දුවේ, නුඹ අවදියෙන් නම්...

පෙබරවාරි 16, 2024

ලෝකප්‍රසිද්ධ නාට්‍යකරුවකු වූ ශේක්ස්පියර් නිර්මාණකරුවා

‘මයි ඩියර් දොරතියා’

(My Dear Dorothiya) පොතේ දුව දොරතියාට ලියූ ලිපිය වගේ මම ඔබට ලියනවා... දුවේ,

ස්ත්‍රිය කියන්නේ ජීවිත කාලයම මානසිකව හා ශාරීරිකව බර උසුලන චරිතයක්. ඒක බොහෝ පිරිමින් දන්නෙ නැහැ. සමහර අයට ඒක දැන ගන්න ඕනෑකමකුත් නැහැ. මනුෂ්‍ය පරිණාමයේදී පිරිමියා ගැහැනියට වඩා වාසනාවන්ත බව ඕනෑම ආගමක ධර්මයක පිළිගන්නවා. අහල තිබෙනවනේ මනුෂ්‍ය ආත්මයක් ලබන්න කන කැස්බෑවා විය සිදුරෙන් අමාවක දිනයට අහස බලනව වගේ කියලා. ඒ තරම්ම අමාරුයි. හැබැයි මනුෂ්‍යයාට තිබෙන්නෙ කල්පනාකාරී ශක්තිය විතරයි. සත්තුන්ට තිබෙන ඉව අපට නැහැ. ඒක නිසාමනේ අපරාධ සොයන්න සුනඛයෝ යොදන්නේ. අනික තමයි බඩ යට තබාගෙන තිබූ බිත්තරය දින 7ක් විතර ගිය තැන කිකිළිය හොටෙන් ගහල කඩල පැටිය එළියට ගන්නේ. සෙබඩත් එහෙමයි. ඒ දින 14 කින්. ඒ වුණාට ගැහැනියකට ප්‍රසූත වේදනාව එනකල්්ම ඇයට ඒක දැනෙන්නෙ නැහැ. ඕගොල්ලො දන්නවා ඇති සමහර බළල්ලු පැටව් දමලා ඌම ඒ පැටව් කනවා. ඒ ඇයි දන්නවද? ඌ ඔක්කොම පැටව් කන්නෙ නැහැ. සමහර පැටව් උත්පත්තියෙන්ම එක එක රෝගවලින්ම උපදිනවා. ඒක මහ බැළලිට ඉවෙන් තේරෙනවා. මගේ පැටියා කවදා හරි දුක්විඳන බව. ඒ නිසා ඒ පැටවුන්ව කාලා විනාශ කරනවා. බලන්න බැළලි වුණත් සමාජයට අහිතකර පැටව් ඉතිරි කරන්නෙ නැහැ.

එහෙත් ගැහැනිය කොච්චර දුක්විඳිනව කියල ද හිතන්නෙ. ඒ ඔක්කොම සතුටට පෙරලා ගත්තට දුක තමයි. පළමු මල්වරයේදි මූලික තහංචි පැනවෙනවා. ඒ කිව්වේ ඈට අවශ්‍ය විදියට ඇඳුම් අඳින්නවත් බැහැ. පාසල් යන වියේ දි එක්තරා රටාවකට සැමදේම කළ යුතු වනවා. එතැන් පසු මාසිකව දින කීපයක් දුක්විඳිනවා. එහෙම ජීවත් වෙලා විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ඕනෑ එපාකම් සියල්ලම කරන්නට ඇයට පැවරෙනවා. ඈට ඇති විවේකය, නින්ද සීමාවනවා. දරු ප්‍රසූතියකදී අධික වේදනා රැසක් විඳ දරුවන් මෙලොවට බිහිකරනවා. සමාජයේ වැඩිපුරම කටකතා නිග්‍රහ කිරීම් ලබන්නෙ ද ගැහැනියමයි. දරුවන් බිහිකිරීමෙන් පසු ඒ අයව සමාජයට මුහුණ දීමට කෙතරම් උත්සාහයක් ගන්නවද? පියා ද එසේ නැතිව නොවේ. එහෙත් ඉවසීමේ ශක්තිය ද දරාගෙන කලට වේලාවට ආහාරයක් නොලබා ඒ ලැබූ ආහාරය ද දරුවන්ට දී කරන මේ බෝධිසත්ත්ව ගුණෝපේත වැඩ සුළුපටු නොවේ. මේ සියලුම කටයුතු ඔබට කිසියම් දවසක පැවරෙන බව අමතක කරන්න එපා. දුවේ, ඒනිසාම ඔබේ ජීවිතය යහපත් අතට සකස්කරගන්නට ඕනෑ.

ඔබට වයස 7, 8, 9 වන විට ඔබේ මවට සාපේක්ෂව ඔබේ මල්වරය වේවි. මේ දිනවලට ඔබ රාත්‍රියට නින්දට යාමට පෙර අතපය පිරිසුදු කරගන්ට ඕනෑ. (නමුත් සබන් ආලේප කරන්න හොඳ නැහැ) ඕනෑවට වඩා ශරීරය සීතල කරන්නත් එපා. ඔබ මේ කාලය තුළ පිරිසුදු ශාරීරික වස්ත්‍ර පැලැඳිය යුතු වනවා. අලුයම අවදිවන්න උත්සාහ කරන්න. රාත්‍රියෙදී නින්දට යාමට පෙර ඔබ අයත් කුමන ආගමක වුණත් ඒ කටයුතු සැකෙවින් හෝ කරන්න.

එවිට ඔබට සුව නින්දක් ලැබෙන බව ඡ්‍යොතිෂයේ ද සඳහන් වනවා. මේ දිනවල කිසියම් හෝ ශාරීරික වෙනස්වීමක් සිදුවුවහොත් එය වහාම ආදරණීය අම්මට දන්වන්න අමතක කරන්ට එපා. කෙසේද යත් ඔබ අතරමඟදී හෝ පාසලේදී හෝ සෙනඟ ගැවසෙන ස්ථානයකදී මල්වරය සිදුවුවහොත් ඔබේ අනාගතය අඳුරුවීමට බොහෝසෙයින් ඉඩ තිබෙන බව ඡ්‍යොතිෂයේ මතයයි. මේ ඔබේ ජීවිතයේ පළමු සන්ධිස්ථානයයි.

මේ දිනවල මල්වර වූ සැණින් තනි නොවන්න, ඇල්වතුර ස්පර්ශය නොකරන්න. වගබලා ගත යුතු වනවා. එහෙම නොවුණොත් ඔබට තනිකන් දෝෂය ඒ කිව්වේ කලුකුමාර දිෂ්ටිය ඔබව වශීකර ගනීවි. එහෙම වුණාම ඔබේ විවාහයෙන් පසුව දරුවෝ ලැබීම ප්‍රමාද කරනවා. සමහර විට ජීවිතය පුරාම එය නතර කරන්නටත් බැරි නැහැ. පාසල් කටයුතු පමණක්ම කරගෙන ජීවිතය සරු කර ගන්න.

ඔබ මල්වර වූ පසුව ඔබේ මල්වර උත්සවය පී‍්‍රති උත්සවයක් අයුරින් නොගන්න වගබලා ගන්න. කරුණු නිවැරැදිව වටහා නොගත් සමහර මව්පියෝ මේ කරුණ උත්සවයක් ලෙසින් ගන්නවා. එතකොට ඔබේ විවාහ උත්සවය උත්සවයක් ලෙසින් ගන්න බැරිවෙනවා. මේ අවස්ථාව චාරිත්‍රානුකූලව පිළිපැදිය යුතු අවස්ථාවක් විතරක් බව හිතට ගන්න. ඒ චාම් උත්සව කටයුතු පවුලේ අයට පමණක් සීමා කරන්න.

එතැන් සිට ඔබ විවාහ වන තෙක් පිරිසුදු වූ කල්පනාකාරී වූ ජීවිතයක් ගත කළ යුතුම බව හිතට ගන්න. එනම් විවාහ දිනයේදී උතුම් වූ මඟුල් පෝරුව හිමි වන්නේ ඔබ, එසේ සිටියහොත් පමණයි. සමහර අයට ඒ අවස්ථාව හිමිවන්නෙ නැහැ. මඟුල්පෝරුව නියම කන්‍යාවියකට අයිති වැදගත්ම එකක්. ජීවිතයටම එක වතාවයි. මේ අවස්ථාව ගිලිහි ගියොත් නැවත ලබාගන්නටවත් ඉන් පල ප්‍රයෝජන ලබන්නවත් බැහැ. ඔබේ සහකරුවා සොයා ගැනීමේ දී ඔහුගේ කේන්දරයේ ඇති “නැකත” ඔබේ කේන්දරයේ නැකතට සීහුම් කළ විට සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී පරම මෛත්‍රී නැකතකට වැටෙනවා නම් හොඳයි. ප්‍රත්‍යාරි නැකතට වැටෙනවා නම් සතුටුදායක නැහැ. විපත් හා වධ නැකතට සීහුම් වෙනවා නම් සුදුසු නැති අතර, එනම් නැකැත් පොරොන්දම නොගැළපෙන බව හිතට ගන්න. අනික තමයි ඔබේ කේන්දරයේ තිබෙන නැකත සහකරුවගේ කේන්දරයේ නැකත හා මහ දසාව එකම නම් ඒකත් නරකයි. එසේ වුවහොත් විවාහයෙන් පසු යම් දිනක “කඩ හන්දි මාරකය” ඔබ යුවළට අත්වෙනවා. විවාහය කියන්නෙ ජීවිතයේ “දෙවැනි සන්ධිස්ථානයයි.” ඉදිරියෙදී යහපත් දරුවන් ලැබීමට යහපත් දිවි පෙවෙතක් ගත කිරීම සිදුවන බැවින් දරු සම්පතක් ලැබීම ජීවිතයේ තුන්වැනි සන්ධිස්ථානයයි. ස්ත්‍රියකගේ සන්ධිස්ථාන ත්‍රිත්වය කිව්වේ ඔන්න ඔය ස්ථාන තුනටයි.

මේ දිනවලට ඔබේ අම්මා, පුංචි අම්මා හෝ නැන්දා සමඟ පොරොන්දම් බලන මාමා ළඟට යනවා ඔබට සුදුසු යැයි කියන කේන්දරයක් අරගෙන. මේ කේන්දර දෙක එකින් එක ගළපන කොට යම් කේන්දරයක නරක ග්‍රහ පිහිටීමක් තිබුණොත් ඒ පලියටම කේන්දරය අහක දමන්න එපා. ඕනෑම නරක ග්‍රහ පිහිටීමක් වුවත් ඒ ග්‍රහයාව දීප්තිමත් චන්ද්‍රයාට හෝ දීප්තිමත් බ්‍රහස්පතිට පෙනෙනව නම් ඒ දෝසය අහෝසි වනවා. ඒක දෝස භංගයක් කියලයි ගැඹුරු ඡ්‍යොතිෂයේ සඳහන් වන්නේ. ඒක නොදන්න බොහෝ ඡ්‍යොතිෂය කරන ප්‍රසිද්ධ අය නිසා විවාහ යෝජනා කැඩෙනවා අපරාදේ. අනික තමයි කේන්දරයක 7 වැන්නෙ සුබ චන්ද්‍රයාගේ ගෝචරය හෝ චන්ද්‍රයා ඉන්නව නම් විවාහක සතුට තිබෙනවා. ඒ බව මේ ශ්ලෝකය කියෙව්වාම වැටහේවි.

“චිත්‍රං විභූති වර වාහන යාන කාන්ති - ශේම පුනාය බලවීරිය සුඛාන තස්ස - විශ්වාන්තනාය සයනාසන භෝජනානි - චන්ද්‍රෝ සදාම් සුජිනි කාංචනා භූමිලාහම්”

අනික දුවේ ඕනෑම කේන්දරයක සඳු, සිකුරු දෙදෙනාත්, බ්‍රහස්පති, අඟහරු දෙදෙනාත් බලවත් නම් ඒක ඉතා බලවත් ග්‍රහ පිහිටීමක්. ඕනෑම කේන්දරයක 5 වැන්න විස්තර කරන්නේ දරුවන් ගැන බව දන්නවනේ. පස්වැනි රාශියේ අධිපතියා ඒ කිව්වේ පස්වැන්නාධිපති පාපියෙක් සමඟ ඉන්නවා නම් දරුවන්ට අපලයි හෝ දරුවො නැහැ.

විවාහය සම්බන්ධව ගොඩක් දේ තිබුණට ඒ සේරම මේකේ ලියන්න බැහැ. ඔයාට අවබෝධ කරගන්ට හැකි දේවල් විතරක් ලියන්නම්. මම මීට කලින් සටහන් ලිව්වා. “ප්‍රභාශ්වරිගේ කඳුළු කතාව“ හා සරාගි යෝග සම්බන්ධව. ඒවා ලැබුණොත් කියවන්න.

පුංචි දුවේ, ඔබේ කුලය බබළවන්නෙ හෝ විනාශ කරන්න හැකිවන්නෙ ඔබට. යම් ඉදිරි දිනක දරුවන් ලබාල අම්මා කෙනෙක් වන බව අමතක කරන්න එපා. බුදුන්වහන්සේ කියන්නෙ ලෝකයේ විශිෂ්ට ශාස්තෘවරයෙක්. හොඳ අම්මා කෙනෙක් කියන්නෙ ගෙදර බුදුන් ලෙස හඳුන්වන විශිෂ්ට කෙනෙක්. කෙනකුගේ සියලු විස්තර මේ කේන්දරයේ සඳහන් වී තිබෙනවා. ප්‍රශ්නය කියන්නෙ හරිහැටි ගුණාගුණ කියන්න බැරි එක.

තවද කේන්දරයක බැලිය යුතු විශේෂ රාශි තමයි 9, 10, 11. මේ රාශිවල සුරාවට ගිජු රාහු - ශනි උච්ච වුණොත් මිනිහා මත්පැන් බොනව නොවෙයි, නානවා. අනික දුවේ සරාගි යෝග නම් බලන්නටම ඕනෑ. නොවුණොත් ඔබ විවාහ වෙලා දරුවන් ලබපු දවසක ඔබේ සැමියා ඔබ වැනි තවත් කෙනෙක් තියා ගනිවි. ඒ ඔබට අමතරව. ඒවා කඩාගන්න වන්නෙ ගුරුකම් කරලම තමයි. ගුරුකම් කරල කඩන්න බැරි නැහැ තමයි. ඒ වුණාට ඇයි අපි කලින් දැනගෙන කරදර ඇති කර ගන්නේ. හොඳට ඉගෙන ගෙන හොඳ විවාහයක් කරගෙන එංගලන්තයේ හිටපු දෙවැනි එළිසබෙත් රැජින වගේ ඉන්න. ඒක තමයි රටේම දූලා වෙනුවෙන් සුබසෙත පැතුම.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.