උඳුන් - පහන් - ශිතකරණ තැබිය යුතු නිවැරැදි ස්ථාන

සැප්තැම්බර් 29, 2023

වාස්තු ශාස්ත්‍රයේදී නිරන්තරයෙන් ගෘහ අංග දිශානත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් ශිල්පීන් සතුව පවතී. එසේ වුවත් ගෘහ අංගයන්හි පවත්නා අභ්‍යන්තර මෙවලම් විසින් සැබෑ වාස්තු තත්ත්ව උපදනා බව බොහෝ විට අපට මඟ හැරේ. මේ පිළිබදව පැහැදිලි කර ගැනීමේදී වැදගත්ම ගෘහ අංගය වන්නේ මුළුතැන්ගෙයයි. මුළුතැන්ගෙය සතුව විවිධාකාර මෙවලම් ගණනාවක් පැවැතීම මෙයට හේතුවයි.

මුළුතැන්ගෙයි ප්‍රධාන මෙවලම වන්නේ ළිප හා රත්වන මෙවලම් බව පළමුව හඳුනාගත යුතුය. ඒ අනුව නිවෙසේ මධ්‍යයේ සිට ගිනිකොන කෝණයට අයත් විය යුත්තේ ළිප සහ රත්වන මෙවලම් බව පැහැදිලිය. සේදුම් බේසම හෝ කුළුබඩු ආදී ද්‍රව්‍ය බහා ඇති කබඩ් ආදිය මෙකී දිශාගත කිරීමට අදාළ නොවේ. ඒවා නැ‍ගෙනහිර කෝණයට අයත් වුව ද දිශාගත වාස්තු දෝෂයක් හට නොගනී. ශීතකරණයක් මුළුතැන්ගේ යොදා ඇත්නම් එය පිටත පරිසරයට රත්වෙමින් තාපය මුදා හරින්නේ නම්, එය ද සිසිලස ඇතුළත පැවැතියත් රැඳවිය යුතු වන්නේ ගිනිකොන කෝණය ඇතුළතය. මේ අනුව ගිනිකොන දිශාවට මුළුතැන්ගේ තිබිය යුතුය යන්න අර්ධ සත්‍යයක් මිස පූර්ණ සත්‍යයක් නොවේ. මෙහිදී අප විසින් අදාළ ගෘහාංගයේ ප්‍රමුඛම මෙවලමේ ස්වභාවය ලෙස රත් වීම හා එයට අදාළ දිශාව ගිනිකොන බව නිශ්චිත කොට හඳුනාගැනීම නිවැරැදි ලෙස කළ යුතුව තිබේ.

එසේම නිදන කාමරය යනු නිදාගැනීම ප්‍රමුඛ වන බැවින් වැදගත් වන්නේ ඇඳ පිහිටුවන ස්ථානය මිස ඇදුම් අල්මාරිය පිහිටන ස්ථානය නොවේ. එහිදී ගෘහ මූලිකයාගේ නිදන කාමරය හෙවත් ප්‍රධාන නිදන කාමරයේ ගෘහ මූලිකයා නිදා ගන්නා ඇඳ පිහිටුවිය යුත්තේ, නිරිත කෝණයට අයත්වය. එසේම නිදාගනු ලබන ගෘහමූලිකයාගේ හිස දකුණු දිශාවට යොමු වී තිබීම ද වැදගත් වේ. කිසිසේත්ම නිරිත කෝණයට අයත් වූවත් උතුරු දිශාවට හිස දමා නිදා ගැනීමට කිසවකුට ඉඩ දිය යුතු නොවේ. මෙහිදී ද නිදන කාමරයේ ප්‍රමුඛ අංගය ලෙස නිදන ඇඳ සැලකීම සිදුවන බව සැලකිය යුතුය.

තවත් නිදසුනක් ලෙස වැසිකිළියක් සහිත නාන කාමරය සැලකීමේදී වැසිකිළි පෝච්චිය (කමෝඩය) වයඹ කෝණයට හෝ දකුණ බස්නාහිර කෝණවලට යෙදීම සුදුසු බව මේ අනුව නිර්දේශ කරගත යුතු වේ. එසේ නොමැතිව සේදුම් බේසමක් හෝ නාන වතුර මලක් හෝ ඉහත කී දිශාවලට යෙදීම අදාළ නොවේ. මේ පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නිරන්තරයෙන් සිදුවන වැඩි අවධානයකින් යුතුව සිදු කරන බලවත් වැරැදි නිසා වැඩි වැඩියෙන් කැඳවා ගන්නා වාස්තු දෝෂ පිළිබඳව අවධානයක් යොමු කරගැනීම පිණිසයි.

නිවෙසක මුළුතැන්ගේ පිහිටුවිය යුත්තේ ගිනිකොන දිශාවට බවත් එසේ නොමැති නම් එය පිහිටුවිය යුත්තේ වයඹ දිශාවේ බවත් වාස්තු ශාස්ත්‍රය පිළිබද යන්තමින් දන්නා අයකු හෝ මැනැවින් දැනුම්වත් බව ප්‍රකටය. එසේ වුවත් මුළුතැන්ගෙය ගිනිකොනට දැමීමට යෑමේදී මුළුතැන්ගෙයි අනෙක් මෙවලම් ගිනිකොනට පිහිටා ළිප නැගෙනහිරට වැටෙන අවස්ථා අපි බොහෝවිට දැක ඇත්තෙමු. එහිදී අන්තරීක්ෂ ශක්තියෙන් සියයට 76.6%ක්ම හානිවන තත්ත්වයක් උදාවන බව අප මෙහිදී වටහා ගත යුතුව තිබේ. එවැනි වරදක් නිසා වාස්තු දෝෂ ඇති වූ බවවත් නොදැන නිවාස සැලසුම් කර ගැනීම කනගාටුදායක තත්ත්වයකි. එබැවින් විවිධ මෙවලම් ඇතුළත් ගෘහ අංග කුටිය නොව එයට ඇතුළත් මෙවලම පිහිටන ස්ථානය නිශ්චිතව යොදා ගැනීම දෝෂවලින් තොරව වාස්තු පරීක්ෂාවෙහි ලා අතිශයින් වැදගත් වන බව අවධාරණය කළ යුතුව තිබේ.

ඉදි කළ නිවෙසක් පරීක්ෂා කිරීමේදී බැලූ බැල්මට මුළුතැන්ගෙයක් හෝ වැසිකිලියක් උතුරු දිශාවට යෙදී ඇතැයි දැක එය බරපතළ වාස්තු දෝෂයක් ලෙස යමකු සනිටුහන් කළ හැකිය. එහෙත් ඒවාට අන්තර්ගත ළිප හෝ වැසිකිලි පෝච්චිය වයඹට යෙදී ඇත්තේ නම් කිසිදු දෝෂයක් ඇතුළත් නොවන බව වටහා ගත යුතුය.

මේ තත්ත්වය සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයටත් වඩා නූතන වාස්තු විද්‍යාව ඔස්සේ මැනවින් පැහැදිලි කරගත හැකි වෙයි. මෙහිදී ඊසාන දිශාවෙන් සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තියට ජලය මත දී, තාපය ඇසුරේදී අසුබ ශක්තීන් මුසුවීමේදී සිදුවන්නේ කවරක්දැයි වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී වැඩි තාපයක් සහිත ස්ථානයක් හරහා අන්තරීක්ෂ ශක්තිය ගලා යෑමේදී එම ශක්තිය ඉහළට නගින බවත්, ජලය මතදී එම ශක්තිය පහළට නැමෙන බවත් අසුබ ශක්තීන් සමඟ මුසුවීමේදී අක්‍රමවත් කැලඹිලි හට ගන්නා බවත් මූලිකව වටහා ගත යුතුව තිබේ. මේ සංසිද්ධීන් ඒ ඒ සිදුවීම්වලට ප්‍රායෝගිකව ගැළපීමේදී තවදුරටත් සිදුවන්නේ කුමක්දැයි දැන් වටහා ගනිමු.

ඊසාන දිශාවට මුළුතැන්ගෙය එනම් ළිප පිහිටුවනු ලැබූ විට ළිප හරහා ගමන් ගන්නා අන්තරීක්ෂ ශක්ති ධාරාව, ඉහළට එසැවී නිවෙස අභ්‍යන්තරයෙන් ගලා නොයන පරිදි ඉවත් වන වටහා ගත යුතුය. නිරිත දිශාවට ළිප පිහිටුවා ඇති විට එක්රැස් වී ඇති ඉතා තීව්‍ර අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයක් රත් වී ඉහළ නැඟ විසිර යන බව වටහා ගත හැකි වෙයි. ළිප පිහිටි ස්ථානයේ එනම් ඊසානයේ හෝ නිරිතෙහි වැසිකිළි පෝච්චිය පිහිටා තිබේ නම් නිවෙසට ඇතුළුවන අන්තරීක්ෂ ශක්ති ධාරාවේ අපගමනයක් සිදු නොවූවද අක්‍රමවත් කැලඹීම් සහ වියවුල් ඇති වන බව වටහා ගත යුතු වෙයි. මේ අවස්ථා දෙකේදීම නිවැසියන්ගේ ශක්ති ශරීරවලට (ඕරාවට) අයහපත් ප්‍රතිවිපාක අත්වන බව කිව යුතුය. එනම්, ශක්තිය විසිර යෑම නිසා ඕරාව කුඩාවන බවත් (ප්‍රමාණාත්මකව දුර්වල වන බවත්) අසුබ ශක්තීන් මිශ්‍ර වීම හේතු කොට ගෙන ඕරාව ගුණාත්මකව දුර්වල වන බවත් මෙහිදී පැහැදිලි කරගත හැකි වේ. මේ හේතු කොට ගෙන අක්‍රීය නිවැසියන් හා රෝගාබාධ සහිත නිවැසියන් බිහි වීම පිළිවෙළින් සිදු වනු ඇත.

ආගමික අර්ථයෙන් වන්දනා කටයුතු සඳහා ඊසාන දිශාව නිර්දේශ කිරීමද බොහෝ විට සිදු වේ. මෙහිදී ඊසාන දිශාවේ පිහිටුවිය යුත්තේ පිළිමය නොව වන්දනාවේ යෙදී සිටින්නා බව ද කිව යුතුව තිබේ. එසේම වන්දනා කරන්නා ඊසාන දිශාවට සිය නෙත් යොමා සිටීම මෙහිදී අපේක්ෂා කෙරේ. එහිදී සිදු වන්නේ ඊසාන දිශාවෙන් ගලා එන ශක්තිය පුද්ගලයාගේ මුහුණතෙහි පිහිටා ඇති විශාල ශක්ති ද්වාරවලින් සිරුරට ඇතුළු කරගැනීමයි. අනෙක් පසට එනම් නිරිතට හැරී වන්දනා කරන්නේ නම් සිදු වන්නේ නිවැසියාගේ පසු පෙදෙසට වූ කුඩා ශක්ති ද්වාරවලින් අඩු ශක්ති ප්‍රමාණයක් සිරුරට උරා ගැනීමයි. මේ නිසා වන්දනා කිරීමේදී පුද්ගලයාගේ පිහිටීම හා දිශාව අතිශයින් වැදගත් බව අවධාරණය කර යුතුව තිබේ.

මෙහිදී පහන් තැබීමක් හෝ හඳුන් කූරු දැල්වීමක් හෝ කිරීම අවශ්‍ය නොවේ. වන්දනා කිරීම පමණක් සෑහේ. පහනක් දැල්වීම අත්‍යවශ්‍ය වන්නේ නම් පිළිමය සහිත කුඩා කුටියක් ඇතුළත පමණක් බාහිරට විවෘත නොවන පරිදි සිදු කිරීම එතරම් හානිකර නොවන බවද සැලකිය යුතුය. එයට හේතුව අන්තරීක්ෂ ශක්ති හීන කලාපයක් ඇති වන්නේ කුටිය ඇතුළත පමණක් මිස සමස්ත ඊසාන කලාපයේම නොවන බැවිනි. මෙය සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයට අනුව වාස්තු පුරුෂයාගේ හිස මුහුණ ආශ්‍රිත උදා කරන හානි කර තත්ත්වයක් ලෙස කීමද වරදක් නොවේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.