කවියෙන් ග්‍රහතරු වැණූ කවිධජ හිමියන්ගේ ඡ්‍යොතිර්වර්ණනාව

පෙබරවාරි 16, 2024

 

මලවැන්නේ කවිධජ හිමියන් විසින් ඡ්‍යොතිෂය පිළිබඳ වර්ණනා කරමින් රචිත පද්‍ය කෘතිය ඡ්‍යොතිර්වර්ණනාව ලෙස හඳුන්වා දෙමි. මේ ග්‍රන්ථය පද්‍ය කාව්‍ය ස්වරූපයෙන් රචනා වී ඇත. සිවුපද විරිතෙන් රචිත මෙහි පද්‍ය හැත්තෑවක් අන්තර්ගත වෙයි.

ඡ්‍යොතිෂය විෂයය භාරත දේශයේ සංස්කෘත භාෂාව මාධ්‍ය කොටගෙන ප්‍රභවය වී සංවර්ධනය වී ඇත. එය ලක්දිව ප්‍රචලිත වූයේ ද පුරාතන අනුරාධපුර යුගයේ ද බ්‍රාහ්මණ සම්ප්‍රදායය ඔස්සේ සංස්කෘත භාෂාවෙන් බව සිතිය හැකිය. මහා වංසාදි පාලි වංසකතා මූලාශ්‍රය මඟින් අනාවරණය වන පරිදි ප්‍රාග් මහින්ද යුගයට පූර්වයේ සිට ආර්ය සංක්‍රමණ ඔස්සේ භාරතය වේද, වේදාන්ත සහ ආයුර්වේද, ඡ්‍යොතිර්වේද ආදී අනුවේදයන් ද ලක්දිවට සැපත් වී ඇත. එම ශාස්ත්‍රයන් ලක්දිව ද බොහෝ සෙයින් ප්‍රචලිත විය. එය ලක්දිව විහාර සම්ප්‍රදායයන් තුළට ද එක් වූ බව පාලි අට්ඨකතා, ටීකා මූලාශ්‍රය අධ්‍යයනය මඟින් අප හට හඳුනාගත හැකිය. අනාදිමත් කාලයක පටන් මෙරට ජන විඥානය පෝෂණයට ඡ්‍යොතිෂය මඟින් විශාල කාර්යයක් සිදු වී ඇත. එය පුරාතන සිංහල සාහිත්‍ය ග්‍රන්ථ මඟින් මනාව පැහැදිලි වේ.

සංස්කෘත භාෂාව ආදි මාතෘ භාෂා නොදත්, ඇතැම් ලාංකේය ජනතාව වෙනුවෙන් තම එදිනෙදා කටයුතු සඳහා මෙන්ම ගොවිතැන වැනි ජීවන උපායන් සඳහා අවශ්‍ය ඡ්‍යොතිෂය දැනුම ලබා දීම සඳහා සිංහල භාෂාවෙන් ඡ්‍යොතිෂ ග්‍රන්ථ රචනා කිරීම සමාජ කාර්යභාරයක් වූ බව පෙනේ. එහිදී පාලි, සංස්කෘත භාෂා මෙන්ම ඡ්‍යොතිර්වේදය ද දත් ගිහි - පැවිදි විශාල පිරිසක් තම ශක්ති ප්‍රමාණයෙන් හෙළ බසින් ඡ්‍යොතිෂ ග්‍රන්ථ සම්පාදනය කළහ. එහිදී සිංහල වෛද්‍ය ශාස්ත්‍රය මෙන් සිංහල ඡ්‍යොතිෂ සාහිත්‍යයක් ද බිහි විය.

පද්‍ය මාධ්‍ය ඔස්සේ ඡ්‍යොතිෂය පිළිබඳ ගැඹුරු කරුණු ඉදිරිපත් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ඡ්‍යොතිෂය වැනි ගැඹුරු සහ සංකීර්ණ විෂයයක් පද්‍ය මඟින් ඉදිරිපත් කිරීම ග්‍රාහක ප්‍රජාවට ස්මෘති හා පඨන - පාඨන වශයෙන් පවත්වාගෙන යාමට එය පහසු මඟක් වන බැවින් කවියෙන් ඡ්‍යොතිෂය කරුණු ඉදිරිපත් කිරීම කාලෝචිත කාර්යයක් විය. එම කාර්යය සඳහා මලවැන්නේ කවිධජ හිමිපාණෝ උත්සුක වී ඇත.

සුසිරි වොරැඳෙ න්නේ
බමුණු කුල මලවැ න්නේ
දිනු පෙර පිණි න්නේ
නමැති “කවිධජ” මා විසි න්නේ

සිංහල ඡ්‍යොතිෂ සාහිත්‍යයේ ස්වීය ලක්ෂණයක් වන්නේ තෙරුවන් ප්‍රමුඛ කොට ගැනීම සහ බෞද්ධ කර්ම සිද්ධාන්තය ඡ්‍යොතිෂය වෙත ඈඳා ගැනීමය. භාරතයේ බ්‍රාහ්මණවාදය සහ හින්දු දේවවාදය ප්‍රමුඛ වූවද ලක්දිව පඬිවරුන් ප්‍රමුඛත්වය දී ඇත්තේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ය. ඡ්‍යොතිර් වර්ණනාව කෘතියේ ද ඒ ලක්ෂණය හඳුනාගත හැකිය. කවිධජ හිමියන් තෙරුවන් නමස්කාරයෙන් සිය පද්‍ය බන්ධය අරඹයි.

පින් සිරිනි මහ බා
පෑ තුන් පෙළ හර සු බා
මොක් මග කළ ප බා
වඳිම් දම්රජ හිස බිම ත බා

සෙත සතට දෙන යු ත
නිවන් රූ සිතිවිලි සි ත
නය විතර රැඳි ඉ ත
වඳිම් සදහම් රසිනි අග ප ත

පිරිවරා මුනි ස ඳ
සරණ තරු යුරු මන න ඳ
සිල් කැළුමෙහි වොර ඳ
වඳිම් මහ සඟ දෙන ඔවා සො ඳ

බුද්ධ, ධම්ම, සංඝ වන්දනාවෙන් අනතුරුවයි. කවියා හින්දු සමයේ පැවත එන දේව කොට්ඨාස මඟින් ලෝකවාසී සියලු සත්ත්වයන් වෙත පතල කරුණාවෙන් ආරක්ෂා සම්පත්තිය ලබා දෙන ලෙස අයැද සිටින්නේ ඒ මෙසේ ය.

සිරි සරසවි ගණි ඳු
පත්මත් තලත් හරළ ඳු
සුරගුරු කිවි තරි ඳු
රකිත් සිරි දී ලො සත නෙත බ ඳු

සුරගුරු ලෙස දක්වා ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා වන අතර කිවි සහ තරිඳු ලෙස දක්වා ඇත්තේ පිළිවෙළින් සිකුරු ග්‍රහයා සහ සඳු ග්‍රහයා බව හඳුනාගත හැකිය. දෙවියන්ගේ පටන් ග්‍රහයන්ගෙන් පවා ඉල්ලා සිටින්නේ තම නේත්‍රයන් ලෙස ලෝක සත්ත්වයන් ආරක්ෂා කරන ලෙසයි. එය බෞද්ධ සංස්කෘතියෙන් ලද පෝෂණය බව පෙනේ. කවියා යතිවරයෙකු වීමත්, ලක්දිව ජනයා සෑම සත්ත්වයෙකුගේ ජීවන පැවැත්ම අගය කරනා පිරිසක් වීමත් මෙයට හේතු වන්නට ඇත. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යන බුදු වදන තම කාව්‍ය තුළින් ද නිරූපණයට කවිධජ හිමියෝ උත්සුක වෙති. එයයි ලාංකේය භික්ෂුවගේ උදාරත්වය.

ඇතැම් අය භික්ෂුවක් ඡ්‍යොතිෂය පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීම කොතරම් භික්ෂු ප්‍රතිපදාවට එකඟ වන්නේ දැ’යි ප්‍රශ්න නැඟිය හැකිය. ලාංකේය භික්ෂුව වෙනත් බුරුම, සියම් රටවල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වඩා වෙනස් වන්නේ, තම ආධ්‍යාත්මික ගවේෂණය පමණක් පිළිබඳ ව නොසලකා තමාට සිව්පසයෙන් අනුග්‍රහ කරන, දායකකාරකාදීන් කෙරෙහි අනුකම්පාවෙන් තමා ලත් පාලි සංස්කෘත භාෂා ඥානය උපයෝගී කොටගෙන පිහිටවීමට සිතා කටයුතු කරන පිරිසක් වූ බැවිනි. මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ ද එම භික්ෂු වංසයේ වනස්පති වෘක්ෂයකි.

බව සයුර සරණය
සතහට ලැබෙන සරණය
පිවිතුරු ති සරණය
පුදා වැඳ ලැබ පවර සරණය

සංසාරය තුළ සැරිසරන සත්ත්වයන් හට තිසරණය සරණ හැර අන් සරණක් නොමැති බව කවිධජ හිමියෝ ඉහත කවියෙන් දැඩි ලෙස අවධාරණය කරති. සසර කතර එතරවීමට ශ්‍රද්ධාවත් ශ්‍රාවකයෙකුට දෙවියන්ගේ රැකවරණය ද අවශ්‍ය වන අවස්ථා පෙළ සාහිත්‍යය මඟින් ද අපට හඳුනාගත හැකිය. ආටානාටිය සූත්‍ර ධර්මය මැනවින් ඉගෙන ගෙන භාවිත කරන ලෙස තථාගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ සතරවරම් දෙවියන්ගේ ආයාචනයකට අනුවය. සීලයේ පිහිටා කටයුතු කරන ගිහියන් දෙවියන් විසින් ආරක්ෂා කරන බව එමඟින් පැහැදිලි වේ. කවිධජ හිමියෝ ඡ්‍යොතිවර්ණනාව රචනා කරන්නේ එම පසුබිමෙහි සිට බව පැහැදිලිය.

ඇඳින පින දෙන ද න
රකින ඉදු තෙද පාමි න
වර සුරගන පෙමි න
අයැද අරකට සතගෙ අදරි න

කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී,
රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී 
රත්මලානේ රතනසිරි හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.