ඔබ වෘශ්චික ලග්නයේ නම්

ගතිගුණ, රැකියාව, රෝගාබාධ, මරණය මෙසේ විය හැකියි.
මාර්තු 22, 2024

රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක් වන අතර, මේෂ, වෘශ්චික රාශි දෙකටම අධිපතිභාවය දරන්නේ අඟහරු හෙවත් කුජය. ඒ අනුව වෘශ්චික රාශියෙන් උපන් අයගේ පාලන ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරු වේ. අඟහරු ග්‍රහලොව සෙන්පතියා ලෙස හඳුන්වයි. සටන්කාමී ග්‍රහයා හෙවත් කුජ ග්‍රහයාට හිමි ලක්ෂණ වෘශ්චික ලග්නයෙන් උපන් අයට පිහිටයි.

වෘශ්චික ලග්නයෙන් උපන් අය මනා රූ සපුවකින් යුක්ත වන අතර ඔවුන්ගේ අත්පා දක්ව ශක්තිමත්ව පිහිටයි. හැඩි දැඩි ශරීරයකට හිමිකම් කියයි. කඩිසර බවකින් යුක්තය. ඔවුන්ගේ හිසකේ ඝනය. රැලි සහිතය. නළල්තලය පැතලිය. නෙත් යුවළ වටකුරුය. දීප්තිමත්ය. තියුණු ඇස් බියගෙන දෙන සුළුය. වාශ්චික ලග්නයෙන් උපන් පුරුෂයන්ගේ පපුව පුරා ඝන රෝම දක්නට ඇත. ඔවුන් තුළ දැඩි ආත්ම ශක්තියක් ඇත. බාධා, අවහිරකම් ගැන කිසිඳු තැකීමක් නැතිව තමන් පටන්ගත් කාර්යය නොනවත්වාම ඉදිරියට ගෙන යයි. තමාට හිතවත්ව කටයුතු කරන ඕනෑම අයකුට ඉතාම පක්ෂපාතී ලෙස කටයුතු කරන අතර, තම අදහස්වලට අවනත නොවන අයට, පිළිනොගන්නා අයට අමනාප සහගතව කටයුතු කරයි. බිය සැක කුමක්ද කියා ඔවුන් නොහඳුනයි. කෝපයට පත්වූ විට ඉතාමත් දරුණුය. සමහරුන්ට අනුකම්පාව කියා දෙයක් පහළ වන්නේම නැත.

පොත්පත් කියවීමට හා සාහිත්‍ය හා කලාවට ඉතාමත් ළැදිය. තමන්ට අයත් කාර්යය කල් නොදමා කෙසේ හෝ දිනය ඉක්ම යන්නට පළමුව නිමකිරීම ඔවුන්ගේ සිරිතයි. ඒ ඒ කාර්යය සඳහා අවශ්‍ය ආකාරයට ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම විශේෂ ලක්ෂණයකි. යම් අරමුණක් කරා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් මග හෙළි පෙහෙළි කරමින් තම ඉලක්කය සපුරා ගනී. ස්වභාවයෙන්ම මොවුන්ට ආඩම්බර ගතිපැවතුම් පිහිටයි. උසස් ගුණධර්ම වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය උපතින්ම පිහිටා ඇත. එම උසස් ගුණධර්ම තම ජීවිතයට බද්ධ කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගනී. කොතරම් කලබලකාරී පසුබිමක වුවද වහා තම සිත තැන්පත් කර ගැනීමට දක්ෂය. පැරණි චාරිත්‍ර වාරිත්‍රවලට ගරුකරයි. කලබලකාරී පරිසරයෙන් ඈත්ව නිහඬ පරිසරයක ජීවත්වීමට ඔවුන් තුළ ඇත්තේ දැඩි ආශාවකි.

වෘශ්චික ලග්නයෙන් උපන් කාන්තාවන් ඉතාමත් කරුණාවන්ත සහ අනුකම්පාසහගත අය වන අතර, ඔවුන් පාලන කටයුතුවලට ඉතා දක්ෂය. අන්‍යයන් වසඟ කර ගැනීමට තම කතාව, රූසපුව, දේහ විලාසය ප්‍රයෝජනයට ගනී. පොදුවේ සලකනවිට වාශ්චික ලග්නය හිමි අය ආගම දහමට ඉතාමත් ළැදි බවක් දක්වයි. දුර්වලකමක් ලෙස පෙන්වනුයේ හදිසි කෝපය, ලෝභකම සහ සකසුරුවම්කමය.

තම අදහස් අන්‍යයන්ට දැන ගැනීමට ඉඩ සලසයි. මෙය දුර්වලකමක් ලෙස සැලකිය හැකිය.

වෘශ්චික ලග්නයෙන් උපන් අයගේ කේන්දරයේ එක හෙවත් ලග්නයේ කුජ පිහිටීම ඉතා බලවත් වෙයි. ලග්නාධිපති ලග්නයේ සිටීම වෘශ්චික ලග්න හිමියන්ට වාසනාව ගෙන දෙන්නකි. මොවුහු ඉතා උද්‍යෝගිවන්තය. ක්‍රියාශීලිය. නමුත් මොවුන් අන් අයගේ දැනමුතුකම්, උපදෙස් පිළිගැනීමට කැමැති නැත. එය තම චරිතයට මදිකමක් ලෙස සිතයි. අන් අයෙකු යටතේ රැකියාවක් කළත් එය තමන්ගේ මතයට අනුව තමන්ට අවශ්‍ය පරිදි කිරීමට උත්සාහ කරයි. මේ නිසා ගැටුම් ද ඇතිකර ගනී. කිසිදු රහසක් වසන් කිරීමට උත්සාහ නොකරන වෘශ්චික ලග්න හිමියෝ විවෘත හදවතකින් යුතු බිය නොහඳුනන්නෝ වෙති. ඉතා සියුම් අයුරින් අනාගතය දකින මොවුහු තමාට අවාසි වන අවස්ථාවලදී ඒ පිළිබඳ උපක්‍රමශීලි ලෙස ක්‍රියා කරති.

මොවුන්ගේ කේන්දරයේ කුජ දෙවැන්නේ සිටීමෙන් කටහඬ තියුණුූ වේ. අන් අයගේ වැරැදි අඩුපාඩු දකී. ධනය ලැබීමට ද වාසනාව ඇත. කුජ තුන්වැන්නේ සිටීමත් ඉතාම වාසනාවන්තයි. මකරයට කුජ උච්චවීම නිසා කරදර, බාධක මැද්දේ සතුරන් ජය ගෙන තම බලය රැක ගනී. හතරවැන්නේ කුජ එතරම් යහපත් නොවන්නේ තම උපත නිසා මවට අපලගෙන දෙන නිසාය. එසේම නෑදෑයන් හා විරුද්ධ වේ. ආඩම්බරයෙන් යුතුව කටයුතු කරයි. කුජ පස්වැන්නේ සිටින අය නිරෝගී සම්පන්න වේ. කුජ පස්වැන්නේ සිකුරු සමඟ සිටීමෙන් විවාහ දිවියේ කරදර ඇති කරයි. කුජට හයවැන්න යහපත්ය. කුජ හත්වැන්නේ සිටින අය මුරණ්ඩු ස්වභාවයෙන් කටයුතු කරයි. අටවැන්න යහපත් ස්ථානයක් නොවන අතර ස්ත්‍රියකග් නම් ළදරු උපත්වලට ද බාධක යෙදේ. පස්වැන්නේ හෝ නවවැන්නේ ගුරු සිටීම බලාපොරොත්තු රැකියා හා ධන සම්පත් ලබාදෙන පිහිටීමකි. වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරවල 1,6,12 ස්ථානවල සෙනසුරු සිටීම යහපත් නොවේ.

වෘශ්චික ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය බොහෝවිට සාමකාමී බවින් තොරවන්නේ තම මතයට අනුව කටයුතු කිරීමෙන් තම මතය ඉස්මතු කිරීමට උත්සහ ගැනීමක් නිසාය. ඉතා සුළු දෙයකදී වුවත් ඉක්මනට කෝපසහගත වීම නිසා නිවෙසේ අය සමඟ නිතර වාද භේද ඇති කර ගනී.

වෘශ්චික ලග්නය හිමි අයට විවාහයට වඩාත් සුදුසු වන්නේ මීන සහ කටක ලග්න හිමියන් ය. වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමියන් ද සාමාන්‍ය වශයෙන් ගැළපේ. වෘශ්චික ලග්නයෙන් උපන් බොහෝ දෙනෙක් වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කරයි. පොලිස්, යුද හමුදා ආදි වෘත්තීන් ද වෘශ්චික ලග්න හිමියන්ට වඩාත් ගැළපේ. සරසවි කථිකාචාර්යවරුන්, දක්ෂ ගුරුවරුන්, ව්‍යාපාරිකයන් ද මේ ලග්නයෙන් උපත ලබා ඇත.

වෘශ්චික ලග්න හිමියන්ගේ දරුණුම මාරක ග්‍රහයා වනුයේ බුධය. බුධගේ මහදශා, අන්තර් දශා කාලවලදී වෘශ්චික ලග්න හිමියන් ප්‍රවේශම් වීම වැදගත්ය. මේ කාලය තුළදී ගංගා,වැව්, මුහුදු වැනි ස්ථානවල නෑමෙන් ප්‍රවේශම් විය යුතුය.

වෘශ්චික ලග්න හිමියන් අතර ඇදුම රෝගය සෑදීමේ ප්‍රවණතාව වැඩිය. වායු, සෙම, පිත යන කොටස් තුනෙන් ඔවුනට පීඩා ගෙන දේ. බොහෝ අය මත්පැන් පානයට දැඩි රුචියක් දක්වති. මෙය ඔවුන්ගේ අක්මාව, වකුගඩු ආදී ස්ථානවල රෝග හටගැනීම සඳහා හේතු වේ. අපල සඳහා රතුපාට මැණික් ගලක් මුදුවකට සම්බන්ධ කර පැලදීම සුබයි. ඉරිදා, සඳුදා, බ්‍රහස්පතින්දා වෘශ්චික ලග්න හිමිකරුවන්ට යහපත් වන අතර, රතු, තැඹිලි, කහ සුබ වර්ණයන් වේ.

(මීළඟට ධනු ලග්නය)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.