අමනුෂ්‍ය බලවේග දුරු කරන රෑ කුමාරි මලේ බලේ

පෙබරවාරි 23, 2024

 

රෑ කුමාරි මල්වැනි අධික සුවඳවත් මල් පැළ රෝපණය කිරීමෙන් නිවාස, වතුපිටි, ඉඩකඩම් සහ දිය පහරවල් ආදි බොහෝ ස්ථානවල සැරිසරන පහත් ආත්ම පළවා හැරිය හැකි බව නූතන බටහිර විද්‍යාත්මක මෙවලම් භාවිතයෙන් තහවුරු කර තිබේ. මෙයට හේතු වන්නේ එවන් පහත් ආත්ම ඒ මල්වල පවතින දැඩි සුවඳට විකර්ෂණය වීම බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඕනෑම ද්‍රව්‍යයකට අයත් වන තරංගමය ස්වභාවයක් ඇති බව මූලික භෞතික විද්‍යාවේ ඉගැන්වීම බවත්, ඒ අනුව මනුෂ්‍යයාට තිරිසන් සතුන්ට මෙන්ම මිනිස් ඇසට නොපෙනෙන ජීවීන්ට සහ පැළෑටිවලට ද ඒවායෙන් නිකුත් වන විවිධ භෞතික- රසායනික දේවලට ද තරංග ස්වභාවයක් ඇති බවත්, එලෙසින්ම භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදි පහත් ආත්මවලටද ඇත්තේ කිසියම් කුඩා ආයාමයක් සහිත එවැනි තරංගමය ක්‍රියාවලියක් බවත් මේ විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කර තිබේ. ඒ අනුව අධික සුවඳක් සහිත රෑ කුමාරි පුෂ්පවලට අමතරව යම් පලදායීතාවක් ගෙන දීමට රුක්අත්තන, ගැටපිච්ච, සමන්පිච්ච ආදි බොහෝ සුවඳවත් මල් සහිත ශාකවලට හැකි බව දීර්ඝකාලීන අත්දැකීම බව ඔවුහු පවසති.

සාම්ප්‍රදායිකව යොදා ගන්නා බොහෝ ශිල්ප ක්‍රමවල ඇති වියදම් අධිකබව සහ සංකීර්ණ අපහසු ක්‍රමවේදවලට වඩා පහසුවෙන් සහ වියදම් රහිතව මෙවැනි ක්‍රම භාවිතය මඟින් පහත් ආත්මවල බලපෑම ඉවත් කිරීමට හැකි අතර මෙවැනි ක්‍රම ප්‍රචලිත කිරීම පොදුවේ රට මුහුණ දී ඇති ආර්ථික හා සමාජීය ගැටලුවලට ද විසඳුමක් ලෙස ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම ගතානුගතික ශාන්තිකර්මවලදී මෙවැනි පහත් ආත්ම බැඳ දැමීමක් සිදු කෙරෙන අතර එහි සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් අන්‍ය ජීවියකුට චේතනාන්විතව හිරිහැරයක් කිරීමට යෑමෙන් මනෝ කර්මයක් නිසැකවම සිදුවන බවත් මෙවැනි සුගන්ධවත් පැළෑටි රෝපණයෙන් එම ආත්ම දුරස්ථ කරලීමේ උපායමාර්ගවලින් එවැනි පාපී චේතනා ඇති නොවන බැවින් එය වඩාත් උචිත ක්‍රමවේදයක් බවත් ඔවුන්ගේ මතයයි.

මෙහිදී තවත් අවධාරණය කළයුතු කරුණක් ලෙස ගැනෙන්නේ මෙවැනි සුගන්ධවත් මල්වලට පහත් ආත්ම විකර්ෂණය වනවා සේම ඉහළ තලවලට අයත් මනුෂ්‍යයන්ට හිතකර ආත්ම සහ ජීවීන් ආකර්ෂණය වීම බවද මේ පර්යේෂණවලින් වැඩිදුරටත් තහවුරු වීමයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.