තුන්වැන්නේ සඳු කුජ යෝග වීමෙන් විශිෂ්ට ගායිකාවක වූ ආචාර්ය නන්දා මාලිනී

පෙබරවාරි 2, 2024

 

ජනපි‍්‍රය ගායිකාවක් ලෙස සරසවි සම්මාන 12 ක් සහ ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇති විශාරද නන්දා මාලිනී මහත්මියගේ උපන් කේන්දර සටහනෙන් අපට අපගේ ඡ්‍යොතිෂ ඥානය පෝෂණය කර ගැනීමට උගත හැකි දෑ බොහෝමයක් ඇති හෙයින් ඡ්‍යොතිෂයට ළැදි සුබසෙත පාඨකයන් වෙනුවෙන් පහත දැක්වෙන නන්දා මාලිනී මහත්මියගේ කේන්දර සටහන උපයෝගී කරගෙන ඇය පිළිබඳව යමක් ලිවීමට අදහස කළෙමි. විශේෂයෙන් ම ඇය සංගීතය පිළිබඳව විශාරදවරියක වීමට හේතු භූත වූ ග්‍රහ පිහිටීම පිළිබඳව යමක් කෙටියෙන් ලියා දැක්වීමට අදහස් කළෙමි. එයට හේතුව නම් ඇය උපන් ලග්න කේන්දරය නෙත් ගැටුණු සැණින් දක්ෂ කලාකාරියක් වන ග්‍රහ බල ඉතා පැහැදිලිව විද්‍යාමාන වන හෙයිනි.

උපත 1947.08.23 සඳුදා රාත්‍රී 8.10ට පමණ බස්නාහිර පළාතේ බෙන්තොට අලුත්ගම දී මීන ලග්නයෙන් රෙහෙණ නැකතේ 3වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සඳු මහ දශාව ඉදිරියට වර්ෂ 4 යි මාස 4 දින 28ක් ශේෂව තිබුණි.

ඒ අනුව ඉහත කේන්දරයේ ජන්මියාට ගායනය, රංගනය, නර්තනය වැනි කලාවන් සඳහා යොමු කරන භාවයක් වන 3 වැන්නේ විද්‍යා ස්ථානාධිපති සඳු උච්චව සස යෝගය උදාකරමින් සිටින්නේ මීන ලග්නයට ප්‍රබලතම යෝගකාරක ග්‍රහයා වන 2 - 9 අධිපති අඟහරු සමඟ යෝගවය. එම අඟහරු නවාංශක කේන්දරයේ මීන නවාංශකයේ මිත්‍ර ක්ෂේත්‍රව පතිතව ඇත. එනම් පුෂ්කර නවාංශකයකි. ඒ අනුව පුෂ්කර නවාංශකවල පතිතව ඇති ග්‍රහයන් ජන්මියාට සුවිශේෂ හැකියාවන් ලබාදෙති. ඒ අනුව නන්දා මාලිනී මහත්මියගේ කේන්දරයේ යෝග කාරක අඟහරු ග්‍රහයාට කලාව පිළිබඳව කරුණු නිවේදනය කෙරෙන භාවයක් වන 3 වැන්නෙහි පුෂ්කර නවාංශකය විද්‍යා ස්ථානාධිපති උච්ච සඳු සමඟ යෝගව සිටීම ඇයටම ආවේණික, සුවිශේෂ ගායන ශෛලියක් ලබා දීමට හේතු වූ අතර ඒ ග්‍රහ බලය ඇයට ජනපි‍්‍රය ගායිකාවක් වීමට මහෝපකාරී විය. උච්ච සඳුගේ දෘෂ්ටිය ලබමින් වෘෂභ චන්ද්‍ර ලග්නයේ 11 වැන්නාධිපති ගුරු චන්ද්‍ර ලග්නයෙන් 3 වැන්න වූ කටකයේ උච්ච බලය ලබමින් ජයසිඳු යෝගය උදා කෙරෙමින් සිටීම සංගීතය පිළිබඳ විශාරදවරියක්වීමට හේතු විය. එසේම සූර්ය ලග්නයේ අධිපති රවි ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර සිංහ රැසෙහි උපේන්ද්‍ර යෝගය උදා කරමින් සිංහ සූර්ය ලග්නයෙන් තෙවැන්නාධිපති සිකුරු සමඟ සිකුරුගේම නැකතක් වන පුවපල් නැකතේ 4වැනි පාදයේ පතිතව රවි සමඟ යෝගව සිටීම ගායිකාවක් ලෙස රට තොට මහත් ප්‍රසිද්ධියක් ලැබීමට හේතු විය.

එමෙන්ම රවිගෙන් යෙදුණු උභයචාරි යෝගය ස්වකීය ගායන හැකියාවෙන් නිසා ප්‍රසිද්ධිය මෙන්ම ධන බලය ලැබීමට හේතු වී ඇත. එසේම ලග්නයෙන් 6, 7 යන භාවවල සහජ සෞම්‍යයන් වන සිකුරු සහ බුධ යන ග්‍රහයන් යෙදීමෙන් පැන නැඟුණු අර්ධ ලග්නාධිපතියෝගය නන්දා මාලිනී මහත්මියගේ ජීවිතය සංගීත හැකියාවන් නිසා සමෘද්ධිමත් භාවයට පත්වීමට හේතු වී ඇත. තවද 7 වැන්නේ බුධ ග්‍රහයා උච්ච වීමෙන් පැන නැගුණු භද්‍රා යෝගයට සම්බන්ධ බුධ 2 වැන්න දැකීම ශබ්ද ශාස්ත්‍ර පිළිබඳව මනා දැනුමක් ඇති අයෙක් වීමටත් මෙකී බුධ සිව්වැන්නාධිපති ලෙස යට කී ලෙස 7 වැන්නේ භද්‍රා යෝගය උදා කරමින් කේන්ද්‍රය මෙන්ම රාශි දෘෂ්ඨියෙන් සිව්වැන්නත් සිව්වැන්නේ සිටින පොදු ජන කාරක සෙනසුරු දැකීම මෙරට සංගීත ලෝලීන් අතර, අමරණීය නාමයක් ඇති කිරීමට හේතු ග්‍රහ බලයක් බව අවසාන වශයෙන් සඳහන් කරමි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.