සම්මා වායාම සහ ව්‍යායාම

ජනවාරි 26, 2024

අද අප ගත කරන්නේ අතීතයේ මුතුන් මිත්තන් ගෙවූ සැහැල්ලු ජීවිතය නොවේ. එදා කෙතේ කමතේ හේනේ වැඩ කළ ගොවියා නිරායාසයෙන් ව්‍යායාමය සිය සිරුරට ලබා දුන්නේය. ළිඳෙන් දිය ඇද රෙදි සෝදා, වංගෙඩියේ වී කෙටූ, හිරමනයේ පොල් ගෑ ගෙවිලියට ද මේදය දහනය කරලීමට අමුතුවෙන් ව්‍යායාම අවශ්‍ය වූයේ නැත. එහෙත් අද අපට එවැනි පරිසරයක් පිටිසරබදව හෝ දක්නට ලැබෙන්නේ ඉඳහිට පමණි. ඒවායේද කෙත හාන්නේ ට්‍රැක්ටරයෙනි, මොබයිල් එක කනේ ගහගෙනය. වී කොටන්නේ මෝලේය. ගෙවිලියට රූපවාහිනියේ නරඹන්නට බොහෝ දෑ තිබෙන බැවිනි. නැත්නම් ඔවුන් සියලු දෙනා ද රැකියාවකට යන අතර අමතර කටයුත්තක් සේ වගා කටයුතුවල නිරත වනවා විය හැකිය. කෙසේ වෙතත් වෙනස් නොවන එකම දෙය වෙනස් වීම වූ ලෝකයේ මිනිස් චර්යාවන්හි වෙනස් වීම පමණක් නොවෙනස්ව පවතී යැයි බලාපොරොත්තු වන්නේ කෙසේද? එහෙත් එදා මෙන්ම අදත් අපට ආහාර පානාදිය සැකසීමේ ක්‍රමවේද විශාල වෙනසකට පත් නොවී පවතින අයුරු දැකිය හැකිය. ක්ෂණික කෑම, කෙටි කෑම ආදිය කොතෙක් තිබුණත් මිරිස් තුනපහ රහට අපේ දිව අදත් ඇලුම් කරන බව රහසක් නොවේ.

ඒ කෙසේ වෙතත් තුනපහ වර්ග ඇතුළු අපේ ව්‍යංජනවලට යොදන ස්වාභාවික රසකාරකවලින් අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය වනවා සේම ආහාර රුචිය ද වර්ධනය වන බව රහසක් නොවේ. යටත් විජිත යුගයේ සුද්දන් පවා පුදුමයට පත් වන තරමට අපේ මිනිසුන් ශක්තිමත් වූයේ ඒ ආහාර විහරණ පුරුදු නිසා බව ලියා ඇත්තේද ඔවුන් විසින්මය. මේ වන විට අප ඒවා අම්මලා ආච්චිලාගේ රස බවට අතීත කාමයෙන් කතා කරමින් කඩේ රසට දිව හුරු කරගෙන සිටින ජාතියක් බවට පත් වෙමින් පවතී.

එහි වඩාත්ම හාස්‍යජනක තත්ත්වය වන්නේ කෘත්‍රිම ආහාර පානවලට පුරුදු වීම නොව ඒවා පරිභෝජනයට ගන්නා අවස්ථාව පිළිබඳ ඇති නොගැළපීමයි. මේ වන විට හැල්මේ දුවන රැකියාවල යෙදෙන බොහෝ දෙනා පුරුදුව සිටින්නේ උදේට හෝ හවසට ව්‍යායාම කිරීමට ඇවිදින මංතීරුවලට යෑමටය. පාන්දරම ඒ මංතීරුවල ඇවිදින පිරිස පිළිබඳ මෙය වැඩිපුරම බල නොපෑවත් හවසට ඇවිදින පිරිස එය ව්‍යායාමයට වඩා විනෝද චාරිකාවක් සේ සලකන බව නම් බොහෝ විට පැහැදිලිව පෙනේ. උදෑසනට වඩා සවස වාහනවලින් පිට වූ කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් දුමාරයෙන් වායු ගෝලය පිරී පවතිද්දී හෙඩ් ෆෝන් කනේ රුවාගෙන මංතීරු දිගේ මේ පිරිස වට කීපයක් ඇවිදින්නේ යම් සමාජ තලයක් ද නියෝජනය වන ලීලාවෙනි. ඉන් පසු ඔවුන් ඒ මංතීරු ආසන්නයේ ඇති කෙටි කෑම කඩ හෝ බාබක්‍යු පොළවල්, අයිස්ක්‍රීම් කඩ, පිටි සීනි සහ තෙල් පිරුණු කෑම ඇති තිප්පළවල් වෙත ඇදෙන්නේ කාන්දම් බලයෙන් මෙනි. ඇවිදීමෙන් මුදා හරින ලද කැලරි ප්‍රමාණය මෙන් කීපයගුණයක් වැඩි පිටි සීනි ගුලියක් හෝ හිමකිරමයක් ගිල ව්‍යායාම කිරීමේ සතුට සමරමින් නිවෙස් වෙත ඇදෙන්නේ හෙටටත් එසේ ව්‍යායාම කිරීමට අදිටන් කර ගනිමිනි. එහෙත් ඒ ඇතැමුන්ගේ සිරුරුවල ස්වභාවය දකින කෙනකුට ඔවුන්ගේ මේ චර්යාව අමුතුවෙන් කියා දිය යුතු නොවනු ඇත.

සැබැවින්ම ව්‍යායාමයේ යෙදෙන්නකු නම් ඇවිදීමෙන් පසු මෙවැනි ආහාර පරිභෝජනය කිරීම තමන්ට නුසුදුසු බව දැන සිටීම අනිවාර්ය අංගයකි. ව්‍යායාමය සිරුරට හිතකර වුවත් එය ඉටු කරනා ආකාරය සිරුරට අහිතකර වූ විට ව්‍යායාමයෙන් ඇති පලය කුමක්ද? කරන්නන් වාලේ දෙයක් කරනවාට වඩා ඇඟ පත වෙහෙසා ගේදොර කටයුතු කිරීම හෝ එසේ අවස්ථාවක් නැති විට ව්‍යායාම නිසි ලෙස කිරීම මෙන්ම එයින් ලැබෙන පල ප්‍රයෝජන හරි ආකාරයට ලැබීමට හැකි වන පරිදි සමබල ආහාර වේලක් හොඳීන් තුනපහ ආදිය යොදා භාවිතයට ගැනීමත් යහපත් වෑයමක් ලෙස යහපත් සිහියකින් යුතුව ව්‍යායාමයේ නිරත වීමත් නිදුක් නිරෝගී සුවපත් දිවියකට මහඟු පිටිවහලක් වනු නියතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.