වළක්වාගත යුතු මුත්‍රා ආසාදන

සැප්තැම්බර් 15, 2023

මුත්‍රා ජනන පද්ධතියට යම්කිසි විෂ බීජයක්‌ ඇතුළු වීම නිසා මුත්‍රා ආසාදනයන් ඇතිවේ. එනම් මුත්‍රා පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රියයන් වන වකුගඩු, මුත්‍රා නාළය සහ මුත්‍රාශය යන ඉන්ද්‍රියන් වෙතට විෂබීජයක්‌ ඇතුළු වුවහොත් ඉන් ඇතිවන බලපෑම නිසා මුත්‍රා ආසාදනයක්‌ හටගත හැකිය.

පිරිමින්ට වඩා කෙටි මුත්‍රා මාර්ගයක් කාන්තාවන්ට පිහිටීම නිසා පිරිමින්ට වඩා කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ අවදානම වැඩිය.

මුත්‍රා ආසාදන මුත්‍රාශය, මුත්‍රා මාර්ගය, හෝ වකුගඩු ඇතුළු මුත්‍රා ගමන් කරන මාර්ගයේ විවිධ ප්‍රදේශවලට බලපෑ හැකිය. බොහෝමයක් මුත්‍රා ආසාදන, ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා පහසුවෙන් සුව කළ හැකි අතර වැලඳීමට පෙර වළක්වා ගැනීම වඩා වැදගත් වේ.

මුත්‍රා ආසාදනවලට හේතු මොනවාද?

මළ වල තිබෙන බැක්ටීරියා මුත්‍රා මාර්ගය හරහා ශරීරයට ඇතුළු වීමෙන් මුත්‍රා ආසාදන ඇතිවේ. ඊට අමතරව මුත්‍රා මාර්ගය අවහිර කරන මුත්‍රා ගල් වැනි තත්වයන්, පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම නිසා සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් කිරීමට අපහසු වන තත්ත්ව, මුත්‍රා කැතීටර යෙදීම, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත වීම, ගර්භණී වීම සහ කුඩා දරුවන්ගේ මළබද්ධය සහ මුත්‍රා බැහැර කරන ප්‍රදේශය අවට අපිරිසිදුකම ද මුත්‍රා ආසාදනවලට හේතු වේ.

මුත්‍රා ආසාදනයකදී පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?

වැඩි වාර ගණනක්‌ මුත්‍රා කිරීම, හදිසියේ මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම, මුත්‍රා කරන විට වේදනාවක් හෝ දැවිල්ලක් ඇති වීම, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, දුගඳ හෝ අපැහැදිලි මුත්‍රා පිටවීම, කොන්දේ, ඇලපතේ හෝ යටි බඩේ වේදනාව, ඇඟ සීතල කිරීම, අධික උණ සහ නොසන්සුන් ගතිය ඇතිවිය හැකිය.

රෝග නිර්ණය පරීක්ෂණ ගැන පැහැදිලි කළොත් Urine Full Report මුත්‍රා සාම්පලයක් ගෙන රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන අතර මෙහිදී භෞතික, රසායනික හා අන්වීක්ෂීය පරීක්ෂාවක් සිදු කරයි.

Urine Full Report මුත්‍රා සාම්පලයක ආසාදන ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමට සලස්වා පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාරය තීරණය කරයි.

FBC ආසාදනවලට එරෙහිව ක්‍රියා කරන සුදු සෛල ප්‍රමාණය මත ඖෂධ තීරණය කරයි.

මුත්‍රා ආසාදන වළක්‌වා ගැනීම සඳහා කුමක් කළ යුතුද?

සාමාන්‍ය පුද්ගලයෙකු දිනපතා ජලය ලීටර් හතරක්‌වත් පානය කිරීම පුරුද්දක් ලෙස කළ යුතුය. නිසි ලෙස ජලය පානය කිරීම මඟින් ශරීරය තුළ ඇති විෂ බීජ පෙරා පිට කිරීමට හැකිවන අතරම ශරීරය තුළ ජලයේ සමතුලනයක්‌ ඇතිවේ.

මුත්‍රා පෙරීමට හිතකර ආහාර පාන වර්ග නිරන්තරයෙන් ආහාරයට එක්‌කර ගැනීම යෝග්‍ය වේ. ඒ සඳහා බාර්ලි, රණවරා මල්, ඉරමුසු, නීරමුල්ලිය, පොල්පලා, සාරණ මුල් තැම්බූ වතුර පානය සුදුසු වන අතර එමඟින් මුත්‍රා පෙරීම , මුත්‍රාවල ඇති විෂ බීජ විනාශ කිරීමේ හැකියාව පමණක් නොව වකුගඩුවල නිරෝගීතාවයටද හේතු වේ. මුත්‍රා පිරිසිදු වීම සඳහා රාබු, කටු අනෝදා මෙන්ම අක්කපාන කොළත් ගුණදායකයි.

මුත්‍රා ආසාදන ඇතිවීමට බලපාන උෂ්ණ ආහාර පාන වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. එනම් ඉසසෝ, දැල්ලෝ, තක්කාලි, අන්නාසි, රඹුටන්, විනාකිරි වැනි ලවණ සහිත අම්ල අධික ආහාර නිතර නොගත යුතුය. ඒ වගේම සැර බීම වර්ග, කෘතිම රසකාරක සහිත පාන වර්ග නිතර පානයත් සුදුසු නැත.

වැසිකිළියට ගිය විට ඉදිරියේ සිට පිටුපසට සෝදා පිස දමන්න.

මුත්‍රා කරන විට සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් කිරීමත් කළ යුතුයි.

ලිහිල් කපු යට ඇඳුම් ඇඳීම,

ලිංගිකව එකතු වූ වහාම මුත්‍රා පිට කිරීම,

දරුවාගේ නැපි ක්‍රමානුකූලව මාරු කිරීම ගැනත් සැලකිලිමත් වීම වැදගත්ය.

මුත්‍රා ආසාදනවලට නිසි ප්‍රතිකාර සිදු නොකලොත් ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

මුත්‍රාශ බිත්තියේ ආසාදන ඇති වී මුත්‍රාශ බිත්තිය ඝනවීම හා මුත්‍රාශ බිත්තියේ ව්‍යුහාත්මක වෙනස්වීම් ඇතිවීමට ඉඩ ඇත. එම නිසා මුත්‍රාශයේ පිරෙන මුත්‍රා ප්‍රමාණය අඩුවීම හා මුත්‍රා පිරෙන විට උදර වේදනාවක් හටගැනීම සිදුවිය හැකිය.

එමෙන්ම මුත්‍රා ආසාදනය වකුගඩු ආසාදන තත්වයක් දක්වා වර්ධනය විය හැකිය. වකුගඩු අක්‍රීයවීම, ක්‍රමයෙන් වකුගඩු ක්‍රියාත්මක නොවීම සහ ශරීරය පුරාම මේ විසබීජ පැතිරීම යනාදිය නිසා ඇතැම්විට මරණය පවා සිදුවිය හැකිය.

නිතර නිතර මුත්‍රා ආසාදන මතුවේ නම් එය වඩාත් අවධානයට යොමු කිරීමත් නොපමාව නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ යුතුය.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.