ස්ථානෝචිත ප්‍රඥාා රේඛාවෙන් හෙළිවන ජීවන රහස්

සැප්තැම්බර් 29, 2023

ඔබට බොහෝ විට අත්දැකිමක් වශයෙන් හෝ එසේත් නැතිනම් සවන් දීමට හැකිවු කාරණයක් ලෙස හො යම්කිසි පුද්ගලයකු කුමන හෝ සිදුවීමක් සිදුවීමට පෙර කිසිම පරික්ෂාවකින් තොරව අනාවැකියක් නොවුණත් ප්‍රකාශ කර එය ඒ ආකාරයෙන්ම සිදුවු අවස්ථා පිළිබඳව අවබෝධයක් ඇති. එසේත් නැතිනම් ඔබ යමක් කිරීමට පෙර එය මෙසේ වෙයි යැයි නිගමනය කිරීමට පෙර එය එසේම ක්ෂණිකව සිතට දැනුණු අවස්ථා පිළිබඳ අත්දැකිමක් හෝ ඔබට ඇති. එය එසේ සිදුවන්නේ කෙසේද?. අප බොහෝ විට මෙවැනි පුද්ගලයන්ට ඉව තියෙනවා යැයි කියන අවස්ථාද නැතිවාම නොවේ.

මෙවැනි අනාගත සිදුවීමක් කලින් දැනීම අප සියලු දෙනාටම පොදු වූ කාරණයක් නොවේ. එය ඉතාම විශේෂ වූ පුද්ගලයන්ට උරුම වූ කාරණයක් වන අතර එවැනි පුද්ගලයින් හස්ත රේඛා පරීක්ෂාවේදි ස්ථානෝචිත ප්‍රඥාා රේඛාව මඟින් හඳුනාගත හැකිය. මේ රේඛාව පරහිත් දර්ශන රේඛාව ඉව රේඛාව ආදි නම්වලින්ද හඳුන්වන අතර චන්ද්‍ර මණ්ඩලයේ පහළ කොටසින් ආරම්භ වී බුධ මණ්ඩලයට වක්‍රාකාරව ගමන් කරයි. මෙය අර්ධ කවයක් හෝ දුන්නක් බඳු හැඩයක් ගන්නා රේඛාවකි. මේ රේඛාවේ සාමාන්‍ය පිහිටීම මෙය වේ.

මේ රේඛාව පිහිටි පුද්ගලයා යම් යම් දේ පිළිබඳව පෘථුල අවබෝධයක් ඇති අයෙකි. දියුණු කරගත් චිත්ත සන්තානයන් ඇති අයට මෙන්ම කලාන්තරයක් තිස්සේ අඛණ්ඩව දියුණු කරගෙන එන සිත් ඇති අයගේ අත්ලෙහි මෙම රේඛාව මනාව ප්‍රදර්ශනය වේ. එසේම එම පුද්ගලයින්ට අන්‍යයන් පිළිබඳව පුදුමාකාර ඉවක් ඇත. තමා ඇසුරු කරන අයගේ චරිත ලක්ෂණ ගතිගුණ හා සිතුම් පැතුම් ආදිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔහුට තිබේ. බුද්ධි හීන අය මේ අය කෙරෙහි කිසිම ආයාසයක් නොමැතිව වශීවන ගතියක් තිබේ. අධිමානසික ශක්තිය මෙහෙයවා කටයුතු කළ හැකි අයගේ මේ රේඛාව ඉතා ප්‍රබලය. අත් දෙකෙහිම මේ රේඛාව ඇත්නම් ඔහු තුළ සහජ දක්ෂතා ඇති බවත් ඒවා ප්‍රයෝජනයට ගෙන දිවිමඟ සරුකර ගන්නා බවත් කිව යුතුය. නුහුරු අත්ලේ පමණක් සහජ ඥාාණ රේඛාව ඇත්නම් ඔවුන්ට සහජ දක්ෂතා ඇතැත් ඒවා වැඩි දියුණු කරගෙන දියුණු වීමට උනන්දු වන්නේ නැත.

සහජ ඥාන රේඛාව ඉතා ගැඹුරු ස්වභාවයෙන් පවතිනම් ඔවුන් සහජ දක්ෂතාවලින් උපරිම පුද්ගලයන් වේ. නමුත් වක ගැසුණු ස්වභාවයේ රේඛවක් පෙන්නුම් කරන්නේ නම් ඔහුට අවිවේකි, සිතේ චංචල සහ කනස්සලු ස්වභාවය උරුමය. මෙම රේඛාව පැහැදිලිව දෘශ්‍යමාන වන්නේ නම් දියුණු වැදගත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බිහිවේ. අනුන්ගේ සිතිවිලි සහ සන්නිවේදන හොඳින් තේරුම්ගත හැකි නිසා අන්‍යයන් වශීකර ගැනීමේ හැකියාව ලැබේ. මෙවැනි පුද්ගලයන්ට ඉතා නිවැරැදිව අනාවැකි ප්‍රකාශ කිරිමේ හැකියාවද ඇත.

පුද්ගලයකුගේ මනසේ දිශානතිය ප්‍රකාශ කරන ශීර්ෂ රේඛාව වක්‍රාකාරව චන්ද්‍ර මණ්ඩලයේ පහළම කොටසට ගමන් කර ඇති අවස්ථාවක මෙම රේඛාව මඟින් කැපි යන්නේ නම් මනංකල්පිත සිතිවිලි ඇතිවීමේ ස්වභාවය වැඩි නිසා මානසික ශක්තිය හීනවීමට පුළුවන. එමෙන්ම ශීර්ෂ රේඛාව සහ දෛව්‍ය රේඛා සමඟ එකතු වී ත්‍රිකෝණයක් සාදයි නම් ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ හැකියාව උපරිමයෙන් පිහිටනු ඇත. නමුත් ජීවන රේඛාවෙන් පැමිණෙන බලපෑම් රේඛාවකින් රේඛාවකින් කැපේ නම් එම අත්ල හිමියා ගුප්ත ශාස්ත්‍ර ඉගෙන ගැනිම හෝ ඒ කටයුතුවල යෙදීම පිළිබඳව ප්‍රබල විරෝධතාවයක් තම ඥාතින්ගෙන් හෝ මිතුරන්ගේන් එල්ල වේ. එසේම ගුප්ත ශාස්ත්‍ර කටයුතුවල යෙදීම තම වෘත්තියට බෙහෙවින් අහිත කර ලෙස බලපායි.

ඉව රේඛාව හෙවත් සහජ ඥාන රේඛාවෙන් ගුරු මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කර ඇත්නම් සහජ ඥාණය මගින් ඔවුන් ඉහළ තත්ත්වයකට පත්වේ. එසේම රවි මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කර ඇත්නම් පුද්ගලයා තමා තුළ ඇති අති මහත් සහජ දක්ෂතාවලින් ප්‍රසිද්ධියට පත්වේ. තමා සතු සහජ දක්ෂතාවලින් වෘත්තියෙන් ඉහළ තලයකට පත්වන අයගේ ඉව රේඛාවෙන් අතු ශාඛාවක් දෛව්‍ය රේඛාව දෙසට ගමන් කර තිබේ. නමුත් එම අතු ශාඛාව මඟින් දෛව්‍ය රේඛාව කැපී ගියහොත් දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා හඳුනා නොගැනීම නිසා කටයුතු නිශ්ඵල වේ. එමෙන්ම ඉව රේඛාව අතර මඟදි කැඩි ඇත්නම් එම කාලය තුළ ඔහුගේ සහජ දක්ෂතා හීන වේ. නමුත් රේඛාව යථා තත්වයට පත්වන්නේ නම් දක්ෂතා නැවත මතු වේ. රේඛාව කැඩි ඇත්තේ කේතු ආකාරයටනම් පුද්ගලයා මානසික රෝගියෙකු තත්ත්වයට පත්විය හැකිය.

තරු සලකුණකින් මෙම රේඛාව අවසන් වන්නේ නම් ඔහු සතු සහජ දක්ෂතා මඟින් අති විශාල සාර්ථක භාවයක් ලබා ගත හැකි අතර බුධ රේඛාවද ප්‍රබලව පිහිටා ඇත්නම් එම දක්ෂතාවයන් උපයෝගි කරගෙන විශාල වශයෙන් මුදල් ඉපයිමට හැකියාව ලැබේ. නමුත් මේ රේඛාව කතිර සලකුණකින් අවසන් වන්නේ නම් ඔහු සතු ගුප්ත බලය අනුන් රැවටීම සඳහා යොදා ගනිති. මෙවැනි පිහිටීමක් සහිත පුද්ගලයින් හූනියම් කිරීමට පෙලඹේ. දුපතකින් රේඛාව ආරම්භ වන්නේ නම් නින්දෙන් ඇවීදීමේ රෝගය ඇති වීමට පුළුවන. රේඛාව රැලි වැටුණ දම්වැල් ආකාරයේ ගමන් කර ඇත්නම් ඔවුන් නිතරම අවිවේකි ස්වභාවයෙන් මෙන්ම සිත කනස්සලු ගතිය සහිතව ජිවත් වෙන පුද්ගලයින් වේ. රේඛා එකකට වඩා පිහිටා ඇත්නම් තනිවම සත්‍ය සෙවීම සඳහා කටයුතු කරයි. කෙසේ නමුදු ස්ත්‍රි අත්වලට වඩා පිරිමි අත්වල ඉව රේඛාව හෙවත් ස්ථානෝචිත ප්‍රඥාා රේඛාව පිහිටීමේ සම්භාවිතාව වැඩිය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී.ඒ ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.