දවස ජය ගන්න හෝරාව යොදා ගන්න

ජනවාරි 26, 2024

මීට වසර සීයකටත් එහා ජීවත් වූ අප පැරැණ්මෝ සෑම දෙනකුම වාගේ ඡ්‍යොතිෂ්‍ය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අය විය. එයට හේතුව එකල ජීවත් වූ අපේ පැරැණියන් බොහෝ දෙනකු ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීමට ඡ්‍යොතිෂය යොදා ගැනීමයි.

ඒ අනුව එකල ජීවත් වූ ගැමියන්ට අහස දෙස බලා අද මාස පෝය, අද පුර අටවක, නවවක යනාදී වශයෙන් චන්ද්‍රයාගේ ගමන අනුව තිථිය පිළිබඳවත් තිථිය සමඟ ලබන යෝගය සහ කරණය පිළිබඳවත් ලිතක් නොමැතිව කරුණු හෙළිදරව් කර ගැනීමට අප පැරැණි සමාජයේ ජීවත් වූ ගැමියන්ට හැකියාවක් තිබුණි. එමෙන් එකල ජීවත් වූ ගැමියන්ට හෝරාව පිළිබඳව දැනුමක් තිබුණු අතර ඔවුන් ගමන් බිමන් යෑම සඳහා බලවත් සිකුරු හෝරාව යොදාගත්හ. ආගමික කටයුතු සඳහා දරුවන් පිළිබඳ කටයුතු සඳහා ගුරු හෝරාව යොදා ගත් අතර, රජුන් ගම්මුලෑදෑනීන් හමුවීම සඳහා රවි හෝරාව යොදා ගත්හ.

එහෙත් ශ්‍රී ලංකාව ඉංගී‍්‍රසීන්ට යටත් වීමෙන් පසු මෙරට කාර්මික රටක් බවට පත්වීමත් සමඟ ඡ්‍යොතිෂය පිළිබඳව ජනතාව සතු දැනුමද හීන වූ අතර එදිනෙදා වැඩකටයුතු සඳහා විවිධ ඡ්‍යොතිෂ ක්‍රම භාවිතයද ඔවුන් කෙරෙන් ඉවත් විය. ඒ අනුව මා මේ ලිපියෙන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ ඡ්‍යොතිෂය පිළිබඳව සාමාන්‍ය දැනීමක් ඇති අයවලුන්ටත් ඡ්‍යොතිෂය හදාරන ආධුනිකයින්ට ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හෝරාව යොදා ගන්නා ආකාරය පිළිබඳව කරුණු විග්‍රහ කිරීමටයි.

රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ වශයෙන් පිළිවෙළින් ගැනීමෙන් දවසේ හෝරාව ඔබට සොයා ගත හැකිය. ඉරු දින පෙරවරු 6.00 සිට 7.00 දක්වා රවි හෝරාවෙන් ආරම්භ වී ඉහත පිළිවෙළට අදාළ පැයට අයත් හෝරාව ගණනය කළ හැකි වේ. වෙනත් දිනයක නම් අදාළ දිනයේ නමට අයත් ග්‍රහයාගේ සිට පිළිවෙළින් ඉහත අනුපිළිවෙලට ගණනය කළ යුතුය.

පෙරවරු 6.00ට ඉර උදාවන බදාදා දිනක උදේ 6 -7 බුධ, 7-8 චන්ද්‍ර, 8 -9 ශනි, 9 -10 ගුරු, 10 -11 කුජ, 11 -12 රවි, 12 - 1 ශුක්‍ර හා එහි ඉතිරි පැයද ඒ පිළිවෙළටම වේ.

ඉර උදාවන වේලාම සමඟ මෙය වෙනස් කර ගත යුතුය.

මෙලෙස ගණනය කර ගැනීම අපහසු නම් පංචාංග ග්‍රහස්ඵුට ලිතක් භාවිත කරන්න. ශුභ වැඩ කටයුතු සඳහා හෝරාව භාවිත කිරීමේ දී තමන්ගේ ජන්ම නැකතට සීහෙන නැකැතින් එකී කාර්යය සඳහා සුදුසු තත්කාල ලග්නයකින්, ශුභ හෝරාවකින් ශුභ පංචම හා සූක්ෂ්ම කාල හෝරාවකින් එකී කාර්යය ආරම්භ කළ යුතුය. ඒ අනුව ඕනෑම ශුභ වැඩකටයුත්තක් ශුභ හෝරාවක් පංචම කාල හෝරාවක් සහ සූක්ෂ්ම කාල හෝරාවක් පමණක් යොදා ගැනීමෙන් පමණක් එකී කටයුත්ත සාර්ථක වන්නේ නැත. ඒ සඳහා තමා උපන් නැකතට සීහෙන නැකතක් සමඟ කාර්යයට ගැළපෙන තත්කාල ලග්නයක් යොදා ගත යුතු ය. ඒ අනුව තත්කාල හෝරාවක් ශුභ වැඩ කටයුත්තක් සඳහා යොදා ගන්නා පුද්ගලයාට ඡ්‍යොතිෂය පිළිබඳ යම් දැනුමක් තිබිය යුතු ය.

එනමුත් ග්‍රහ අපලවලදී උදාහරණයක් වශයෙන් අඟහරු, සෙනසුරු, රාහු හෝ වෙනයම් ඕනෑම අපල කාරක ග්‍රහයකුට අයත් මහ දශාවක් ලබා ඇති ජන්මියකුට එකී අපල කරන දශා අධිපති ග්‍රහයාගේ අපලවලින් මිදීමට බිත්ති ලිතක දක්වා ඇති හෝරා චක්‍රය දෙස බලා එකී අපල කරන ග්‍රහයාට අයත් හෝරාව මඟහැර දෛනික වැඩකටයුතුවල යෙදීමට එතරම් ඡ්‍යොතිෂ්‍ය ඥානයක් අවශ්‍ය වන්නේ නැත.

ඒ අනුව රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන්ට අයත් හෝරාවන් විවිධ කටයුතු සඳහා යොදා ගන්නේ මෙසේ ය.

රවි හෝරාව

රවි නොහොත් සූර්යයා මේෂ, සිංහ යන රැසක උච්ච, මුල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බලය ලබමින් ගෝචරය වන විට සහ රවි තමාට අයත් නැකත් වන කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකතක ගෝචරය වන විට රවි ඉතා බලවත් වන හෙයින් එලෙස රවි බලවත් වන වේලාවලදී රවි ග්‍රහයාට කාරක වන කටයුතු රවි හෝරාව තුළ ඇරඹීමෙන් එකී කටයුතු සාර්ථක වන්නේ ය. ඒ අනුව මෙකී රාජ්‍යකාරක රවි හෝරාවෙන් රජයේ රැකියා ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගිවීමෙන් රජයේ රැකියා ලබා ගත හැකි වන්නේ ය. එමෙන්ම මෙකී රවි හෝරාවෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමෙන් ද විදුලිය සම්බන්ධ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන්ද, ගිවිසුම්වලට අත්සන් තැබීමෙන්ද, නඩු හබවලදී විනිශ්චකාරයින් මුණ ගැසීමෙන් ද විවිධ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් මුණ ගැසීමෙන් එකී කටයුතු සාර්ථක කර ගත හැකි වන්නේ ය.

ශාරීරික වශයෙන් හෘද රෝග, මොලයේ රෝග, කොඳු ඇට පෙළෙහි රෝගවලටද, බෝවෙන රෝග සඳහා එන්නත් ගැනීමට මෙකී රවි හෝරාව ශුභ වන්නේය. එමෙන් රටකජු, පොල් සහ කටු සහිත ගස් රෝපණය කිරීමට මෙකී රවි හෝරාව ශුභ වන්නේ ය.

එමෙන්ම රවි අපලයෙන් පීඩා විඳින ජන්මීන්ට විෂ්ණු, ඊශ්වර දෙවියන්ට භාරහාරවීමට ද පද්මරාග ගලක් ඇල්ලූ මුදුවක් පැළඳීමට, සූර්යය මණ්ඩලය අට ඝෝරය සිද්ම්බරය, නවග්‍රහ යන්ත්‍රයක් වැනි යන්ත්‍ර පැළඳීමට මෙකී රවි හෝරාව ශුභ වන්නේ ය.

සඳු හෝරාව

පුර සතවක සිට අව සතවක දක්වා සඳු බලවත් වන කාලසීමාව තුළ සඳු කටක, වෘෂභ රාශිවල උච්ච, මුල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යුතුව ගෝචරය වන විටත් සඳු සඳුට හිමි, රෙහෙණ, හත, සුවණ යනාදී නක්ෂත්‍රයක ගමන් කරන විටත් සඳු බලවත් වන හෙයින් එකී සඳු බලවත් වන කාල වලදී සඳු කාරකත්වයක් දරන කටයුතු සඳු හෝරාව තුළ ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේ ය.

ඒ අනුව එලෙස සඳු බලවත් වන කාලවලදී සඳු හෝරාවෙන් තමාට යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය නොහැකි දැඩි සිතක් ඇති පුද්ගලයකු හමුවීමෙන්, තමාට අවශ්‍ය කාරණාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි වන්නේ ය. එයට හේතුව නම් සඳු එලෙස බලවත් වන කාලවලදී ඕනෑම දැඩි සිතක් ඇති පුද්ගලයකු සිත මෘදු වන හෙයිනි.

එමෙන්ම සඳු බලවත් වන දිනවල රාත්‍රී කාලයේ දී සඳු හෝරාවෙන් ස්ත්‍රී පුරුෂයන් ලිංගික වශයෙන් එක්වීමෙන් උසස් ලිංගික තෘප්තියක් ලැබිය හැකි වන්නේය.

ගුරු බලවත් රාශියක හෝ ගුරු හිටි නැකත ගෝචරය වන විට බ්‍රහස්පතින්දා සඳු හෝරාව වින්නඹු සහ හෙදි සේවය සඳහා යොදා ගැනීමෙන් එකී කටයුතු සාර්ථක වන්නේ ය.

එමෙන්ම සඳු, මේෂ, කටක, තුලා, මකර රැසක ගෝචරය වන කාල සීමාවල සඳු හෝරාවෙන් විදේශ ගමන් සඳහා පිටත්වීමෙන් එකී ගමන් සාර්ථක වන්නේ ය.

සිකුරු ග්‍රහයා මිථුන, තුලා, කුම්භ යන රාශිවල ගෝචරය වන කාලවලදී සිකුරාදා සඳු හෝරාව සංගීත කටයුතු සඳහා යොදා ගැනීමෙන් එකී කටයුතු සාර්ථක වන්නේ ය.

සිකුරාදා සඳු හෝරාව රබර් වැනි කිරි සහිත ගස් වගා කිරීමෙන් එකී වගාවත් සාර්ථක වන්නේ ය. එසේ පිහිනීම, කිමිදීම සඳහා සිකුරාදා සඳු හෝරාව යොදා ගන්න. ප්‍රෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ව්‍යාපාර ආරම්භ කිරීමට සඳුදා සඳු හෝරාව අගනේ ය. එමෙන්ම කුජ ග්‍රහයා, මකර වෘශ්චික යන ජල රැයක හැසිරෙන කල අඟහරුවාදා සඳු හෝරාව මත් පැන් ශාලා විවෘත කිරීමෙන් එකී ව්‍යාපාර කටයුතුවලින් ලාබ ලැබෙන්නේ ය.

එමෙන්ම සඳුගේ අපලය සඳහා ශාන්ති කර්ම කිරීමට බලවත් සඳු හෝරාව අගනේය. ඒ අනුව මුතු ඇටයක් ඇල්ලූ රිදී මුදුවක් පැළඳීමේ රිදී පතක ලියන ලද බුදු ගුණ යන්ත්‍රයක් හෝ චන්ද්‍ර මණ්ඩලය, වෛකුමෙය ආදී යන්ත්‍රයක් පැළඳීමටද, ජල දෙවියන් පිදීමට, කිරිමව් පිදීමට, සිල් මාතාවන්ට උපස්ථාන කිරීමට සහ පත්තිනි දෙවියන් පිහිට පැතීමට බලවත් සඳු හෝරාව ශුභ වන්නේ ය.

කුජ හෝරාව

කුජ ග්‍රහයා මේෂ, වෘශ්චික, මකර යන රාශිවල ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ, උච්චාදි බලයකින් යුතුව ගෝචරය වන විටත් කුජ කුජහිමි මුවසිරස, සිත, දෙනට යන ආදී නක්ෂත්‍රවලදී ගමන් කරන විටදි කුජ හෝරාව අතිශයින්ම බලවත්වන හෙයින් එකී කාලවල කුජ කාරකත්වය දරන කාර්යයන් සඳහා කුජ හෝරාව යොදා ගැනීමෙන් ඉෂ්ට සිද්ධි ඇති වන්නේ ය. ඒ අනුව ආරක්ෂක අංශයේ රැකියා කටයුතු භාර ගැනීමට අඟහරුවාදා කුජ හෝරාව ශුභ වන්නේ ය. එමෙන්ම යන්ත්‍ර සූත්‍ර, අවි ආයුධ, ගොවි උපකරණ සම්බන්ධ ව්‍යාපාර ඇරඹීමට බදාදා කුජ හෝරාව ශුභ වන්නේ ය.

එමෙන්ම ස්වර්ණාභරණ වෙළෙඳ සැලක් විවෘත කිරීමට, විනිශ්චය කාරයෙක් ලෙස දිවුරුම් දීමට බ්‍රහස්පතින්දා කුජ හෝරාව ශුභය. එසේම ඉඩකඩම් මිලදී ගැනීමට අඟහරුවාදා කුජ හෝරාව ශුභය. තත්කාල ලග්නයේ 6 වැන්නෙහි සිටින අඟහරු ග්‍රහයාට බලවත් ගුරුගේ දෘෂ්ටියක් වැටෙන බ්‍රහස්පත්නිදා දිනක අඟහරු හෝරාවෙන් ශෛල්‍ය කර්ම කිරීමෙන් එකී ශෛල්‍ය කර්මය සාර්ථක වන්නේ ය.

බුධ හෝරාව

බුධ ග්‍රහයා බුධට හිමි මිථුන, කන්‍යා රැසක හෝ දෙට, රේවතී, අස්ලිස යන නැකත්වල ගමන් කරන විට බුධ හෝරාව බලවත් හෙයින් බුධ ග්‍රහයා කාරකත්වයක් දරන කටයුතු එකී බුධ හෝරාව තුළ ආරම්භ කිරීමෙන් සාර්ථක වන්නේ ය. ඒ අනුව බුධ ග්‍රහයා බලවත්වන කාලයක තත්කාල ලග්නයේ බුධ ග්‍රහයාට 3 වැන්නට තබා බුධ හෝරාවෙන් බුධගේ පංචමයෙන් බුධගේ සූක්ෂම කාල හෝරාවෙන් දරුවන්ට මුල් වරට අකුරු කරවීමට යහපත් වන්නේ ය.

ගෝචරයෙන් බුධ සහ ගුරු බලවත් රාශිවල නැකැත්වල ගමන් කරන විට, බ්‍රහස්පතින්දා බුධ හෝරාව පොත්පත් ලිවීමට, ගුරු පදවි හෝ කථිකාචාර්ය පදවි ලබා ගැනීමට ශුභ වන්නේ ය.

එසේම ස්නායු රෝගීන්ට විටමින් බී ඌනතාවයෙන් පෙළෙන්නට ප්‍රතිකාර ගැනීමට බදාදා බුධ හෝරාව ශුභ වන්නේ ය.

බුධ සහ සිකුරු ගෝචරයෙන් බලවත් රාශි සහ නැකැත්වල හැසිරෙන විට සිකුරාදා, බුධ හෝරාව කලාකරුවන්ට, ගණිතඥයින්ට, නැට්ටුවන්ට, ගුරු පරීක්ෂකවරුන්ට තම වෘත්තීන්ට අදාළ කටයුතු ආරම්භ කිරීමට ශුභ වන්නේ ය.

එසේම බුධ අපලය අති ජන්මීන්ට බුධ ග්‍රහයා බලවත් රාශි නැකැත්වල ගෝචරය වන කාල වල බදාදා බුධ හෝරාවෙන්. පච්ච ගලක් ඇල්ලූ මුදුවක් පැළඳීමටද, සංජීව, රත්න යන යන්ත්‍රයක් රිදී හෝ තඹ පතක ලියා පැළඳීමටද විෂ්ණු, ගණ දෙවි, සරස්වතී ආදී දෙවිවරුගෙන් පිහිට පැතීමද යහපත් වන්නේ ය.

ගුරු හෝරාව

ගුරු ග්‍රහයාට තමාගේ ස්වක්ෂේත්‍ර රැසවන මීන රාශියේද, තම මුල ත්‍රිකෝණ රැස වූ ධනු රැසෙහි ද, තම උච්ච භවනය වන කටක රැසෙහි ද තම නක්ෂත්‍ර වන පුනාවස, විසා, පුවපුටුප යන නක්ෂත්‍රයන්හි ගමන් කරන විටද ගුරු ග්‍රහයා බලවත් වන හෙයින් ගුරු ග්‍රහයා කාරකත්වය දරන කාර්යයන් එකී ගුරු හෝරාව තුළ ක්‍රියාත්මක කිරීමෙන් එකී කාර්යයන් සාර්ථක වන්නේ ය. ගුරු බලවත් වන කාලයක ගුරුදින ගුරු හෝරාවෙන් මුදල් තැන්පත් කිරීම සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීමෙන් ඔබට විශාල මුදලක් ඔබ විවෘත කළ බැංකු ගිණුමේ තැන්පත් කළ හැකි වන්නේ ය.

එමෙන්ම ඔබ උපන් ලග්න කේන්දරයේ ගුරු ග්‍රහයා 1, 2, 5, 7, 9, 10, 11 යන භාවයක බලවත්ව යෙදී ඇත්නම්, ඔබට ගුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇතිවිට ගෝචරයෙන් ගුරු යටකී භාවයක ගෝචරයක වන කාලයක තත්කාල ලග්නයේ ගුරු ග්‍රහයා 2, 5, 7, 11 යන භාවයක වැටෙන සේ ගෙන බ්‍රහස්පතින්දා ගුරු හෝරාවෙන් ගුරුගේ පංචම හා සූක්ෂ්ම කාල හෝරාවෙන් නව රන් රිදී ශාඛාවක් ඇරඹීමෙන් ඔබට අනාගතයේ දී එකී ශාඛාවෙන් විශාල ලාභයක් භුක්ති විඳීමට හැකි වන්නේ ය.

ඡ්‍යොතිෂය, නීතිය, ආගම, බැංකුකරණය වැනි විෂයන් හැදෑරීමට අවශ්‍ය නම් බ්‍රහස්පතින්දා දින ගුරු හෝරාවෙන් සඳු බලවත් ගුරුගේ නැකතක ගෝචරය වන විට ආරම්භ කරන්න. ඔබගේ අධ්‍යයන කටයුතු ඔබ හිතුවාටත් වඩා හොඳින් සාර්ථක වන්නේ ය.

ඔබ කලක් සුව නොවන යම් කිසි රෝගයකින් පීඩා විඳිමින් සිටියිද, ඔබගේ කේන්දරයේ ගුරු ග්‍රහයා බලවත්ව යෙදී ඇත්ද, ඔබට, ගුරු ග්‍රහයාට අයත් මහ දශාවක් අන්තර් දශාවක් හෝ සූක්ෂම දශාවක් ලැබූ කල ගෝචරයෙන් ද ගුරු බලවත් රාශියක හෝ නැකතක හෝ ගමන් සිටියිද? තත්කාල ලග්නයේ ගුරු තබා සඳු ග්‍රහයා ද ගුරුට කේන්ද්‍ර හෝ ත්‍රිකෝණගත වන ලෙස තත්කාල ලග්නය සමඟ ගුරු දින ගුරු හෝරාවෙන් කහපාට වස්ත්‍රයකින් සැරසී ඔබ අදහන දෙවියන්ට පහනක් දල්වා නැඟෙනහිර බලා නිවසින් පිටවී වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ඔබ කලක් පීඩා වින්ද රෝගය සුව අතට හැරෙනු ඇත.

එමෙන්ම ඔබට ගුරු ග්‍රහයාගේ අපලයක් තිබේද? එසේ නම් ගුරු ග්‍රහයා ගෝචරයෙක් බලවත් වන බ්‍රහස්පතින්දා දිනක ගුරු හෝරාවෙන් බෝධි පූජා තැබීමටත්, පිරිත් නූල් පැලඳීමට, බුදුගුණ යන්ත්‍රයක් පිරිත් කර පැලඳ ගැනීමට හෝ පුෂ්ප රාග මැණිකක් ඇල්ලූ මුදුවක් පැලඳීම යන ශාන්ති කර්මයන් කිරීමට බ්‍රහස්පතින්දා ගුරු හෝරාව අගනේ ය.

සිකුරු හෝරාව

සිකුරු වෘෂභ, තුලා, මීන යන රාශිවල ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ උච්ච ආදී බලයෙන් යුතුව ගෝචරය වන විටත් සිකුරු සිකුරුට හිමි බෙරණ, පුවපල්, පුවසල යනාදී නැකැත්වල හැසිරෙන විටත් සිකුරු හෝරාව ඉතා බලවත් වන්නේ ය. ඒ අනුව සිකුරු කාරකත්වයක් දරන වැඩකටයුතු ආරම්භ කිරීමට සිකුරු බලවත් වන කාලවල සිකුරු හෝරාව යහපත් වන්නේ ය.

කිරි පට්ටියක් ආරම්භ කිරීමට සඳුදාට සිකුරු හෝරාව තෝරා ගන්නා වාහන මිලදී ගැනීම සඳහා තත්කාල ලග්නයේ සිකුරු 4ට වැටෙන සේ තබා තත්කාල ලග්නයේ ග්‍රහයන් පිහිටුවා සිකුරාදා දින සිකුරු හෝරාවෙන් වාහන මිලදී ගන්න. එවිට ඔබට දිගුකල් භාවිත කළ හැකි අලුත් වාහනයක් මිලදී ගැනීමට හැකිවනු ඇත.

එමෙන්ම රස කැවිලි, මල්, එළවළු, පලතුරු ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය නම් බදාදා සිකුරු හෝරාවෙන් ව්‍යාපාර කටයුතු අරඹන්න. ඔබේ එම ව්‍යාපාර කටයුත්ත සාර්ථක වන්නේ ය.

තම සිත් ගත් තරුණයාට හෝ තරුණිය වෙත පෙම්පතක් ලිවීම සඳහා තත්කාල ලග්නයේ සිකුරු 3 වැන්නට තබා සිකුරාදා, සිකුරු හෝරාවෙන් එම පෙම්පත ලිවීම ආරම්භ කර සිකුරු හෝරාව ගෙවීමට පෙර පෙම්පත ලියා අවසන් කර පසු එය තම සිත්ගත් තරුණයාට හෝ තරුණියට බාර දෙන්න. ඔහු හෝ ඇය ඔබ සමඟ ප්‍රේම සම්බන්ධකමක් ඇති කර ගැනීමට කැමැත්ත පළ කරනවාට කිසිදු සැකයක් නැත.

එසේම රූප සම්පත්තිය වර්ධනය කර ගැනීමට බලවත් සිකුරු ලග්නයට වැටෙන සේ තත්කාල ලග්නය සාදා සඳුදින බලවත් සඳු සිකුරුගේ නැකතක ගෝචරය වන විට සිකුරු හෝරාවෙන් රූපලාවණ්‍ය කටයුතු අරඹන්න. බලා සිටියදී ඉතා ඉක්මනින් ඔබ රූමතියක් බවට පත් වන්නේ ය.

ඔබට සිකුරු අපලයක් තිබේ නම් සිකුරු බලවත් දිනක සිකුරාදා සිකුරු හෝරාවෙන් සුදු මැණික් ඇල්ලූ මුදුවක් හෝ සිදම්බරය, ඊශ්වර මණ්ඩලය, නවගුණය, මාතාංගේශ්වර ආදී යන්ත්‍ර හෝ පතිනි, ලක්ෂ්මී, ඉන්ද්‍රාණි, කන්‍යාමරියතුමි යන දේවමාතාවකට පුද පූජා පවත්වන්න. ඔබේ සිකුරු අපලය බොහෝ දුරට මර්දනය වනු ඇත.

සෙනසුරු හෝරාව

සෙනසුරු, මකර, කුම්භ, තුලා යන රැයක ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ උච්ච යනාදි බලයකින් යුතුව ගමන් කරන විටද, සෙනසුරු සෙනසුරුට හිමි පුෂ, අනුර උත්‍රපුටුප යන නක්ෂත්‍රයක ගෝචරය වන විටද සෙනසුරු හෝරාව බලවත් වන්නේ ය. ඒ අනුව සෙනසුරු කාරකත්වයක් දරන වැඩකටයුතු සෙනසුරු හෝරාව තුළ සිදු කිරීමෙන් එකී වැඩකටයුතුද සාර්ථක වන්නේය.

ඒ අනුව ශනි පොළොව සම්බන්ධ ව්‍යාපාර වී ගොවිතැන, මිනිරන්, පතල් හෑරීම, ගල් අඟුරු ආකර සම්බන්ධ ව්‍යාපාරයන්ට මෙන්ම පෙට්රල්, තෙල් සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ශුභ වන්නේ ය.

එසේම ගෝචරයෙන් සෙනසුරු බලවත් වන සෙනසුරාදා දිනක සෙනසුරුට අයත් නැකතින් සෙනසුරු හෝරාවෙන් භාවනා කිරීම යෝග ව්‍යායාම ප්‍රගුණ කිරීමේ කටයුතු ආරම්භ කරන්න එකී කටයුතු සාර්ථක වන්නේ ය.

ප්‍රචණ්ඩත්වයක් ඇති පුද්ගලයකු මෙල්ල කිරීමට, එසේම මැරතන් වැනි දැරීමේ ඇති හැකියාවක් අංශය දිගුදුර ධාවනය පුහුණුවීම් කටයුතු සෙනසුරු බලවත් දිනක සෙනසුරුගේ නැකතක සඳු ගමන් කරන විට සෙනසුරු හෝරාවෙන් ආරම්භ කිරීමෙන් එකී කටයුතු සාර්ථක වන්නේ ය.

එසේම මුෂ්ටි ප්‍රහාරය (බොක්සිං) බර ඉසිලීම වැනි ක්‍රීඩාවන් ප්‍රගුණ කිරීමට අඟහරුවාදා සෙනසුරාදා හෝරාව යොදා ගන්න.

අලවර්ග සිටුවීමට මහණ කිරීමට සෙනසුරාදා සඳු සෙනසුරුගේ නැකතක ගෝචරය වන විට සෙනසුරු හෝරාවෙන් එකී කටයුතු අරඹන්න. එමෙන්ම ඔබට කරදරකාරී පුද්ගලයකුගේ ඇසුරෙන් අත්මිදීම අවශ්‍ය නම් තත්කාල ලග්නයෙහි සඳු ද 7 වැන්නෙහි සෙනසුරුද තබා සඳුදා දිනක සඳු බලවත් සෙනසුරුගේ නැකතක ගෝචරය වන විට සෙනසුරු හෝරාවෙන්, ඔබට ඔහුගේ ආශ්‍රයෙන් වෙන්වීමට අවශ්‍ය බව ප්‍රකාශ කරන්න. ඔහු අනිවාර්යෙන්ම ඔබගේ ඇසුරෙන් වෙන්වනු ඇත.

ඒ අනුව විවිධ කටයුතු සාර්ථක කර ගැනීමට හෝරා යොදා ගත හැකි නමුත් ඒ සඳහා ඔබට සැලකිය යුතු ඡ්‍යොතිෂය දැනුමක් තිබිය යුතු බව මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.