ඔබ උපන්නේ මාර්තු මාසයේ අවසන් සතියේ ද?

මාර්තු 22, 2024

 

අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා පෙබරවාරි මාසයේ 26 සිට මාර්තු මාසයේ 21 වනතෙක් මීන රාශියේ ගමන් කරන අතර, එම කාලය තුළ ගුරු ග්‍රහයාගේ පූර්ණ බලය ක්‍රියාත්මක වන අතර, 21 සිට 27 දක්වා කෙමෙන් මීන රාශියේ බලය අඩුවන අතර, 24 දින සිට 27 දක්වා ක්‍රමයෙන් මේෂ රාශියේ බලය ක්‍රමයෙන් වැඩිවෙමින් යන අතර, මාර්තු 28න් පසුව මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ පුර්ණ බලය ක්‍රියාත්මක වේ.

කරුණු එසේ වුවත් පොදුවේ මාර්තු මාසයේ උපන් ඔබගේ ජීවන තොරතුරු ගැන තවදුරටත් සලකා බලමු. මාර්තු මාසයේ උපන් ඔබට විදේශ වෙළඳාම ප්‍රවාහනය වැනි ව්‍යාපාරික අංශ ආර්ථිකමය දියුණුව සඳහා සුදුසුය. එසේම ඔබට උපතේ ඇතිවන ග්‍රහ බලපෑම මත ස්වභාවිකවම යම් යම් දේ වටහා ගැනීමේ අන්තර් ඥානය පවතින හෙයින් සහ ගුප්ත විද්‍යාව ඔබ ප්‍රියකරන බැවින් ද එම අංශයන්වල කටයුතු ආර්ථිකමය දියුණුව සඳහා උපයෝගි වේ. දැනුම පහසුවෙන් ලබාගත හැකි වීම මේ සඳහා උපයෝගි කර ගත හැකිවේ. තවද ඔබ නොපෙනන දේ ගවේශණය කිරීමට කැමත්තක්

දක්වන අතරම ඔබ ප්‍රායෝගික මෙන්ම දාර්ශණිකව ක්‍රියාත්මක වේ. එසේම ඔබ ත්‍යාගශීලි වේ. නමුත් ඔබ තුළ දුප්පත් වේයැයි බියක් ද පවති. මෙම මාසයේ උපන් ඔබට සෞඛ්‍යමය වශයෙන් මානසික ගැටලුවලට බහුලව මුහුණ දෙන පුද්ගලයන් වේ.මෙ තත්ත්වය නිසා ඔබගේ කායික සෞඛ්‍ය තත්ත්වයද බිඳ වැටේ. ප්‍රශ්ණ ගැටලු හමුවේ වුවමනාවට වඩා සිතීම නිසා ඇතිවන්නාවු මානසික අවපීඩනය නිසාවෙන් කායිකව ආහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්ත්වයන් මුලින්ම ඇතිවේ. තවදුරටත් ස්නායු පද්ධතියට සිදුවන බලපෑම හේතු කරගෙන අංශභාගය ඇති විය හැකිය. එමෙන්ම පෙනහළු දුර්වලතා, දියවැඩියාව, බඩවැල් ආශ්‍රිත ගෙඩි ආදිය මාර්තු වේ පුද්ගලයන්ට බහුලව මුහුණ දීමට සිදුවන රෝගයන් වේ.

මාර්තු මාසයේ 22 වෙනි දින

මෙ දින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර, එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. එම නිසා ඔබට ප්‍රියකරනු ලබන බොහෝ දේ දිනාගැනිමට ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක් හා ආත්ම විශ්වාසයක් හිමිය. එසේම යහපත් දේ සහ අයහපත් දේ සුභවාදිව දැකීමට ඔබට හැකි නිසා අනවශ්‍ය සිත් තැවුල් ලේසියෙන් වළක්වා ගත හැකිය. මිතුරන් අඩුය. තවද ජීවිතයේ කලින් කලට නැගීම් බැසීම් ඇතිවේ. ජීවිතයේ සාර්ථකත්වය ඉටුවන්නේ පසුකාලයෙදිය. හුදකලාව ප්‍රියකරන අතර, නිතරම විවේකව සිටීමට කැමැතිය. මෙදින උපන් අයට ගැළපෙන රැකියා ක්‍ෂේත්‍රයයන් වන්නේ අපනයන අංශය, ගුරු වෘත්තිය, නීතිය, පතල් කැනීම සහ කම්කරු පාලනයයි.

මාර්තු මාසයේ 23 වෙනි දින

මෙදින උපත ලද ඔබ ගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙ ඉතාම වසනාවන්ත උපන් දිනයක් වේ. එම නිසා මේ අය ඉතාම බුද්ධිමත් වේ. ඕනෑම දෙයක් ක්‍ෂණිකව වටහා ගැනීමේ ශක්තියත් ද අවශ්‍ය පරිදි වෙනස් වීමේ හැකියාවත් ඔබ සතුය. එසේම ඔබ ඉතාමත්ම ආකර්ශණිය ආචාර ධර්මවලට හිමිකම් කියනු ලැබේ. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ මෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය ඔබට නිතැතින්ම හිමිවේ. අන් අයට වඩා වේගවත්ව විවිධ භාෂා ඉගෙනීමට සමත් වෙති. ලෞකික සැප සම්පත් ලැබීම් අතින් ඉතා වසනාවන්තයෝ වෙති. විශේෂයෙන් ලොතරැයි දිනුම් ලැබීමට වසනාව ඇත.ජීවිතය කෙසේ හෝ ජය ගැනීමට සුභවාදිව සිතීමෙන් කුමන රැකියාවක නියුක්ත වුණත් දක්ෂතාවය හා උපායශීලි භාවයක් නිසාම පෙරමුණට පැමිණේ. මොවුන් සෑම තැනකදී ඉතා කඩිසර පුද්ගලයන් වශයෙන් කැපී පෙනේ මොහුන්ට නිදහසේ පවා සිටීමට වේලාවක් නැත. සිය කාලය යම් කටයුත්තක යොදා උපරිම පළ නෙලා ගනී.

මාර්තු මාසයේ 24 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. රසවත් ආහාරපාන ඇදුම් පැළදුම් හා යානවාහන ලබා ගැනීම සඳහා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී වැඩකරන අතර, ආහාරවල රසවත් භාවය පිළිබඳව ඉතා උනන්දු වේ. එසේම ආහාර පිළියෙල කිරීම එවායේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිල්ලක් දක්වයි. මේ අය කලාත්මක ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේ සහ නිවස තුළ ඒවා සකස් කිරීමේ හොඳ හැකියාවක් ඇත. අවස්ථාවට ගැළපෙන ලෙස ඇදුම් සකස් කර ගැනීමට මෙන්ම ඕනෑම අවස්ථාවකදි ඊට සරිලන ලෙස කටයුතු කිරීම ඒ අනුව හැසිරීම ඉතා සාර්ථකව සිදු කරයි. ආදරය වෙනුවෙන් විශේෂයෙන් කැපකිරීම් කරයි. ඒ වගේම වෛර කිරීමේ සීමාවක් ද නොමැත.

මාර්තු මාසයේ 25 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. විචාර බුද්ධිමත් භාවයක් හෙබි පුද්ගලයන් වශයෙන් සැලකීමට පුලුවන. බොහෝ නිහඬභාවය ප්‍රිය කරයි. රහසි ගතව කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වති. ඔහුන් කියන කරන දේ කිසිකෙනකුට පවසන්නේ නැත. තමන්ගේ අවශ්‍යතාවය කුමන අන්දමකින් හෝ ඉටුකර ගැනීම ඔහුන්ගේ එකම පරමාර්ථයයි. ඒ සඳහා බාධා කරන්නන්ට වෛර කිරීම හෝ ඔහුන්ගෙන් නොදැනෙන්න ඈත්වීම සිදු කරයි. යම් යම් දේ පිළිබඳව ගැඹුරින් පරික්ෂාකර බැලීම හා සමීක්ෂණය කිරීම ඔබ විසින් කරනු ලබයි. බොහෝ ගැඹුරු චින්තනයකට හිමිකම් කියන බැවින් කිසිම දෙයක් අධ්‍යනය නොකර තීරණයක් ඔබ නොගනි. මෙදින උපන් අයට ගැළපෙන රැකියා වන්නේ ගුරු වෘත්තිය, රහස් පරික්ෂක කටයුතු, දේශපාලනය වැනි වෘත්තින් වේ.

මාර්තු මාසයේ 26 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ශනි ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ දැඩි හැගීම් බර ස්වභාවයක් හදවතේ තිබුණත් එය පිටතට පෙන්වන්නේ ම නැත. පිටතට පෙන්වන්නේ මනසේ සැබෑ තත්ත්වය නොවේ. නමුත් සුලු දෙයකට පවා ඔබ හිත රිදවා ගනී. එසේම මේ අය තව කෙනකු සතුටු කිරීමට හෝ අසතුටු කිරීමට ක්‍රියාකාරි නොවෙන අතර, ලෞකික වශයෙන් සාර්ථක වන්නේ නැත. බොහෝවිට නිරන්තරයෙන් කණගාටුදායක සිදුවීම් බහුල ජීවිතයක් ගත කරයි. ජීවිතයේ හැල හැප්පීම් වැඩිය. නිරන්තරයෙන් අපකීර්තියට පත් වේ. එම නිසා පෙර සූදානමෙන් කටයුතු කිරීමෙන් ඔබට මෙ තත්ත්වයන් මඟහැර ගත හැකිය.

මාර්තු මාසයේ 27 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, එය කුජට අයිති අංකයකි.එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. හොඳ සංවිධාන ශක්තියක් ඇති අතර, ඔබ සියලු ආකාරයේ විවේචන ප්‍රතික්ෂේප කරයි. තමන්ගේ නිවස හෝ ඕනෑම තැනකදි තමන් ප්‍රධානියා බව හැසිරීමෙන් ක්‍රියාවෙන් තහවුරු වන ලෙස ක්‍රියා කරයි. හොඳ ආත්ම විශ්වාසයක් හිමිය. මොහුන් බොහෝවිට මිය යන්නේ ඝාතනය වීමෙනි. එසේම ඔබව විරුද්ධවාදින් දකින්නේ කරදරකාරයන් ලෙසිනි. අකාරුනික පුද්ගලයන් ලෙසිනි. එයට හේතුව වන්නේ සුලු දෙයකට පවා ඔබ දබර කර ගැනීමයි. අන්‍යයන්ගේ වැඩවලට ඇඟිලි ගැසීමක් පුරුද්දක් වශයෙන් සිදු කරන ලද අතර, නිතරම අනුන්ට උපදෙස් දීමට උත්සාහ කරයි. එසේම ඔබ සෑම විටම අනුන්ට උදව් කිරීමට ඉදිරිපත් වෙති. අසාධාරණය ඔබ කැමති නැත. ඕනෑම ප්‍රශ්ණයකදි සාධාරණය පැත්තේ හිට ගනියි. ඕනෑම අර්බුදයකදි නොසැලී හිඳ විසඳුම් සෙවීම ඔබගේ සුවිශේෂි ලක්ෂණයකි. ප්‍රබල තීරණ ගැනීමට දක්ෂ පුද්ගලයන් වේ. තීරණ ගැනීමේදි සැලසුම් සහගතව ක්‍රමානුකූලව ක්‍රියාත්මක වේ.

මාර්තු මාසයේ 28 වෙනි දින

මෙ දින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූ මාසය මාර්තු වුවද රවි ග්‍රහයා ගමන් කරන්නේ මේෂ රාශියේ බැවින් රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ජීවිතයේ ඉහළ නැගීමේ ආශාවන් සහිතව කුඩා කල සිටම කටයුතු කරන පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබන අතර, එසේම එම ආශාවන් සාර්ථක ලෙස ඉටුකර ගැනීමේ හැකියාවක් ඔබ සතුවේ.

නිර්මාණාත්මක හැකියාවන් උපතින්ම ඔබ සතුවන අතර, සියලුම කටයුතුවලදී දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. සමාජයේ මෙන්ම තම පවුල සහ ඥාතින් අතරද, ප්‍රධාන වන අතර, තම මතය අනුවම කටයුතු කරන්නේ නම් ඉතා සාර්ථක ප්‍රථිපල නෙළා ගත හැකිය. ආදරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇති විය හැකි අතර, එයට හේතු වන්නේ ඔබ එක අරමුණක ගමන් කිරිමයි.

ක්‍රීඩා කටයුතුවලට ප්‍රිය කරන අතර, ජයග්‍රහණයන් ඔබ සතු වේ. ගිනි අවි පිපිරීම් රිය අනතුරු ආදියෙන් ප්‍රවේශන් විය යුතුය. ආර්ථික කටයුතුවලදී ඉහළ පහල යෑම් සිදු විය හැකි අතර ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. සමාජ කටයුතුවලදි සාර්ථක වන අතර, සතුරන් ඇතිවීම වැළකිය නො හැකිය. හොඳ සෞඛය තත්ත්වයක් උරුම වුවද අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශන් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.