ආයු වඩන හිසතෙල් ගෑමේ අවුරුදු සිරිත

අප්‍රේල් 5, 2024

සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්‍ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් රාජ්‍ය උත්සවයක් මේ සඳහා පවත්වයි. දුර බැහැර සේවය කරන දූපුතුන්ට අවුරුදුදාට නිවාඩු ගැනීමට අමාරු නිසා දරුවන් තෙල් ගාන අවුරුද්දට එනවා කියන විට මව්පියන්ට ඇති වන්නේ බලවත් සතුටකි. මෙයින් පැහැදිලි වන්නේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඇති වටිනාකමයි.

සිංහල අලුත් අවුරුද්දට නැකැත් සාදන විට හිස තෙල් ගෑමේ නැකැතක් සාදන්නේ එහි ඇති වැදගත්කමක් තිබෙන නිසාය. බොහෝ දෙනකු මෙය හඳුන්වන්නේ තෙල් ගාන අවුරුද්ද කියා ය. එහෙත් අද වර්තමානයේ තරුණ පරපුර තෙල් ගාන අවුරුද්ද ගණන් ගන්නේ නැතුව සිටීම කනගාටුවට පත්වෙන කරුණකි. සමහර විට ඔවුන්ට අවුරුද්ද ගැනවත් මතකයක් නැත. එය බොරු වැඩක් කියා පම්පෝරි ගහයි.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව මෙවර සිංහල අවුරුදු නැකත් කමිටුව මඟින් සකස් කර ඇති ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024 සිංහල අලුත් නැකත් චාරිත්‍ර අනුව අප්‍රේල් මස 15 වැනි සඳුදා පූර්ව භාග 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු තෙල් ගා ස්නානය කරන ලෙස දන්වා සිටියි. සිංහල අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ ඡ්‍යොතිෂ මතය ඉතා සරල එකකි. එය දැනගෙන සිටීම ඉතා වැදගත් ය. ඡ්‍යොතිෂය අනුව කාල පුරුෂයාගේ හිස යනු කේන්දරයෙ ලග්නයයි. තවද විශ්ව කේන්දරයේ ලග්නය නම් මේෂ රාශියයි. සූර්යයා මේෂ රාශියට පැමිණීම අලුත් අවුරුද්දේ උදාව ලෙස සලකයි. එවිට සූර්යයා මේෂ රාශියට පැමිණි විට කාල පුරුෂයාගේ හිසට හිරු රැස් තදින් බලපායි. සූර්යයා මේෂ රාශියට එන විට සෑම මනුෂ්‍යයකුගේ ම හිසට හිරුගේ රශ්මි ධාරාව පතිත වේ. මේෂ රාශියේ දී උච්ච රවි ග්‍රහයාගේ කිරණ ධාරාව තවත් අධික රජස් ගුණයක් තිබේ. ඒ නිසා මිනිසාගේ හිසට වැදෙන රශ්මි ධරාව මර්දනය කිරීම සඳහා හිසට තෙල් ගෑමක් සිදු වෙයි. සූර්ය රශ්මියෙන් හිසට ඇති වන තදබල පීඩාවන් හිස තෙල් ගෑම නිසා සිසිල් කර දෙයි. එය රෝග නාශකයක් ලෙස සැලකිය හැකි ය. සිංහල අලුත් අවුරුද්ද චාරිත්‍රවලට හිස තෙල් ගෑම ඇතුළු වී ඇත්තේ මේ නිසා ය.

හිස තෙල් ගෑමට සමාන චාරිත්‍රයක් ඉන්දියාවේ දී තිබිණි. මේ නිසා අපගේ හිස තෙල් ගෑම ඉන්දියාවෙන් ලැබුණු දායාදයක් ලෙස සැලැකේ. පූජ්‍ය බලංගොඩ ආනන්ද මහා නායක හිමියන් පවසා ඇත්තේ හිස තෙල් ගෑම හින්දු චාරිත්‍රයක් බවයි. ඉන්දියාවේ පිරිස් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම නිසා ඈත අතීතයේ සිට ම බොහෝ හින්දු චාරිත්‍ර මුල් බැසගෙන තිබිණි. සිංහල අලුත් අවුරුද්දට මේ හිස තෙල් ගෑම ඉන්දියාවෙන් එක් වූ බව උන්වහන්සේ පවසති. එහෙත් අද හින්දු නොවන සිංහල හා දෙමළ අවුරුද්ද ලෙස එය ගණන් ගැනේ.

අපේ මුතුන් මිත්තන් කෘෂිකර්මය පදනම් කර ගත් ජීවනෝපාය සැකසී ඇති නිසා හිස තෙල් ගෑමේ චාරිත්‍රයක් එක් වූ බව සමාජ විද්‍යාවේදීනගේ මතයයි. අවුරුද්දේ වැඩි කාලයක් කුඹුරේ හා හේනේ වැඩ කළ ගොවියන්ට හා ගෙවිළියන්ට නිවාඩු ලැබෙන්නේ අස්වැන්න නෙළීමෙන් පසුවය. මාර්තු හා අප්‍රේල් මස සිට සිංහල අවුරුද්ද දක්වා ඔවුන්ගේ විවේක කාලයයි. බක් මාසයේ දී ඔවුන් නිවාඩු කාලය තුළ නානු සමඟ තෙල් ගා ගෙන ස්නානය කිරීමෙන් බොහෝ විට බලාපොරොත්තු වන්නේ රෝග පීඩා දුරු කර නිරෝගී ගුණයක් ලබා ගැනීමට ය. එදා සිටි අය සෑම දෙයක් ම සිරිතට විරිතට හා නැකතට සිදු වූ නිසා සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයට හිස තෙල් ගෑම ද එක් විය. මෙය තෙල් ගාන අවුරුද්ද ලෙස ආරම්භ වූ බව සමාජ විද්‍යා විෂයය තුළ සටහන් වෙයි.

ඡ්‍යොතිෂ මතය අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ මූලික අදහස සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයින්ගේ ආකර්ෂණය ලබා ගැනීමයි. තෙල් ගෑමේ නැකැත් ප්‍රකාශ කිරීමේ දී එක් එක් වර්ෂවල දවස අනුව ගස්වල කොළ නම් කර ඇත. වැඩිම ආකර්ෂණ බලයක් ලබා ගැනීම සඳහා එම කොළ වර්ග සතියේ දවස් හතට ට වෙන් කර ඇත.

ඉරිදා - රවිට - ඉඹුල්

සඳුදා - චන්ද්‍රයාට - දිවුල්

අඟහරුවාදා - කුජට - කොළොං

බදාදා - බුධට - කොහොඹ

බ්‍රහස්පතින්දා - ගුරුට - බෝ

සිකුරාදා - සිකුරුට - කරඳ

සෙනසුරාදා - ශනිට - නුග

ග්‍රහයින් හත් දෙනාට හා දවස් හතට ගස් වෙන් කර තිබේ. හිස තෙල් ගාන දිනයට උදා වී තිබෙන දවස අනුව ගහේ කොළ වර්ගය තෝරා ගනියි. මේ වර හිස තෙල් ගෑම සඳුදා දිනයක නිසා හිසට දිවුල් කොළ ගෙන ඇත. පයට ගෙන ඇත්තේ ඉඹුල් කොළය. දැන් ඔබට ගැටලුවක් වන්නේ පයට ඉඹුල් කොළ ගත්තේ කෙසේද යන්නයි. සඳුදාට කලින් ඉරිදා නිසා ඉරිදා දිනයට අයත් ඉඹුල් කොළ ගනියි. නිතරම හිස තෙල් ගාන දවසට කලින් දවසට අයත් කොළය පයට වෙන් කර තිබේ.

හිසතෙල් ගාන දවසට සැරසිය යුතු ඇඳුම ගැන ද විශේෂයෙන් දැන ගත යුතුය. එය මෙසේ ය.

ඉරිදා - කහපාට

සඳුදා - සුදුපාට

අඟහරුවාදා - රතුපාට

බදාදා - කොළ පාට

බ්‍රහස්පතින්දා - රන්වන් පාට

සිකුරාදා - සුදු මිශ්‍ර ලා නිල් පාට

සෙනසුරාදා - නිල් පාට

පුරාණයේ දී හිස තෙල් ගෑවේ ගමේ ප්‍රධානියා යටතේ ය. ඉංගී‍්‍රසි පාලනය පිරිහීමත් සමඟ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අතින් එය සිදු විය. දැන් පන්සල ද ඈත් වී ගෙදර සිටින වැඩිහිටි පුද්ගලයා විසින් හිස තෙල් ගෑම ගෙවල්වල සිදු කරනු ලැබේ. එසේ කරන විට එම ගෙදර වටේ සිටින අයද පැමිණ තෙල් ගෑමේ කටයුත්ත ට සහභාගි වෙති.

ලෙඩ දුක් දුරු වී නිරෝගී ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම සිදු වේ. ඒ සඳහා විශේෂ කවියක් කියා තෙල් ගාන සැමට ආශිර්වාද කරනු ලැබේ.

කළු කපුටා සුදු වන තුරු

ඇහැල කණුව ලියලන තුරු

මෝල් ගහේ දලුලන තුරු

එකසිය විස්සට දෙසිය විස්සක්

ආවඩා බෝ ආයිබෝ ආයිබෝ වේවා

හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ ඇති වැදගත්කම කාටත් වැටහෙනවා ඇත. මේ චාරිත්‍රය අමතක නොකර පිළිපදින්නේ නම් අනාගතයේ දී ශරීර සෞඛ්‍ය යහපත් අතට හැරී නිරෝගී වාසනාවන්ත සිංහල ජාතියක් බිහිකළ හැකිය. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.