බුධගේ රාශියක සෙනසුරු සිටීමෙන් පත්තර මහගෙදර තැනූ බලවතා

පෙබරවාරි 23, 2024

 

රට දැය සමය වෙනුවෙන් පුබුදු කළ විරුවන් අතර ඩී.ආර්. විජයවර්ධන යන නාමය රන් අකුරින් ඉතිහාසගත වූ චරිතයකි. ශ්‍රී ලංකාවේ පුවත් පත් ඉතිහාසය ගැන කතා කරන විට මෙතුමාට හිමි වන්නේ අතිශයින්ම ඉහළ ස්ථානයකි. ඒ නිසා පත්තර මහ ගෙදර දේශප්‍රේමියා ලෙස නම් කළාට වරදක් නැත. මුල් කාලයේ පත්තර තිබුණත් සියල්ල අභිබවා යෝධ ශක්තියකින් මෙහෙයවා පුවත් පත් කිහිපයක් ආරම්භ කොට, මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තැනට යන්නට ධෛර්යයක් එතුමා ළඟ තිබුණි.

1948 නිදහස ලබන්නට පෙර සිට නිදහස් සටන වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාතිහිතෛෂී හැඟීම් ඉස්මතු කරමින් නිදහස් සටනට හා ස්වෛරී භාවය රට තුළට ගෙන යාම එතුමාගේ ප්‍රධාන පරමාර්ථය විය. එතුමා නිදහස් සටනේ වගකීම කරපිට පටවාගෙන කටයුතු කිරීමට වග බලා ගත්තේ ය. ඒ සඳහා ගිනි අවියක් නොව මුද්‍රිත මාධ්‍යය අවියක් කර ගත්තේය.

එම අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා ප්‍රථමයෙන් 1914 දී “දිනමිණ” පුවත් පත මිලයට ගෙන ජනතා අපේක්ෂාවන් මල්පල ගැන්වීමට සමත් විය. 1918 දී “සිලනීස්” ඉංගී‍්‍රසි පුවත්පත මිලයට ගෙන “ඩේලි නිවුස්” පුවත් පත ආරම්භ කළේ උගත් ඉංගී‍්‍රසි පුද්ගලයන් වෙනුවෙන් ජාත්‍යානුරාගී අදහස් පල ගැන්වීමටය. 1923 දී “සිලෝන් ඔබ්සර්වර්” පත්‍රය පටන් ගත් පසු රටේ ජනතාවට චින්තන විප්ලවයකට මඟ පෑදුනි. 1926 දී තම පුවත් පත් පාලනය එක් තැනකට ගෙන එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම අයිතිය තමන් වෙත පවරා ගෙන බේරේ ගෙදර හෙවත් ලේක්හවුස් ආයතනය ආරම්භ කළේය. නිදහස ලබන්නට පෙර උගතුන්ගෙන් පිරුණු සදාචාර සමාජයක් සඳහා ආධුනික ලේඛකයන්ට නව මං විවර කරමින් 1930 දී “සිළුමිණ” පුවත් පත මෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් 1937 දී ‘තිනකරන්’ පුවත් පතද පටන් ගත්තේ ය. ඩී.ආර්. විජයවර්ධන මැතිතුමාගේ උත්සාහය හා කැපවීම නිසා ලේක්හවුස් ආයතනය පුවත්පත්වල මහ ගෙදර බවට පත්විය.

1886 පෙබරවාරි 23 දින උදේ 10.30ට කොළඹ දී උපන් මෙතුමාගේ ලග්නය මේෂ විය. සම්පූර්ණ ජන්ම පත්‍රය මේ සමඟ ඇත. විශ්ව කේන්ද්‍රය අනුව තුන්වැන්න මිථුන රාශියට අයත් වේ. බුධ ග්‍රහයා මිථුන රාශියේ අධිපතියා වේ. මාධ්‍ය හා ප්‍රකාශනය මෙන්ම පුවත්පත් සඳහා නියෝජනය වන්නේ බුධ ග්‍රහයාය. මේෂ ලග්නයෙන් උපන් මෙතුමාගේ කේන්දරයේ කර්මස්ථානයට අයත් භාවයේ අධිපති සෙනසුරු ග්‍රහයා 3 වැන්නේ මිථුන රාශියේ සිටියි. බුධගේ රාශියක සෙනසුරු සිටීම මාධ්‍ය අංශයට හිත යොමු වන ග්‍රහ පිහිටීමකි.

නවාංශක සටහනේ ද ග්‍රහ පිහිටීම විමසා බලමු. ලග්නයේ කර්මස්ථාන අධිපති සෙනසුරු ග්‍රහයා නවාංශකයේ ද තුන් වැන්නේ සිටියි. නවාංශකයේ 3 වැන්න ගුරු ග්‍රහයාට හිමි ධනු රාශියට අයත් ය. ලග්නාධිපති කුජ ග්‍රහයා සෙනසුරු ග්‍රහයා සමඟ නවාංශක හඳහනේ 3 වැන්නේ සිටීම ද විශේෂයකි. සෙනසුරු ග්‍රහයා ලග්න රාශියේ බුධගේ රාශිය 3 වැන්නේ සිටීමෙන් ප්‍රකාශන මාධ්‍යවලට මුල් තැන ගනියි. සෙනසුරු ග්‍රහයා නවාංශක රාශියේ ගුරුට අයත් ධනු රාශියේ 3 වැන්නේ සිටීමෙන් එම පුවත්පත්වලට තිබෙන උසස් ගරුත්වය වැඩිදියුණු කර දෙයි. උසස් වූ ප්‍රකාශන නිකුත් කිරීමේ ශක්තිය හා ධෛර්යය මේ ග්‍රහ පිහිටීම් මඟින් ස්ථිර කෙරේ.

මේ හඳහනේ 11 වැන්නේ රවි, බුධ හා සිකුරු ත්‍රිග්‍රහ යෝගය සම්පත් යෝගයක් ලෙස සැලැකේ. 5 වැන්නේ ත්‍රිකෝණ අධිපති රවි ග්‍රහයාත්, 7 වැන්නේ කේන්ද්‍රස්ථානයේ සිකුරු ග්‍රහයාත් සමඟ එකට යෝග වීම හා එයට අමතරව බුධ ග්‍රහයාගේ බලය නිසාත් පුවත්පත් කලාවේ ශිල්පීය ඥානය මෙන්ම එහි නිර්මාතෘවරයෙකු වීමේ යෝධ ශක්තියක් මෙම ග්‍රහ පිහිටීම්වලින් පෙන්නුම් කරයි. රවි ග්‍රහයා 11 වැන්නේ සිටින විට කෝටියක් දෝෂ භංග වීමේ වාසනා ගුණයක් ද ඇත. මෙතුමාගේ ජන්ම පත්‍රයේ මහා ත්‍රිකෝණ යෝගය ද දක්නට තිබේ.

3, 7, 11 යන මහා ත්‍රිකෝණයේ 3 වැන්නේ සෙනසුරු ග්‍රහයා ද, 7 වැන්නේ සඳු ග්‍රහයා ද, 11 වැන්නේ රවි, බුධ හා සිකුරු ග්‍රහයින් ද සිටියි. වග කිවයුතු ග්‍රහයින්ගේ බලය නිසා තමන්ගේ සහජ දක්ෂතා ඉහළ තත්ත්වයට යොමු කොට ක්‍රියාත්මක කර දීම පුදුමයක් නොවේ.

මෙතුමාට පුවත්පත් ක්ෂේත්‍රයේ ඉහළම නාමය ලබා දීමට 11 වැන්නේ කේතු ග්‍රහයා ද උපකාර වී ඇත. මේ පිහිටීම ද බලවත් යෝගයක් ලෙස සැලැකේ. තව ද අයස්ථානයේ රවි, බුධ යෝගයද යම් කිසි විෂයකින් ඉහළම තැනකට පත් කිරීමේ මාර්ගය සලසයි. රවි, බුධ, සිකුරු හා කේතු යන ග්‍රහයින් එක් වීමෙන් ධනය ලැබීම් වාසනාවත්, සමාජයේ කැපී පෙනෙන ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීමටත් මේ ග්‍රහ බලය උදව් කර ඇත.

විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ චරිතය තුළ තිබූ උත්තුංග ගුණ සමුදාය එතුමාගේ සේවාවලින් මනාවට පිළිබිඹු වෙයි. දුරදක්නා නුවණ එතුමාගේ ජීවිතයේ සෑම යුගයකම කැපී පෙනෙන ලක්ෂණයකි. ජාති හිතෛෂී බව, එඩිතර බව, පරාර්ථකාමීත්වය, උත්සහය හා කැපවීම, මානව හිතවාදී බව අගනා ගුණාංග එතුමාගේ චරිතය තුළ බබළන අතර එය එතුමාගේ හඳහනේ තිබෙන ග්‍රහ බලයෙන් පෙන්නුම් කරයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.