ව්ලැදිමීර් පුටින් පස්වතාවක් රුසියාවේ ජනපති කළ ග්‍රහ බලය

අප්‍රේල් 26, 2024

 

මාර්තු මස 12 වෙනි දින ව්ලැදිමීර් පුටින් පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වූයේය. 2008 - 2012 දක්වා රුසියාවේ අගමැති වූ පුටින් 2012 පවත්වන ලද ජනාධිපතිවරණයකින් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත්විය. ඒ තැන් පටන් හෙතෙම පස්වතාවක් රුසියාවේ ජනාධිපති ධූරය හෙබවූ අතර ඒ අනුව ජෝසප් ස්ටාලින්ගෙන් පසුව රුසියාව වැඩි කාලයක් පාලනය කළ රාජ්‍ය නායකයා බවට පුටින් පත්විය.

එලෙස ව්ලැදිමීර් පුටින්ට රුසියාව දීර්ඝ කාලයක් පාලනය කිරීමට හැකි වූයේ ඔහු උපන් ලග්න කේන්දරය බලවත් නිසාය යන්න පිළිබඳ මා හට හැඟී ගිය හෙයින් ඔහුගේ ජන්ම ග්‍රහ බලය පිළිබඳව යමක් ඡ්‍යොතිෂය ළැදි සුබසෙත පාඨකයන්ට ලිවීමට අදහස් කළෙමි. ඒ අනුව පහත දැක්වෙන්නේ අන්තර්ජාලය මඟින් මා සොයා ගත් පුටින්ගේ ලග්න සහ නවාංශක කේන්දර සටහනයි.

1952.10.07 අඟහරුවාදා රුසියාවේ ශාන්ත පීටරස්බර්ග්හිදී උදේ 09.30ට තුලා ලග්නයෙන් කැති නැකතේ 4 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් රවි මහ දශාව ඉදිරියට වර්ෂ 00 යි මාස 01 යි දින 17 ශේෂව තිබුණි.

ඒ අනුව ඉහත ලග්න කේන්දරයේ ජන්මියාව ඉහළට ඔසවා තබන ලග්නාධිපති සිකුරු ලග්නයේ උච්චව මාලවී නම් පංච මහා පුරුෂ යෝගය මෙන්ම පියුමාකාර යෝගය උදා කරමින් සිටියි. මෙකී සිකුරු නවාංශක කේන්දරයේ මීන නවාංශකයේ පතිතව උච්ච බලය ලැබීමෙන් තවදුරටත් බලවත් වී ඇත.

ලග්නයට යෝග කාරකත්වයක් සහ අර්ධ යෝගකාරකත්වයක් දරන සෙනසුරු බුධ යන ග්‍රහයන්ගෙන් ශුභ කර්තරීත යෝගයකට මැදිව සිටීමෙන් එකී සිකුරු අතිශයින්ම බලවත් කරන සාධකයක් වන අතර, මෙලෙස බලවත් වූ ලග්නාධිපති සිකුරු තවදුරටත් රාජකීය ග්‍රහයන් වන රවි, සඳු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව සිටීම ජන්මියා බලවත් ජන නායකයෙක් වන බව පෙන්වාදෙන ග්‍රහ බලයක් වන්නේ ය.

එමෙන්ම ලග්න කේන්දරයේ 12 වැන්නාධිපති බුධ එහිම පතිතව වර්ගෝත්තම බලයද ලබා ගනිමින් උදා කරන ලද අනපේක්ෂිත පදවි ලාභ ලබා දෙන විමල නම් විපරිත රාජ යෝගද පුටින්ට රාජ්‍ය බලය ලබා ගැනීම මහෝපකාරී වී ඇත.

ඒ අනුව දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවේ බුධගේ අතුරු දශාව පුටින්ට ලබා ඇති අතර, මැතිවරණ දිනවල 12 වැන්නාධිපති බුධ ගෝචරයෙන් 6 වැන්න වූ මීන රැසෙහි වක්‍රව ගමන් කරමින් උදා කළ විමල නම් විපරිත රාජ යෝගය පුටීන්ට අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරණයෙන් ජය ලබා 5 වෙනි වරටත් රුසියාවේ ජනාධිපති වීමට වාසනාව පෑදීය.

තවද ලග්න කේන්දරයේ 3 වැන්නාධිපති ගුරු සහ 7 වැන්නාධිපති අඟහරු අතර යෙදුණු මහා පරිවර්තන යෝගයද ප්‍රසිද්ධ සතුරන් පරාජය කිරීමට හේතුවන මහා පරිවර්තන යෝගයක් වන්නට සේම, තම දියුණුවට අතහිත දෙන ශක්තියක් වන සහෝදරයින් හවුල්කරුවන් ලබා දෙන ග්‍රහ බලයක් වන්නේ ය. එමෙන්ම සඳු ග්‍රහයා උච්ච වීමෙන් යෙදුණු සස යෝගය පුටින් ස්ථිර සාර අදහස් ආකල්ප ඇති රාජ්‍ය නායකයෙක් බවට සාක්ෂි සපයයි.

කේන්දරයේ නිල තල බලතල රැකියා තනතුරු ගැන කියැවෙන 10 වැන්න වූ කටක ලග්න ආරූඪය ද වී ඉන් 3, 6, 10, 11 යන උපචය භාවවල ග්‍රහයන් වැඩි දෙනෙකු යෙදීම රාජ්‍ය බලය ලබා දෙන ප්‍රබල රාජ යෝගයකි. එමෙන්ම ලග්න කේන්දරයේ සඳු උච්චව යෙදුණ ද අට වෙනි භාවයේ යෙදීම ශුභ නැත. මක් නිසාද. 8 වැන්නෙහි දී සඳු මළ හෙවත් මැරුණු ග්‍රහයෙක් බවට පත්වන හෙයිනි.

එමෙන්ම සඳුගෙන් 8 අඟහරු යෙදීම නිසා මෙකී සඳුගෙන් ලැබෙන අශුභ බල තීව්‍ර වන බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමක් වන අතර, ඒ අනුව පුටින්ට 2029.11.24 සිට 2031.04.24 දක්වා පවතින බුධ මහ දශාවේ සඳුගේ අතුරු දශා කාල සීමාවේද ගෝචරයෙන් ශනි වෘෂභ රාශියට (2030.04.19) පිවිසීමෙන් පැන නඟින ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලය සමඟ යෙදෙන ජන්ම ඒරාෂ්ටක කාලසීමා තුළදී පුටින්ගේ විරුද්ධවාදියෙක් විසින් දුර සිට එල්ල කරනු ලබන වෙඩි ප්‍රහාරයකින් පුටින් ජීවිතක්ෂයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.