විවාහයට බලපාන්නේ විසි පොරොන්දම පමණක්ද?

ජුනි 16, 2023

 

වර්තමානයේ මෙන් අතීතයේදී විවාහ අසාර්ථක වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ 20 පොරොන්දම්වලට ප්‍රමුඛත්වයක්දී විවාහ අපේක්ෂිත යුවළගේ හඳහන් ගැළපීමයි.

ඒ අනුව මෙකී 20 පොරොන්දම ගළපා එලෙස විවාහය අසාර්ථකවීමට හේතු වන කරුණු ගැන වැඩිදුරටත් කරුණු විමසා බැලීමේදී රාශි, රාශ්‍යාධිපති, දින, ග්‍රහ සහ වයස යන පොරොන්දම් 5 හැරුණුවිට ඉතිරි පොරොන්දම් 15 විවාහ අපේක්ෂිත යුවළ ගේ උපන් නැකත පදනම් කර ගැනීම, 20 පොරොන්දම් පමණක් ගළපා විවාහ වන අයගේ විවාහය අසාර්ථකවීමට ප්‍රධාන හේතු වී ඇත.

මේ පිළිබඳ තවදුරටත් කරුණු විග්‍රහ කළහොත් යමෙක් උපන් නැකතකට සීහෙන නැකතක් හිමි සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීම විවාහ ජීවිතය සාර්ථකවීමට හේතුවන කරුණක් වන නමුත් එම උපන් නැකත පදනම් කරගෙන ගෝත්‍ර, වර්ණ, වෘක්ෂ, ලිංග යනාදි වශයෙන් පොරොන්දම් 15ක් නැවත නැවතත් විමසා බැලීම කිසිදු ශාස්ත්‍රීය බවක් නැති අර්ථ ශූන්‍ය ක්‍රියාවකි.

එහෙයින් විවාහය සඳහා 20 පොරොන්දම් ගැළපීමට වඩා කේන්දර දෙකේ ගැළපීම කෙසේද යන්න ප්‍රථමයෙන් විමසා බැලිය යුතුය. මන්දයත් ඒ මඟින් දෙදෙනා ගේ අදහස් ආකල්ප කායික හා මානසික බැඳීම යන කරුණූු හෙළිදරව් කර ගත හැකිවීමත්, එමඟින් දෙදෙනා විවාහය සඳහා සුදුසු ද නැද්ද පිළිබඳව නිවැරදිවූත්, නිරවුල්වූත් නිගමනයකට එළඹීමටත් හැකි වන හෙයිනි. ඒ අනුව කේන්දර දෙක ගැළපීමේදී ස්ත්‍රී, පුරුෂ දෙදෙනා ගේ උපන් ලග්න දෙක ඔවුනොවුන් කෙරෙන් 6,8,12,2 යන ලග්නයක් නොවිය යුතුය. මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ උපන් ලග්න දෙක ඔවුනොවුන් කෙරෙන් 6,8,12,2 යන රැසක වුවත් කේන්දර දෙකේ ලග්නාධිපතියන් ඔවුනොවුන්ට මිත්‍ර නම් ආපෝ, තේජෝ, වායෝ යන ගුණ ගැළපේ නම් කේන්දර දෙක ගැළපේ.

එමෙන් උපන් ලග්නවලට අනුව දෙදෙනා ගේ කායික සහ මානසික ගැළපීම කේන්දර දෙකේ රවි, සඳු යන ග්‍රහයන් දෙපළ ගේ පිහිටීම අනුව තීරණය කළ යුතුය. එහිදී දෙදෙනාගේ කේන්දරවල රවි, සඳු යන ග්‍රහයන් ඔවුනොවුන් කෙරෙන් ත්‍රිකෝණගත වී ඇත්නම් හෝ ෂඩ් කෝණගත වී ඇත්නම් හෝ එක් කේන්දරයක රවි සිටි රැසෙහි අනෙක් කේන්දරයේ සඳු සිටීනම් දෙදෙනා ගේ කායික සහ ආධ්‍යාත්මික බැඳීම යහපත් වේ. එමෙන්ම මෙකී රවි, සඳු යන ග්‍රහයන් දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි 6,8,12,2 යන රැසෙක වී නම් දෙදෙනා කායික සහ ආධ්‍යාත්මික වශයෙන් නොගැළපෙන නමුත්, රවි, සඳු තුන්පත් රාශි අධිපතියන් ඔවුනොවුන්ට මිත්‍ර නම් දෙදෙනා අතර, ආධ්‍යාත්මික සහ කායික ගැළපීමක් ඇති වන හෙයින් දෙදෙනා විවාහයට සුදුසු වේ.

රවි, සඳුගේ ගැළපීම ගැන තවදුරටත් කරුණු විමසා බැලීමේදී රවි උච්ච එනම් මේෂ රැසේ යෙදුණු කෙනෙකුට රවි තුලාවේ නීච හෝ වෘෂභ, මකර, කුම්භ යන රැසක සතුරු අයෙක් ගැළපෙන්නේ නැත. මන්දයත් රවි උච්ච රැසේ අධිපති අඟහරු එකී නීච සතුරු රාශිවල තැන්පත් රාශි අධිපතියන්ට මිත්‍ර නොවීමයි. ඒ හේතු කොට ගෙන දෙදෙනා අතර ආත්ම ප්‍රකාශනය අතින් දැඩි අසමානතාවයක් ඇති වන හෙයින් එවන් දෙදෙනෙක් අතර, විවාහයක් සිදු වුවහොත් දෙදෙනා අතර, ගැටුම් ආරවුල් ඇතිවී විවාහය දික්කසාදයකින් කෙළවර වන්නේය. මේ පිළිබඳව තවදුරටත් කරුණු විග්‍රහ කළහොත් රවිගෙන් නිවේදනය වන්නේ ආත්මයයි. ඉන් අදහස් කරන්නේ දෙදෙනා ගේ සහජ ගති ගුණ හෙවත් පෙර ආත්මවල සිට ගෙන එන ගතිගුණයි. එහෙයින් දෙදෙනා විසින් පෙර ආත්මවල සිට ගෙන එන මෙම සහජ ගති ගුණ නැති නම් පුරුදු සමාන නොවුවහොත් දෙදෙනාගේ වැඩ කටයුතු ප්‍රතිපත්ති විරුද්ධ ස්වභාවයක් ගන්නා හෙයින් දෙදෙනා අතර ගැටුම් ඇති වන්නේය. එහෙයින් ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකේ මේ රවි ගේ ගැළපීම කෙසේද යන්න අනිවාර්යෙන්ම බැලිය යුතු කරුණක් වන්නේය. එමෙන්ම විවාහ සඳහා කේන්දර ගැළපීමේදී සඳු ග්‍රහයා වෘෂභයේ උච්ච වූවෙක්ට සඳු ග්‍රහයා කටක රැසෙහි ස්වක්ෂේත්‍ර කෙනෙක් කෙසේවත් ගැළපෙන්නේ නැත. මන්දයත් වෘෂභ රැසේ උච්ච සඳු තැන්පත් රාශි අධිපති සිකුරු සඳු කටක රැසේ තැන්පත් රාශි අධි සඳුට සතුරු හෙයිනි. එහෙයින් සඳු වෘෂභ රැසේ උච්ච වූවෙක් විවාහ විය යුත්තේ සඳු එලෙස වෘෂභ රැසෙහි උච්චවූ කෙනෙකු සමඟ හෝ එකී සඳු උච්ච රැසේ අධිපති සිකුරුට මිත්‍ර ග්‍රහයන් වන බුධ හිමි මිථුන කන්‍යා හෝ ශනි මකර, කුම්භ යන රැසක සඳු ග්‍රහයා තැන්පත් වූ කෙනකු සමඟය.

ලග්නය,රවි සඳු යන ග්‍රහයන් ගැළපීම මෙන්ම දෙදෙනාගේ කේන්දර දෙකේ කුජ, සිකුරු යන ග්‍රහයන් ගේ ගැළපීමක් ඇත්දැයි යන්න බැලිය යුතුය. මන්දයත් කුජ සිකුරු මඟින් යුග ජීවිතය සාර්ථක පවත්වාගෙන යෑමට අවශ්‍ය ලිංගික සම්බන්ධතාවය පිළිබඳව කරුණූ හෙළිදරව් කර ගත හැකිවන නිසාය. විශේෂයෙන්ම ඉතා තරුණ වයසේදී විවාහ වන ස්ත්‍රී පුරුෂයින්ගේ මෙකී කුජ සහ සිකුරු ගේ ගැළපීම අංක 1ටම තිබිය යුතුය. මන්දයත් ඔවුන් තම සහකරු හෝ සහකාරිය සමඟ බොහෝ කලක් ලිංගික ඇසුරක් පවත්වා ගෙන යා යුතු හෙයිනි. ඒ අනුව ස්ත්‍රී පුරුෂ කේන්දරවල කුජ /සිකුරු ගේ ගැළපීම පරික්ෂා කරන්නේ මෙසේය. කේන්දර දෙකෙන් එක් කේන්දරයක කුජ සිටි තැනින් අනෙක් කේන්දරයේ සිකුරු ෂඩ් කෝණව හෝ ත්‍රිකෝණව සිටියි නම් දෙදෙනා ලිංගික ආකර්ෂණය හෙවත් බැඳීම යහපත් වේ. මෙකී කුජ, සිකුරු ගේ ගැළපීම භාව මෙන්ම රාශි වශයෙන් ද යෙදිය හැකිය. එනම් එක් කේන්දරයක කුජ සිටි රාශියේ අනෙක් කේන්දරයේ සිකුරු සිටීමෙනි. මෙය තවදුරටත් විග්‍රහ කළහොත් පුරුෂ කේන්දරය කුජ වෘශ්චික රාශියේ සිටියදී ස්ත්‍රී කේන්දරයේ සිකුරු වෘශ්චික රාශියේ සිටීම එනම් දෙදෙනාගේ කේන්දර දෙකේ කුජ සිකුරු වෘශ්චික රාශි ගතව සිටීමයි. එමෙන්ම එක් කේන්දරයක කුජ වෘශ්චික රාශියේ සිටියදී අනෙක් කේන්දරයේ සිකුරු වෘෂභ රාශි ගතව සිටීම හෝ එක් කේන්දරයක කුජ මේෂ රාශි ගතව සිටියදී අනෙක් කේන්දරයේ සිකුරු තුලා ගතවීම යනාදි වශයෙන් කුජ සිකුරු දෙදෙනා ඔවුනොවුන්ට සප්තම වීමෙන් ද කුජ, සිකුරු ග්‍රහයන් අතර ගැළපීමක් ඇතිවේ.

ඒ අනුව ඉහත විග්‍රහ කළ පරිදි විවාහ වන ස්ත්‍රී පුරුෂයින් ගේ කේන්දර දෙකේ කුජ/සිකුරු ග්‍රහයන් අතර ගැළපීමක් තිබේ නම් ඔවුනොවුන් ගේ ලිංගික හැසිරීම් පැවැතුම් ඔවුනොවුන්ට ප්‍රසන්න ස්වරූපයක් ගන්නා අතර ඔවුන් එකිනෙකා ගේ ලිංගික රුචි අරුචිකම් වටහා ගෙන දෙදෙනාගේ ලිංගික ජීවිතය සාර්ථක කර ගැනීම නිසා යුග ජීවිතයේ කුමන අඩුලුහුඬුකම් ඇති වුණත් ඔවුනොවුන් අතර කායික බැඳීම ශක්තිමත් නිසා ඔවුහු යුග ජීවිතය සාර්ථක කර ගනිති. ඒ නමුත් මෙකී කුජ/සිකුරු ගේ ගැළපීම 7 වැන්න මුල් කර ගෙන යෙදේ නම් එය යුග ජීවිතයට අහිතකර බලපෑම් ඇති කරන්නේය. මක්නිසාදයත් දෙදෙනා කාම සැප සම්පත් භුක්ති විඳීම අතින් අන්තයට යෑම නිසා දෙදෙනාට විපත් ඇති වන හෙයිනි. යට විග්‍රහ කළ පරිදි කේන්දර දෙකේ ගැළපීමක් තිබුණත්, එක් කේන්දරයක කුජ, දෝෂයක්, වෛධව යෝගයක් (පුරුෂ කේන්දරයක ලග්න, චන්ද්‍ර සිකුරු කෙරෙන් 2,7 යන ස්ථානවල පාපයන් සිටීම) සහ සිකුරු පීඩාවට පත්වීම ස්ත්‍රී කේන්දරයක නම් ලග්නය, චන්ද්‍ර සිකුරු කෙනෙක් ගේ ශනි, රාහු යන දෝෂයක් යෙදී ඇත්නම් අනෙක් කේන්දරයේ එකී දෝෂය භංග කෙරෙන ග්‍රහ පිහිටීමක් නැතිනම් දෙදෙනා විවාහ වුවත් කෙටි කලකින් යුග ජීවිතය කෙළවර වන්නේය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.