අත ඔසවද්දී උරහිස රිදෙනවාද?

සැප්තැම්බර් 15, 2023

අත් දෙකම හෝ එක අතක් හෝ උස්සන විට ඇතිවන වේදනාව සමහර අවස්ථාවලදී ඉවසන්න බැරි තරමේ වේදනාවක් ගෙන දෙනවා. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මේ රෝගී තත්ත්වය නිසා කොණ්ඩය පීරීමට, බැඳීමට පවා නොහැකිව මානසික වශයෙන්ද ඇතිවන අසහනකාරී බව බොහොමයි. රෝගී තත්ත්වය පවතින විට උරහිස් සන්ධියේ කැක්කුම සහ වේදනාව, අධික වේ.

අත් එසවීම, පැත්තකට නැමීම, අතකරකැවීම, කමිසයක් බැනියමක් ඇඳ ගැනීම, නැමී යමක් ගැනීම ආදී කිසිවක් කර ගැනීමට නොහැකි වේ. මේ රෝගී තත්ත්වය මෙතරම් බරපතළ වන්නේ ටික ටික වේදනාවක් ඇතිවන විට අත් එසවීමේ වෙනසක් දැනුණු විට ප්‍රතිකාරයක් ගැනීමට නොගිය නිසායයි වෙද මහතා සඳහන් කළේය.

වෙද මහතා එසේ සඳහන් කළේ අත්දෙකම උස්සන්න බැරිව දින දෙක තුනක්ම මහත් වේදනාවෙන් පීඩාවිඳිමින් සිටි රමණී ප්‍රතිකාරයක් ගැනීම සඳහා වෙදමහතා ළඟට ගිය අවස්ථාවේදී ය.

රමණිගේ අම්මා,අසුවේ වෙදමහත්තයෝ දැනට දින දෙකතුනකම ඉඳල උරහිස කියනවා. අත් උස්සන්නත් බැහැයි කියමින් මේ දරුව අඬමින් සිටියා. බෙහෙත් ගන්න යමු කිවුවට ආවේ නැහැ. එයාටම ඉවසන්න බැරි වුණාම යමු කියල ආවා.

වෙද මහතා උපදෙස් දෙමින් පැවසුවේ උරහිස් සන්ධිය හා බෙල්ල ආශි‍්‍රතව හැදෙන වේදනාවද අධික වේ. මූලික වශයෙන් මෙම රෝගය ඇතිවීමේ දී උරහිසේ වේදනාව, උණ ගතිය ඇතිවීම, උරහිස අල්ලනවිට වේදනාව පැවතීම, ඇඟට අමුතු ගතියක් දැනීමද වෙයි. උරහිස් සන්ධි අස්ථි තුනකින් සංයුක්තවේ. එය උඩබාහුවේ සිට ඇති දිගම අස්ථියයි. මුළු උරහිස් සන්ධියේ වේදනාව වගේම තුනටියේ වේදනාවද එම තත්ත්වයට පත්ව පීඩාවිඳීමට සිදුවේ. තුනටියේ වේදනාවට මුල්වන ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ කොඳු ඇට පෙළ පහළ ප්‍රදේශයේ ඇතිවන වේදනාවයි.

උරහිස් වේදනාව ඇතිවීමට හේතු කීපයක්ම බලපායි. උරහිස් සන්ධියට වැඩියෙන් වැඩ කිරීමට සිදුවීම, තල්ලු කරන දේවල් අතකින් ඔසවාගෙන යාම, බරඉස්සීම, අතකින් නිතර නිතර කැපීම්වල යෙදීම, අත් උස්සන වැඩෙහි නිරත වීම ආදී නිසාම උරහිස්වල ක්‍රියාකාරීත්වය වැඩි වීමෙන් උරහිස් වේදනාව ඇතිවේ. මේ සෑම කරුණකටම මුල්වන්නේ ශරීර ශක්තියේ දුර්වලතාවයන්ය.

එවිට රමණී විමසුවේ වෙද මහත්තයො උරහිස් වේදනාවට හා අත් එසවීමේදී ඇතිවන වේදනාවට මහන එකත් හේතුවක් වෙනවද හැමදාකම. පැය පහක් හයක් මැෂිමෙම තමයි වැඩ. අත් දෙකම ක්‍රියාත්මක වෙනව. සමහරදාට ගෙදර ආවට පස්සෙයි අත්දෙක රිදෙන්නෙ. ඒත් ටික වේලාවකින් ඇරිල යනවා ප්‍රශ්නයක් නැහැ.

වෙදමහතා - අත්දෙක එහෙම ක්‍රියාත්මක වෙනකොට ඒක උරහිසට තදින්ම බලපානවා පහු වෙනකොට තමයි රෝගී තත්ත්වය ඇතිවෙන්නේ. ගෙල ප්‍රදේශයේ කශේරුකා පීඩාව නිසාත් උරහිස් උඩබාහුව උරහිස් යටිබාහුව පැකිළී ක්‍රම ක්‍රමයෙන් ඇතිවන වේදනාව ඇඟිලි හිරිය හෝ ඇඟිලි පුපුරුගසන්නාක් ලෙස ඇතිවිය හැකිය. අත්වල පේශී වැහිරීම පවා ඇතිවේ. උරහිස්වල වේදනාව වගේම බොහෝ දෙනෙකුට අතපයවල ගෑවෙන දිග හැරෙන තැන්වලත් වේදනාව ඇතිවේ. අධික ලෙස මහන්සියට පත් කෙරෙන වෙහෙසෙන රැකියාවල යෙදෙන හා ගෙදර දොර කටයුතු යෙදෙමින් අධික ලෙස තෙහෙට්ටු වීම ද මෙසේ හන්දිපත් වේදනාවට පත්විය හැකිය.

වඩාත්ම රෝගී අවස්ථාවට පත්වන්නේ වැඩි වශයෙන්ම වයස්ගතවීමත් සමඟය. ඒ වයස හතළිහ පසුවීමෙනි. එහෙත් මේ වන විට වයස් භේදයකින් තොරව බොහෝ රෝගී තත්ත්වයන්ට බාල මහලු, තරුණ සැම එකසේ ලක්වේ. ඒ පවතින ආහාර රටාවේ ක්‍රමවේදයන් අනුවය. වඩාත්ම උරහිස් වේදනාවට පත්වන්නේ වයස්ගතවීමත් සමඟ බැවින් කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලාගත යුතුය. වයස්ගත වනවිට විශේෂයෙන් උරහිස් සන්දිය තුළ හා ඒ අවට පවතින පටකවල ඇතිවන වෙනස්වීම් නිසා උරහිස තුළින් වේදනාවක් ඇතිවේ. උරහිස් සන්ධිය සෑදීමට සන්ධි තුනක් සම්බන්ධ වේ. අපර බාහුවේ උරපත්ත හා කොලර් අස්ථියයි. උරහිසේ ඇතිවන වේදනාවට තවත් හේතුවක් වන්නේ උරහිසවට ඇති කුඩා හා විශාල පේශීන් උරහිසේ චලනය සිදුවන විට විවිධ අයුරින් ක්‍රියාත්මකවීමයි. උරහිස් සන්ධිය යම් යම් ක්‍රියාවල නිරතවීමේ දී යම් වෙනසකට ලක්විය හැකිය.

එහිදී පේශී කාණ්ඩරාවල තත්ත්වය පළුදු වී ඒවායෙහි පැළීම් හා ගැටිති ඇතිවිය හැකිය. උරහිස් සන්ධියට තුවාල සිදුවූ විට සන්ධිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පිට පැනීමකට ලක්වේ. බොහෝ රෝගීන්ට නින්දේදී පවා පිට පැනීමකට ලක්වේ. අර්ධව පිටුපසට හැරී අත දිගු කොට යමක් ගැනීමට උත්සාහ කිරීමේ දී ද සන්ධිය පැනීමකට ලක්වේ. වරක් දෙවරක් නොව තුන් හතර වතාවක් වුවද සන්ධිය පනින්නේ නම් ඒ ඒ සෑම අවස්ථාවක දීම සන්ධිය වේදනාවට පත්වේ. උරහිසේ වේදනාව හටගත් අවස්ථාවලදී ඉතා උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. නිදා ගන්නා විට උරහිසට බරක් වේදනාවක් ඇති නොවන අයුරින් නිදාගත යුතුය.

යමක් බිම වැටුණු විට හෝ නැතහොත් පිටුපසක තිබෙන දෙයක් ගැනීමට ඉදිරියේ සිට පසුපසට හැරී එය ගැනීමට අතදිගුකිරීමේ දී සන්ධිය පැනීමට පුළුවන. අවබාහුක සන්ධි ප්‍රදාහය ඇතිවන්නේ උරහිස් සන්ධිය ආශි‍්‍රතවය. වැටීම්, තැලීම්, කැඩීම්, ඇදීම් වගේම කාර්යාල සේවයේදී ඉරියව් වෙනස්කරමින් වැඩ කිරීම හේතුවේ. සන්ධි ආශි‍්‍රතව වැලඳෙන රෝගී තත්ත්වයන් බොහොමයකට හේතුවී ඇත්තේ වැරදි ඇවතුම් පැවතුම් හා ආහාර විහරණයන් වන අතර නිවැරැදි ඉරියව් භාවිතය හා නිවැරැදි ආහාර පුරුදු රෝගී තත්ත්වයෙන් වැළකී නිරෝගීව සිටීමට හේතුවක් වේ. කැක්කුම් ගතියක් උරහිසෙහි ඇතිවුවහොත් මූලිකව කළයුත්තේ උරහිස සාමාන්‍ය ලෙස තබාගනිමින් විවේකයක් ලබාදීමයි. අනතුරුව එනම් ටික වේලාවකට පසුව උරහිස දෙසින් ආ වේදනාව අඩුනොවන්නේ නම් නාරායන තෛලය, අශ්වගන්ධ තෛලය, ශුරහර තෛලය වැනි බෙහෙත් තෙල් ටිකක් අතට ගෙන උරහිසේ පහළ සිට ඉහළට ගෑ යුතුය. ආලේප කළ යුතුය.

 

පත්‍ය අපත්‍ය ආහාර

සන්ධිගත රෝගයකින් පෙළෙනවිට තත්කාලි, සැමන්, ලුණුමාළු, මස් වර්ග ආහාරයට ගැනීම සුදුසු නොවේ. ඇඹුල් මිශ්‍ර හා විනාකිරි යෙදූ ආහාර ද සුදුසු නැත. උණුසුම් ආහාර ගැනීමට හැකිනම් එය වඩාත්ම සුදුසු ය. තෙල් බැදුම් හා කැවිලිවර්ග ද නුසුදුසු ය. උඳු සුදුලූනු සමඟින් එළඟිතෙල් මිශ්‍ර ආහාර වඩාත්ම ගුණදායකය. කොල්ලු, සුදුලූනු, බැවිල, අරත්ත, තම්බා බීමද ගුණදායකය. පෙනෙලකොළ කැඳ, හාතාවාරිය කැඳ බීමෙන් වේදනාව සමනය කර ගත හැකි අතර ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීමෙන් සියලු අපහසුතා සුව කරගත හැකිය.

 

 

රාජපුර වෙද මැඳුරේ ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.