ළඟදී විවාහ වන පුතුන්ට

මාර්තු 8, 2024

පසුගිය සතියක “දුවේ නුඹ අවදියෙන් නම්” ඡ්‍යොතිෂ මාමාගෙන් ලිපියක් කියලා සටහනක් ලිව්වා. ඒකට මට ගොඩක් ප්‍රතිචාර ලැබුණේ පුතාලාගෙන්. වැඩිදෙනෙක් මට දෝෂාරෝපණය කරල තමයි දුරකතනයෙන් කතා කළේ. “ඇයි අපි පිරිමි විවාහ වන්නෙ නැද්ද” කියලා අහපු අයත් නැතිව නොවේ. ඒක නිසාම අද සටහන ඔය පුතාලා වෙනුවෙන්ම ලියනවා.

පිරිමියා කියන්නෙ මහමෙරක් බර වගකීමක් උසුලන චරිතයක්. පිරිමියා ගැහැනිය වගේ රූපශ්‍රීයෙන් ලස්සන නැති වුවත් හදවතින් ලස්සනයි. මනුෂ්‍යයා නැති වුණාට පිරිමි සත්තු ගැහැනු සත්තුන්ට වඩා ලස්සනයි. බලන්න කුකුළා, මොනරා පිරිමියා පූර්ණ සංවේදී කෙනෙක්. පවුලේ හැම බරක්ම කරට අරගෙන ඉදිරියට යනවා. ලෝකයේ පිරිමියා හැරෙන්න සෑම පිරිමි සතෙක්ම තම වර්ගයා බෝකරන්නේ එක්තරා කාලයකට එනම් විවෘත කාලයට. ඕනෑම පවුලක දියුණුව තිබෙන්නෙ පිරිමියා අත. ගැහැනියට වඩා පිරිමියා වාසනනාවන්තයි.

රටක් වටිනා දරුවන් හදලා රටක් දියුණු කරවන්නෙ පිරිමියා. ගැහැනිය දරුවන් වදනවා කිව්වට දරුවන් හදන්නෙ ඔබ. එහෙනම් ඔබ පූර්ණ ශක්තිසම්පන්නව ඉන්න ඕනෑ. ඕනවට වඩා රහමෙර පාවිච්චි කරල තරුණකම විනාශ කර ගන්ට එපා. පවුලේ ආරක්ෂාව ඔබ. ඕගොල්ලො දැකල තිබෙනව ද පවුලේ දූවරුන් විවාහ වන දිනයේදි ස්වකීය අතගත් මනාලයා ඔහුගේ සහකාරියව කැන්දාගෙන යන කොට අම්මලා කොච්චර හයියෙන් අඬනව ද? ඒ කඳුළු දැකල තිබෙනවා නේද? තාත්තා අඬන්නේ කඳුළු එන්න නොවේ. තාත්තා අඬන්නෙ හදවතින්. සමහර මඟුල් ගෙවල්වල අර අන්තිම මොහොතේ තාත්තට දුව යන එක දරාගන්න බැරිව කිසියම් පාළු තැනකට ගොස් අඬනවා. ඒ වාවගන්න බැරිම තැන. මෙච්චර වෙලා සතුටින් හිටපු තාත්තා එක් වරම මානසිකව කඩා වැටෙනව දුව නැති පාළුව ගැන මෙනෙහි වෙලා. ඒ තාත්තගේ හැටි. ඕනෑම පවුලක ආරක්ෂාව පවතින්නෙ තාත්තා මතයි.

දරුවන්ට තුන්වේල කන්න, ඉගෙන ගන්න මුදල් හොයන්නෙ තාත්තා. හදිසියෙන් හෝ තාත්තගේ රස්සාව නැවතුණොත්, ගමේ ඔහුට ඔබින රක්ෂා නැති වුවහොත් එයා කාටවත් නොකියා පිට ගමකට ගිහිල්ලා කුලීවැඩ හරි කරල මුදල් උපයලා දරුවන්ගෙ, බිරියගේ බඩවල් පුරවනවා. ඒ වෙලාවට තමුන්ගේ තත්ත්වය අමතක කරනවා දරුවො බිරිය නිසා. එහෙම දෙයක් කරන්න නම් හොඳ යහපත් භාර්යාවක් ලැබෙන්ට ඕනෑ. එහෙම නොවුණොත් මේවා කරන්ට බැරිවෙනවා. ලෝකයේ භාර්යාවන් 7දෙනයි කියලා ඡ්‍යොතිෂයේ සඳහන් වනවා. අපි ඒ භාර්යාවන්ට සප්ත භාර්යාවෝ කියලා කියනවා. බෞද්ධ පොත්වලත් සඳහන් වනවා. ඒ අංගුත්තර නිකායේ මේ ගැන 10 වැනි සූත්‍රය. එනම් සත්ත භරියා සුත්ත කියලා. විස්තර තිබෙන්නෙ මෛත්‍රිපාද හාමුදුරුවො ලියපු පූජාවලියේ. බුදුහාමුදුරුවො නම් දේශනා කළේ ජේතවනාරාමයේ දී සුජාතාවන්ට. මාතෘභාර්යා, භගිනි භාර්යා, සඛී භාර්යා, ස්වාමි භාර්යා, දාසි භාර්යා, වධක භාර්යා, චෝර භාර්යා කියල හත් දෙනෙක් වර්ග කළා. සමාජයේ එඩිතර පුතෙක් වෙලා තම වර්ගයා බෝ කරන්න, කුලය බබළවන්නට ප්‍රථම මේ කිව් භාර්යාවන්ගෙන් යහපත් කෙනෙක් සොයාගන්ට ඔබ දක්ෂවන්ට ඕනෑ. ඔබ කොච්චර හොඳින් වැඩ කළත් මහන්සි වුණත් ඔබට ඔබේ කිසියම් හෝ පාපකර්මයකින් වත් ‘වධක භාර්යාවක්” හෝ “චෝර භාර්යාවක් ලැබුණොත් ඔබ ඉවරටම ඉවරයි. ඇයව හොයල දුන්නෙ අම්මා හෝ තාත්තා කියල ඔබට ගැළවෙන්න බැහැ. ඒ වගකීම ඔබම ගන්ට ඕනෑ. මොකද ඉදිරිය අරගෙන යන්නෙ ඔබ. හොඳ, නරක හිමි වන්නෙ ඔබට හා ඔබේ දරුවන්ට. ඔබ දැන් මගෙන් අසාවි එවැනි කෙනෙක් තෝරාගන්නෙ කොහොමද කියලා. මොකද නාගයා ලස්සන වුණාට උගේ සර්ප දලේ විසයි කිව්වා වගේ ගැහැනිය හිනාවෙන් සොයාගන්ට අමාරුයි. ඔබ දක්ෂ නම් බැරිමත් නැහැ.

ගැහැනියකගේ දත් පිහිටීම හිනාවෙනකොට තොල් ඇඹරීම, කැටයම් කතාව ගැන එහෙම දැනුමක් ඇත්නම් ඇයව හොයාගන්න පුළුවන්. බැරි නම් මොනව කරන්න ද. මේවා ඔක්කොම ලක්ෂණ ඇගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම මත පිහිටා තිබෙනවා. නිවැරදි ගැහැනියක් තෝරාගැනීමේ එකම ආයුධය ඇයගේ උපන් කේන්දරයයි. යෝජිත හෝ නැති විවාහවලට පොරොන්දම් පරීක්ෂාවට මේවා අහුවෙනවා. 1963 වර්ෂයේ ලියා ප්‍රසිද්ධ කළ “ජාතක රත්නාකරය” පොතේ මෙහෙම ලියල තිබෙනවා ඔබට අවබෝධ වන ආකාරයට.

සත්වැන්නේ කුජ හෝ සෙනසුරු වේද

සත හිමියා ඉන් එකෙකුගේ රැසේ වේද

කත ඔහුගේ ගනී සොර සැමියන් වද්ද

නැතහොත් වෙසඟනක් වෙයි ලොවපර සිද්ද

මේ වදක භාර්යාවකගේ ගතිගුණයි.එහෙනම් අපි හොයාගන්ට ඕන, කොයි විදියෙ කෙනෙක් ද කියලා බලමු. ඒකත් තේරෙන විදියට ලියන්නම්කෝ.

තනුපති බලව සුබයෙකු සමඟ සතෙහි ද

සත හිමියා සිය තුඟු රාසියෙ වේ ද

වෙනුකත මෙන් රුසිරු යසගුණයෙන් පබ ඳ

මන පිනවන කතක් ඒ හට ඇත බොළඳ

මේ සියලු විස්තර ගැහැනු කෙනකුගේ කේන්දරයේ සටහන් වෙලා තිබෙන බව ඔබටම තේරුම් ගන්ට පුළුවන්. මේ සටහනේ තිබෙන විස්තර අනුව ඔබ භාර්යාවක් තෝරා ගත්තොත් ඔබ ජීවිතයම ගොඩ.

ස්ත්‍රිය ගැන කියු සන්ධිස්ථාන තුන පිරිමින්ටත් නැතුව නොවේ. ඒක පිරිමියාට එච්චර බලපාන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඔබේ උගුරු දණ්ඩේ කිසියම් විපර්යාසයකින් කටහඬ වෙනස් වන්නෙ පළමු සන්ධිස්ථානයේදී. ඔබ ඒවා ගැන එච්චර කල්පනා කරන්ට ඕනෑ නැහැ. ඒවා පිරිමින්ට කරදරයකුත් නැහැ. ඒකයි පිරිමියා වාසනාවන්තයි කිව්වේ. ස්ත්‍රීන් අහිංසකයි. ටිකක් කට පරිස්සම් කරගන්ට බැහැ තමයි. පිරිමියා ගැහැනියව ආරක්ෂා කළ යුතුම වනවා. පවුලක අම්මා චන්ද්‍රයා වන අතර තාත්තා රවි නැත්නම් සූර්යයා වන බව ඡ්‍යොතිෂයේ මුල් අවස්ථාවලම සඳහන් වනවා.

කලින් සඳහන් කළා වගේම පිරිමි කේන්දරවල 9 - 10 - 11 වැනි රාශි ඉතා පිරිසුදුව තිබෙන්න ඕනෑ. යම් හෙයකින් ඒ රාශි තුළ නරක ග්‍රහයන් පිහිටියොත් ඒ පිහිටීම් තාවකාලිකව අමතක කරල හොඳ ජීවිතයක් ගත කරන්න කුසලතා තියන ඒවා වැඩිදියුණු කරන්නට අවබෝධය අත්‍යවශ්‍යයි. ඒ වගේ ගැහැනු කේන්දරයක විවාහය ගැන පූර්ණ විස්තරය සටහන් වන්නේ “කාම ත්‍රිකෝණය” හි බව අමතක කරන්න එපා.

පිරිමින්ට හැදෙන්න ඕන තරම් කරුණු ඡ්‍යොතිෂයේ සඳහන් වනවා. මේ දෙපාර්ශ්වයටම කිසියම් අකටයුත්තක් සිදු වුණොත් ඒවා වළක්වා ගන්ට, මැඬ පවත්වා ගන්ට ගුප්ත ශාස්ත්‍රයේ වැඩ නැතුව නොවේ. අවශ්‍ය වුණොත් කරන්නත් නොහැකි නැහැ. එහෙත් නිවැරැදි පාර තිබියදී ඇයි අනවශ්‍ය කරදර ඇති කරගන්නෙ නේද? කේන්දරය පරීක්ෂා කරගෙන අනවශ්‍ය කරදරවලින් මිදී යහපත් ජිවිතයක් ගත කරන්න.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.