පුණ්‍ය කාලය නිවැරැදිව ගත කරමු

අප්‍රේල් 12, 2024

අවුරුදු උදාව හා නැකැත් පිළිබඳ වාදවිවාද පවත්වමින් මතභේදාත්මක ප්‍රකාශයන් ජ්‍යෝතීර්වේදීන් අතරින්ම පැන නැඟී මහජනයා තුළ සැකසංකා ඇති කළ අවුරුද්දකි 2024 වසර. මේ ලිපියෙන් නක්ෂත්‍රය පිළිබඳ විග්‍රහ නොකරන මුත් සිංහල අවුරුදු උදාවට සම්බන්ධ ඉතා වැදගත් චාරිත්‍රයන් අතුරින් එක් චාරිත්‍රයක් හා බැඳුණු සිරිත්විරිත් පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරෙනු ඇත.

සිංහල හින්දු අලුත් අවුරුද්ද කී සැණෙකින් බොහෝ දෙනා අතර කුකුසට පත් වන කාලයකි පුණ්‍ය කාලය. එය සිරිත්විරිත් ලෙස පුරාණයේ සිට පවත්වාගෙන ආව ද පුණ්‍ය කාලය සම්බන්ධයෙන් අවබෝධය ඇත්තේ ඉතාමත් අල්ප පිරිසකටයි. පුණ්‍ය කාලය යනු අයහපත් කාලය නැති නම් නොනගතය හෙවත් නැකැත් නොමැති කාලයයි. තවත් ආකාරයට පැවසුවහොත් සූර්ය සංක්‍රාන්ති සමයයි. නොනගතය උදාවට පෙර ආහාර අනුභවයන් කර සියලු වැඩ අත්හැර 2024 සඳහා උදාවන නව වසරට පෙහෙවස් සමාදන්ව තම තමන්ගේ ඉෂ්ට දේවතානුස්මරණයෙහිලා තිසරණ සරණ යමින්, ආගමානුකූලව ගත කරන කාලය ලෙස සැලකීම ඉපැරැණිම චාරිත්‍රයයි. අපේ පැරැණි මුතුන්මිත්තෝ මෙම චාරිත්‍රය ප්‍රමුඛස්ථානයේ තබා කටයුතු කළ ඇත්තෝ වෙති.

නොයෙකුත් විද්වතුන්ගේ හා පර්යේෂකයන්ගේ මතය අනුව මේ කාලය ආගමික වත්පිළිවෙත් සඳහා වෙන් කර ඇත්තේ විශ්ව න්‍යාය ධර්මයන්ට අනුවයි. එනම්, අධික තේජෝ ධාතු ගුණයෙන් යුත් රවි ග්‍රහයා දොළොස් මසකට වරක් ලේ ධාතුවට අධිපති එමෙන් ම විෂම මෙන්ම ගිනියම් කාරක වූු ඉතා රෞද්‍ර, කෲර කුජ ග්‍රහයාට හිමි මේෂ රාශියට ප්‍රවිෂ්ට වීමයි. එම ප්‍රවිෂ්ටය සඳහා ස්පර්ශවීමේ කාලය නොනගත කාලයයි. සූර්ය සංක්‍රාන්තිය ලෙස ප්‍රචලිත මේ සංක්‍රාන්ති සමය තුළ රවි ග්‍රහයා, කුජ හිමි මේෂ රාශියට ඇතුළු වී එම ග්‍රහ අධිපති කිරණයට එකරාශී වී සංයෝග වන අවස්ථාවේ දී එයින් පිටවන ග්‍රහ කිරණ අතිශය රෞද්‍ර විෂම බලපෑම් සහිත කිරණ පෘථිවියට මුදා හරින රළු ගුණ සහිත කාලයයි. එය ඉතා සරලව හුවා දැක්වුව හොත් හිමාලය වනාන්තරය තරම් විශාල යකඩ පර්වතයක් ගිනි පුපුරු මෙන් ඉතා අධික ලෙස ගිනියම් කර මහ සයුරට ගිල්වූ විට චටපට හඬ නංවමින් බුබුළු දමමින් ගිනියම් වූ රෂ්මී වාෂ්ප නික්මෙන්නාක් බඳුය. පෘථිවියේ සිට සැතපුම් දොළොස් කෝටියක දුරකින් පිහිටා ඇති සූර්යයාගේ කිරණ විනාඩි 12ක් තුළ මිහිතලය මත පතිත වේ. එසේම සූර්ය සංක්‍රාන්ති සමය තුළ ඇති කරන විෂම කිරණ විනාඩි 12ක් තුළ මුළු මහත් විශ්වය පුරා පැතිරී යනු ඇත. සමකය ආසන්නයේ පිහිටි රටක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු සෑම ප්‍රදේශයකටම විශේෂයෙන් බලපෑම් ඇති කරනු ලබයි.

මේ සිදුවීම මිනිස් පාලනයෙන් තොර විශ්ව නියාමන ධර්මතාවකි. එය පුද්ගල අභිමතය පරිදි වෙනස් කළ නොහැක්කකි. මෙයින් නික්මෙන විෂ කිරණවලින් ආවරණය වීමට නම්, තම ආගමික කටයුතුවල නියැළෙමින්, තමන්ටත්, තම අසල්වාසීන්ටත් මෛත්‍රී සහගත සිතුවිලිවලින් සංග්‍රහ කීරීම සුදුසුයි. සමකාමී සෞම්‍ය වත්පිළිවෙත්වල නියැළීම, මෛත්‍රිය දයාව පතුරවමින් සිත් සතන් තුළ සතුට සැනසීම ඉපදවීමට දායක වෙයි. මේ කාල සීමාව පුණ්‍ය කාලය ලෙස නම් කර ඇත්තේ එබැවිනි.

සාමාන්‍යයෙන් 2024 වසරේ සංක්‍රාන්ති සමයට අයත් මුළු කාලය පැය 12යි විනාඩි 48කි. මේ කාලයේ සංක්‍රාන්තියේ පූර්ව කොටස විෂම කිරණ ඇති වී පැතිරී විහිදී නැති වී සිසිල් වී යෑමට ගතවන කාලය පැය 6යි විනාඩි 24කි. විශේෂයෙන් පුණ්‍ය කාලයේ පූර්ව කොටස පැය 06යි විනාඩි 24ක් වන අතර ආහාරපානාදියෙන් වැළැකී පේවී ධර්මානුකූලව ජීවිතය ගත කිරීමට වේදයෙහි උපදෙස් දී ඇත්තේ මේ හේතුව නිසාවෙනි.

මෙබඳු අවස්ථා දුර්මත ලෙස සිතා සාම්ප්‍රදායික චාරිත්‍රවලින් මිදී සුපුරුදු ජීවිත ගත කරන අයට අනාගතයේ දී නොයෙක් රෝග පීඩා ආදීයෙන් දුක් ගැහැටවලට මුහුණ දීමට සිදු වනු ඇත. ලෝක නියාම ධර්මයන්ට පිටුපාමින් ජීවත් වීම විශ්ව ශක්තිය ගිලිහී යාමට ප්‍රධාන කාරණයකි. තුන්සිය හැටපස් දවසක් යන්ත්‍රයක් බඳු අධික වෙහෙසට පත් තම ශරීරයට, මනසට විවේකී සුව උදා කරමින් මෛත්‍රී සහගත සිතුවිලිවලින් ආගමික වත්පිළිවෙත්වල යෙදීම උදා වන නව වසර වාසනාවන්ත, නිදුක්, නිරෝගී පින්බර වසරක් ම වීමට හේතු වාසනා වේ .

2024 වර්ෂයේ අප්‍රේල් මස 13 වැනිදා සෙනසුරාදා දින අපර භාග 02 පසුවී විනාඩි 41 සිට 14 වෙනි ඉරු දින (පසු දින) අලුයම 03 පසුවී විනාඩි 29 දක්වා පුණ්‍ය කාලය වේ. මුළු කාලය පැය 12 විනාඩි 48 වේ. ඉන් පුණ්‍ය කාලයේ පූර්ව භාගය එනම්, අපරභාග 02 පසුවී විනාඩි 41 සිට අපරභාග 09 පසුවී විනාඩි 05 දක්වා සියලු පිංකම්වල නිරතවීම සුබය. පුණ්‍ය කාලයේ අපරභාගය එනම් අපරභාග 09 පසු වී විනාඩි 05 සිට පසු දින අලුයම 03 පසු වී විනාඩි 29 දක්වා අවුරුදු උදාව හා බැදුණු චාරිත්‍රවාරිත්‍ර සඳහා වෙන් ව ඇත.

පුණ්‍ය කාලය උදාවත් සමඟ තමාගේ පුරුදු විහාරස්ථානයට ගොස් පන්සිල් සමාදන් වී මල් පහන් පූජා කර තෙරුවන් වන්දනා කරමින් හැකි නම් රතන සූත්‍ර දේශනාව පවත්වා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් ප්‍රධාන දෙවි දේවතාවන්ට පින් දී විනාඩි කීපයක් මෛත්‍රී භාවනාවෙහි යෙදෙන්න. ක්‍රෝධ සිත් පහවී මෛත්‍රී සිත දියුණු කිරීම තරම් ශාන්තියක් පුණ්‍යකාලය තුළ තවත් නොමැත.

ඔබ පුණ්‍යකාලය තුළ විහාරස්ථානයේ බොහෝ වේලාවක් ගත කරන්නේ නම් 21 වතාවක් ඉතිපිසෝ ගාථාව බෝධීන් වහන්සේ අසල සජ්ඣායනා කරන්න. එය මේ ලෝක ධාතුවේ ඇති උතුම් වූ ගුණ බලයයි.

තෙරුවන් බලෙන් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා.!

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.