙක් ලග්න හිමියන්ට මධ්‍යස්ථවද යෙදෙමින් අලුත් අවුරුදු සමය නිම වෙයි. මේ අතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සස යෝගබලය තවදුරටත් පවතිමින් ගේ දොර ඉඩකඩම්, යාන වාහන හිමි වීමේ වාසනාව මතු කරන අතර ඕනෑම අභියෝගයක් දරා ගැනීමේ හැකියාව ද ආගම දහමට ඇති ළැදියාව ද දියුණු කරයි. එසේම මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට මාලවී යෝගයේ බලය මේ මස 24 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පවතිනු ඇත. කලාකාමී හැකියාවන් තවදුරටත් වර්ධනය කෙරෙමින් සතුට විනෝදය උපරිමයෙන් අත්කර දෙයි. ලග්න දොළසටම චන්ද්‍ර මංගල, ශනි මංගල, රවිගුරු, සහ නීච භංග රාජ යෝග බලය පවතින අතර 24 වැනිදා සිකුරු මේෂ ලග්නගත වීමෙන් පසුව ද සියලු ලග්න හිමියන්ට කම්සැප උදා කිරීමේ ප්‍රවණතාවක් පවතී.

ශනි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, ගුරු චන්ද්‍ර , සිකුරු චන්ද්‍ර , රවි චන්ද්‍ර, යුරේනස් චන්ද්‍ර සප්ත කෝණ දෘෂ්ටිය ද යෙදීමෙන් ඉදිරි කාලය පුරා විදෙස් උපකාර ලැබෙනු ඇත. අවිහිංසාව, අවංකබව, පිරිසුදු චරිතය, සත්‍ය වචනය, යහපත් සංකල්පනා සහිත ගුණාත්මක පසුබිමක් සීමිත පිරිසක් වෙතින් හෝ දක්නට ලැබෙනු ඇත.

මේ අතර අද (19) පස්වරු 2.31 සිදු වන බුධ සිකුරු යුද්ධයෙන් බුධ ග්‍රහයා ජයග්‍රහණය කිරීමෙන් පසුව සහ අප්‍රේල් 21 වැනිදා පෙරවරු 7.55ට බ්‍රහස්පති සහ යුරේනස් අතර යුද්ධයෙන් යුරේනස්ගේ ජය තහවුරුවීමත් නිසා ළමා පරපුර හා කාන්තාවන් වඩාත් පරෙස්සම් කර ගැනීමට සිදුවන කරුණු යෙදෙනු ඇත. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල ආදියෙහි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කෙරේ. ජලය, ඉන්ධන ආශ්‍රිත ගැටලු ඇති වීමට හේතු සැපයෙනු ඇත. එහෙත් උගතුන්, බුද්ධිමතුන් ඉදිරියට ඒමත්, කම්කරු පිරිස් දෙස් විදෙස් වශයෙන් සංවිධානය වීමත් දැකිය හැකිය. අධ්‍යාපනික ක්ෂේත්‍රයෙහි සුබවාදී සංශෝධන මෙන්ම පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලි ඇතිවීමට හේතුයි.

 

 

මේෂ ලග්නය

අභිමානනීය ලෙස ජීවත්වීමට මේෂ ලග්න හිමියන්ට හැකියාව ලැබෙයි. දාර්ශනික විමර්ශනශීලී අදහස් ඇතිවෙයි. සුවිශේෂී දැක්මක් සමඟ සමාජ සුබසාධන ක්ෂේත්‍රය කෙරෙහි කටයුතු කිරීමට අවස්ථාව උදාවෙයි. හදිසි තීරණ තීන්දුවලත් දුරස්ව සිතට එන සිතුවිලිවලට යටත් නොවී කටයුතු කිරීම සුබවාදී වෙයි. ඔබ අදහන දහමේ ආශිර්වාදය ඔබට ලැබෙනු ඇත.

වෘෂභ ලග්නය

කර්මානුකූලව සංසාර ගමනෙහි දී කරන ලද පුණ්‍යකර්මවල බලය මේ වසර පුරා විඳගත හැකිවනු ඇත. අයස්ථානය ආශ්‍රිත ලැබීම්වල විධිමත් බවක් ඇති වනු ඇත. වෘෂභ රාශි හිමියන්ට උසස් යහපතක් ඇතිවෙයි. එහෙත් ඥාති හිතෛෂීන් අතර ගැටුම්කාරී බවක් නිර්මාණය විය හැකිය. උදරය, කොන්ද, තුනටිය, පාද ආශ්‍රිත රෝගාබාධ මතුවිය හැකිය.

මිථුන ලග්නය

කර්මස්ථානය ද 09 වැන්න වූ භාග්‍යස්ථානය ද ආශ්‍රිතව ඔබට සුබපල දීම ප්‍රබලව සිදුවෙන කාල පරාසයකි. නව වසර පුරා නවතාවයෙන් යුතුව ඔබගේ ජීවන දර්ශනය ගොඩනැඟෙනු ඇත. බුද්ධිමත්ව දූරදර්ශීව විචාරශීලීව කටයුතු කිරීමට මිථුන ලග්න හිමියා කටයුතු කළ යුතු කාල පරාසයකි.

කටක ලග්නය

ගජකේෂරී යෝග බලය ඔබට බලාපානු ඇත. පදිංචි ස්ථානය ආශි‍‍්‍රතව දියුණුව ක්‍රමවත් මෙන්ම හරවත් වනු ඇත. සෙනසුරු 08 වැන්නට යෙදී තිබීම බොහෝ දුරට ආගම දහමට තුඩුදෙන ජීවන ගමනකට පාර කපනු ඇත. එසේම රැකියා ආදායම් මාර්ග ශුභවාදී වෙයි. ඥාති හිතෛෂීන් අතර ප්‍රකට වෙයි. උරහිස්, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිසි ආශි‍‍්‍රතව වේදනා මතු කෙරෙනු ඇත.

සිංහ ලග්නය

සස යෝග බලය 07 වැන්නෙන් දෘශ්‍යමාන වෙයි. උදාරතර ජීවන ගමන් මඟකට තිබූ බාධක අවහිර දුෂ්කරතා දුරු වී විජයග්‍රහණය මතු වෙයි. දැඩි ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කිරීමෙන් අපේක්ෂාවන් බොහෝ දුරට සාර්ථක කරගත හැකි වනු ඇත. එහෙත් තැන්පත් ධනය, දේපළ වස්තුවල අයිතිවාසිකම් සම්බන්ධ අර්බුද ගැටලු මතු කෙරෙයි.

කන්‍යා ලග්නය

ජනී ජනයා අතර උසස් ගරු සැළකිලි අප්‍රමාදව ලැබෙනු ඇත. පවුලෙහි දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කෙරෙනු ඇත. තැන්පත් ධනය දේපළ වස්තු කෙරෙහි නිතර සෝදිසියෙන් සිටිය යුතුය. හිස, උදරය, යටිබඩ, වකුගඩු ආශි‍‍්‍රතව රෝගාබාධක ඇවිස්සෙයි. ඖෂධ භාවිතයෙන් ඔබට නිරෝගීව සිටීමට හැකි බවක් පෙන්නුම් කෙරෙනු ඇත.

තුලා ලග්නය

තුලා ලග්න හිමයන් කෙරෙහි සුවිශේෂී වූ ගජකේෂරී නම් වූ යෝග බලය නව වසරෙහි උදාවීම පෙර භවයේ පුණ්‍ය කර්මයක් උදාවීමකි. ගුරු ශුක්‍ර යෝග බලය 07 වැන්නට යෙදීම රසකාමී ගමන් මඟට ආශිර්වාදයකි. දෙස් විදෙස් ගමනාගමනයෙන් උසස් ආදායම් මාර්ගයන්ට හිමිකම් අත්වෙයි. දූ දරුවන් ඇතුළුව සැමගේ ආශිර්වාදය නො අඩුව නොමදව ලැබෙයි.

වෘශ්චික ලග්නය

සිවුවැන්නෙහි සස යෝග බලය වසර පුරා ඔබ කෙරෙහි බලපවත්වන ආශිර්වාදයෙකි. එහෙත් නිරන්තරව ලෞකික දිවි මඟෙහි හැල හැප්පිලි සහගතවීම සැප සම්පත් සහ සැනසුම සතුට අහිමි වීමට හේතු වනු ඇත. අපේක්ෂාවන් ඉටුු නොවීමෙන් අලාභ අවාසි උදාවෙන අවස්ථාද නැත්තේ නොවෙයි. අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබට උත්සාහයෙන්, උනන්දුවෙන් ධනය, බලය උදාකරගනු ලබයි.

ධනු ලග්නය

උත්සාහය, උනන්දුව ඇතොත් උසස් දියුණුවකට ද පාත්‍රවිය හැකිය. රැකියා ආදායම් මාර්ග, පදිංචිය ආශ්‍රිතව කල්පනාකාරීවිය යුතුය. තැන්පත් දේපළ වස්තු කෙරෙහි බාධක අවහිරතා උදාකෙරෙයි. බාධක අවහිර නිතර මතු කෙරුණ ද සබඳතා විවාහ කටයුතු සාර්ථක වෙයි.

මකර ලග්නය

ගජකේෂරී යෝග බලය ද උදාවීමෙන් උසස් දියුණුව, මානසික නිදහස ඇතිවෙයි. සිතැඟියාවන් ගණනාවක්ම ඉෂ්ට කර ගැනීමෙහි සවිබල උදාවෙන්නේ ය. ගොඩමඩ ගොවිතැන් කටයුතු ද සාර්ථක කෙරෙනු ඇත. එහෙත් සෙනසුරු 02 වැන්නෙහි යෙදීම ඒරාෂ්ටක උදා වීමකි. වික්‍රමස්ථානගත බුධ රාහු සංයෝගය නිසා දෛනික ආදායම් මාර්ග කඩාවැටීමට හේතු විය හැකිය.

කුම්භ ලග්නය

වික්‍රමස්ථානය, මෙන්ම ධනස්ථානයද සිකුරු ග්‍රහමාරුවෙන් ප්‍රබලව සවිබල ගැන්වීම ශුභවාදී වෙයි. ස්ථාවර විජයග්‍රාහී, ජයමාවතක් ද උදාවෙන්නේ ය. එහෙත් කුම්භ රාශියේ ශනිගේ ගමන යෙදී ඇති බැවින් ඒ දියුණුව අඩාල වීමට මෙන්ම සමාජගත පිළිගැනීම් කාරණා දුර්වලව වීමට ද කරුණු යෙදෙනු ඇත.

 

මීන ලග්නය

01, 02, 03 ස්ථාන බල ප්‍රබලව යෙදී ඇත. 02 වැන්නෙහි රවි ගුරු සංයෝගය ඉතාම උසස් ජීවන ගමනකට තුඩුදෙයි. සෙනසුරුගෙන් 12 වැන්න පීඩාවී ඇති බැවින් වැය පස වැඩි වනු ඇත. එහෙත් සාමකාමී පසුබිමකට ජීවන ගමන්මග යොමු කෙරෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.