භූතයෝ ආසියාතිකම ද?

මාර්තු 29, 2024

 

“බෙදාගත්තු බත්පත කන්න බෑ ගල් දානවා.”

“අය්යෝ සෝමේ, අපේ නැන්දට නිදා ගන්න බෑ ඇඳෙන් ඇදලා දානවා.”

“ඇයි ගියා නේද නිමිත්තක් බලන්ඩ”

“ඔව්, ඔව් ඒකට කීවනේ මැරිච්ච ප්‍රාණකාරයෙක් තමයි එහෙම කරන්නෙ කියලා. උන්දෑ ජීවත් වෙලා ඉදිද්දී මුන්දෑ අරියාදු කෙරුවලු.”

“ඉතින් එළවන්ඩ බැරි ද?”

“අපි උන්දෑ ගෙන්නල ඇහුව අර බුරම්පි කට්ටඬි මාමා ලව්ව

“මං ඕකිගෙ පණ ඇන්න තමයි මෙතනින් යන්නෙ කියපි.”

සෝමේ එසේ කියද්දී සාමෙල්ගේ අත්දඬුවල රෝමකූප අමුතු වෙනවා ඔහු දුටුවේ ය. සාමෙල් සිටි තැනින් පස්සට ගියේ සැඟවෙන්නට තැනක් සොයන්නට මෙනි.

“ඔයා දැන් කලබල වෙන්න එපා. බුරම්පි මාමා ඒ භූතයා කැමති කරවා ගත්තා ලොකු පිනක් අනුමෝදන් කරවලා අපේ නැන්දා අතින්ම. උන්දෑ කැමැති කෑම හදවල දෙන්න.”

ඔව් මට බය හිතුණේ අපේ ගෙදර බත්වලට ගල්දාන භූතයා මොනව ඉල්ලයි ද කියලා. මොකද දවසක් මං අපේ බල්ලගේ පිඟානේ වැලි වගයක් තිබෙද්දී බත් දුන්නා. ඒ බල්ලත් මැරුණා.”

එතකොට භූතයෝ ඉන්නේ, භූතයෝ වැහෙන්නේ ලංකාවේ මිනිසුන්ට විතර ද? එහෙමත් නැත්නම් ආසියාවේ රටවල ඇත්තන්ට විතර ද? අපේ රටේ වාගේම ඉන්දියාවෙත් භූතයෝ ඉන්න බව නම් බුද්ධ කාලයේ ඉඳලම සිද්ධ වෙන කාරණාවලින් තහවුරු වෙයි. කුසල කර්මයේ විපාක වශයෙන් සුගතියේත්, අකුසල කර්මය අනුව දුගතියේත් උපත ලබන බව බුදු දහමේ පිළිගැනීමයි.

ජීවත්ව සිටින මිනිසා කරන වැරැදිවලට නීතියෙන් දඬුවම් ලැබෙයි. එහෙත් මේ රටේ දී නම් දඬුවම් ලබන අය වැරැදිකරුවන්ම නොවේ. බොහෝ වැරදිකරුවන් මේ රටේ නීතිය ඉදිරියේ නිවැරැදිකරුවන් වන අවස්ථා අපි දැන් දැන් දකිමු. එවාට කියන්නේ ලෝ පොයින්ට් කියාය. සාමාන්‍ය මිනිසා එයට කියන්නේ “අල්ලස” කියාය. එහෙත් මේ හැමෝටම දුගතියේදී අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේ. ඒ ලබන්නේ “භූතයන්” වශයෙනි. හැබැයි මේ ප්‍රේතයන් වෙලා උපදින්නේ මැරෙන විට ලෝභයෙන් මියැදෙන මිනිසුන්ය. මුදල වෙනුවෙන් නරක වැඩ කරන්නේ මුදලට ඇති ගිජු බව නිසාය. එසේ නම් ඔවුන් මියැදෙන්නේ ලෝභ සිතින් නොවිය හැකි ද?. ඔවුන් එසේ මිය ගියත් ඔවුන්ට අන්දවන “මිනී ඇඳුමේ” සාක්කු නොතියන නිසා ඔවුන්ට බැංකු පොතවත්, බැංකු කාඩ් එකවත්, සේප්පුවේ යතුරුවත් රැගෙන යාමට නොහැකි වෙයි.

තස්මානි භූතා නිසාමේථ සබ්බේ

මෙත්තං කරෝථ මානුසියා පජාය

දිවාච රත්තෝච හරන්තියේ බලිං

තස්මාහි නේ රක්ඛත අප්පමත්තා”

“අමනුෂ්‍යයනි, මාගේ ධර්මය අසව්. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි තෙපි හැමදාම සිතා ක්‍රියා කරව්. යම් කෙනෙකු තොපට දවල් කාලයේ ද රාත්‍රී කාලූයේ ද පූජා කෙරෙත් ද, එවැනි මිනිසුන් නොපමාව ආරක්ෂා කරව්.” නිකාය සංග්‍රහයේ සහ ජාතක කතා අනුව ඉන්දියාවේ භූතයෝ සිට ඇත. භූතයෝ ඉන්නා වග බුදුන් වහන්සේ ද දේශනා කොට ඇත.

එසේම “අංගුත්තර නිකායේ” බලි ගැන කියද්දී කියවෙන එක් බලියකි “භූත බලි ඒ කියන්නේ මිය ගිය ප්‍රාණකාරයන් බලි, බිලි පූජා කෙරෙන බවයි. එය එසේම වෙද්දී බුදුන් වහන්සේ දේශනා කළේ ඇසට නොපෙනෙන භූතයෝ ද දෙවියෝ ද සිටින වගයි. “භූතාවා සම්බවේසීවා” යනුවෙනි.

ඒ අනුව ආසියානු රටවල භූතයෝ සිටිති. ඒ බව තහවුරුය. එම තහවුරුව ගැන නොදන්නා බටහිර ඇතැම් උගත්තු අප රටවල භූතයන් පිළිගැනීම ගැන අවඥාවෙන් කතා කරති. මේ රටේම ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහතා එයට අභියෝග කළේ ය. එහෙත් ඔහුට කිසිදු භූතයෙක් තමන්ට අපහාස කරා යැයි කියමින් නඩු මඟට ගියේ නැත. අඩුම වශයෙන් පෞද්ගලිකව කරදර කළා යැයි සඳහනකුදු නැත.

ඒ අනුව සුද්දා අපට සිනාසීම සාධාරණය යැයි බැලූ බැල්මට පෙනේ. එයම පිටිවහලක් කර ගන්නා අපේ නවතම උගතුන් ද කොහෙ ඉන්නා භූතයෝදැයි ඉතා හාස්‍යයෙන් විමසා සිටී. එහෙත් ඒ අය බිඳක් හෝ මඳක් නොසොයන දෙයක්ද එම කියමන් අතරම සැඟව තිබෙයි.

“ඔක්ස්ෆර්ඩ්” ශබ්ද කෝෂයට Exorcism  නම් වචනය එක්වූයේ කෙසේද? එහි අර්ථගැන්වීම වශයෙන් ඔවුන් “භූතයන්ව පලවා හැරීම, යකුන් පලවා හැරීම, පරලය වීම කළේ කෙසේද? එසේම බටහිරැන්නෝ එම වදන යොදා ගැනීම ආරම්භ කොට ඇත්තේ 15 වැනි ශත වර්ෂයේදීය. ලතින් භාෂාව එය හඳුන්වා තිබුණේ Exorcismus වශයෙනි. ඒ අනුව එය ඉංගී‍්‍රසිකරණය වූයේ ඉහත දැක්වූ අයුරිනි. ඒ අනුව සියඹලා ද තිබී ඇත. ඉංගී‍්‍රසියට ආ Exorcism යන්න නිරුක්ති වීමේදී හා බස සමඟ සම්මිශ්‍රණයවීමේ දී නිපදවී ඇති වචන රාශියකි.

Apparition - අද්භූත, අවතාර දර්ශන

Cabala - ගුප්ත විද්‍යාව

Charm  - මැතිරීම, වශී කිරීම

Conjurim - භූතාත්ම කැඳවීම.

මේ අනුව තවත් Dispossession, Driving out, Incantation, Magic Romoved, Socorry  වචන රැසක්ම එක්ව ඇත.

බටහිර මේ යෙදුම් අනුව ඔවුන්ගේ සමාජ ඉතිහාසය අපට කියවිය හැකිය. භූත, ප්‍රේත ආදීන් සිටියා කියා විශ්වාස කළ මිනිසුන් සිටියේ පෙරදිග පමණක් නොවේ. එසේම ඔවුන් සමඟ ගනුදෙනු කර ඇත්තේ මේ රටේ යක්ෂ, භූත ඇදුරන් පමණක් නොවේ.

ඒ කෙසේ වෙතත් බුදුදහම එහිදී එක්තරා සමාජ න්‍යාය ධර්මතාවක් අපට කියාදෙයි. මිනිසා ලෙස ඉපදී භූත, යක්ෂ, ප්‍රේත වැඩ නොකරන ලෙසයි. අප මේ පවතින සමාජය දෙස බැලුවහොත් නූගත් ගැමියාගේ පටන් උගත් මිනිසා, ව්‍යාපාරිකයා මෙන්ම දේශපාලකයා දක්වා ද බොහෝ දෙනෙකුගෙන් අපි දකින්නේ, වංචාව මුලාව හා අනිකා පරාජය හෝ විනාශ කර දැමීමයි. ඒ අනුව ජීවත් වන මිනිසා පරිසරයට, සතා සීපාවන්ට ද මිනිසාට ද එක ලෙස අවංකව සිටිය යුතුය. සැලකිය යුතු ය. එවිට භූතයෝ, ප්‍රේතයෝ සිය සේවාවලින් ඉවතට යනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.