පි‍්‍රයමනාප හත නැකැත්හිමියෝ

මැයි 24, 2024

 

“සුසෙතං වචනොද්‍රාෂ්ඨං
සුසිලෝ බන්ධු සංගමං
හසෙක ජාතො
භවෙචෙචාරො
ජයාසෙ පරදාරගඞ”

හත නැකතින් උපත ලද්දේ නම් අන් අයට පි‍්‍රයමනාප සුසීල අර්ථවත් දෙබස් ඇති නෑයින්ට හිතවත් දුටු දේ කිරීමේ අති දක්ෂ තීක්ෂණ බුද්ධි පරාසයකින් යුක්තවූ උසස් අදහස් ඇති ඍජුව සිය වැඩ කටයුතු කරන උතුම් චරිතයක් වේ.

ඕනෑම අයෙකු සමඟ ඉක්මනින්ම මිත්‍ර වී ඔහුගේ සියලු ඕනෑ එපාකම් ඉටුකරමින් සහෝදරත්වයෙන් යුතුව වැඩකිරීමේ අතිදක්ෂයෙක් වන්නේය. පි‍්‍රයමනාප ගතිය නිසා ඕනෑම අයෙකු තමා සමඟ හාද වේ. තරමක කාමුක ගතියක්ද සිරුරේ ගෑවී තිබේ.

ප්‍රසන්න පෙනුමකින්ද යුක්ත වේ. අන්‍යයන්ට හිතවත් වන අතරම අවංකව මිතුදම් රකී. විවෘතව කතා බහ කරයි. සඟවන රහස් අඩුය. රැකියාවලදී සමහරවිට කීපයක්ම කරන්නට සිදු විය හැකිය. කලාත්මක පැත්තට නැඹුරුය. ඒවා සම්බන්ධිත ආදායම් මාර්ග පැත්තට ද හැරේවි. විශේෂයෙන් වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් සුවිශේෂි දියුණුවක්ද ලැබීමේ වාසනාව පෑදේ. වහා කිපෙන ගතිය ඇතත් එය ඉක්මනින්ම මග හැරේ. කාරුණික හදවතින් යුක්තවන අතර බොහෝ ඇසූ පිරූ තැන් ඇති සාර්ථක ජීවිතයක් ගෙන යෑමට සෑම අංශයකින්ම වෙර දරන අයෙක් වේ. මනා කළමනාකාරිත්වයෙන්ද පිරිපුන්ය. සෑම අංශයකම දැනුමක් තිබේ.

විවිධ විෂයයන්ට දක්ෂතා ඇතිවේ. නීතිය, වෛද්‍ය විද්‍යාව, කෘෂි අංශය, ඖෂධ නිෂ්පාදනය සත්ත්ව හා තෘණ විද්‍යාවටද දක්ෂතා ඇතිවේ.

සමහර විට අවංකකම වැඩි නිසා ප්‍රශ්න ඇති කර ගනී. මුදල් ගනුදෙනුවලදී. තමාගේ පැත්තෙන් ආත්මාර්ථකාමීව නොසිතන නිසා පාඩු සිදුවේ. නව ඉසව් සොයන අද වැනි කාලයක විදේශීය සබඳතා මෙන්ම රැකියා අංශයන්ට වැඩි නැඹුරුතාවයක්ද ඇති බැව් දැක්විය හැකිය. හත නැකත් හිමියන්ට ලොතරැයි හා වෙනත් මුදල් උපයන මාර්ගවලින් වැඩි ලාභ අත්වේ. හදිසි ධනලාභාදියට වාසනාව ඇත. දේපළ ඉඩකඩම් ලැබීමටත් පැරණි නිවාස හිමිවීමෙන් වාසනාව පෑදේ.

පෙම් සබඳතා කීපයක්ම ඇති කර ගන්නේය. තරුණවියට පා තබත්ම සෞන්දර්යාත්මක පැතිවලට වඩාත් නැඹුරුවීම හරහා යුගදිවියකට මං පෙත් විවෘත කර ගැනීමේ වාසනාව පෑදේ.

විශේෂයෙන්ම මකර, කුම්භ නම් යුග දිවිය තරමක් කල්ගත වේ. හත නැකතින් උපන් කාන්තාව දුටුවන් සිත් ඇඳ ගන්නා වූ මහා රූ සපුවකට හිමිකම් කියැවේ. ස්වයංමෝහනයකට ද පත්වන්නීය.

විවාහ වන්නේද මනා කඩවසම් අයෙකු සමඟය. යුගදිවියේ ඇතුළු පැත්ත සෞන්දර්යාත්මකව ගෙවන රතිකාමී යුවතියක් වේ.

තම සැමියාට උපරිම සතුට හා වින්දනය ලබා දීමට හැකි සෑම ක්‍රමවේදයක්ම අනුගමනය කරන්නීය. හත නැකත හිමි කාන්තාව ස්ත්‍රී සයනෙ වෛශ්‍යා නම් වැනිය. ඒ අයුරින්ම රැය පහන් කරන්නීය. සමාජයේ උසස් තනතුරු දරන්නීය. නම්‍යශීලිය. ගෘහපාලනයට අතිදක්ෂයි. පින්වත් දරුවන් ලබයි. ඇගේ යුගදිවිය අන්‍යයන්ට හරිම ආදර්ශයක් විය හැක.

විශේෂයෙන්ම නැන්දා ලේලි අරගලවලට මැදිවීම අඩුවීමට හේතු වන්නේ සිය නැන්දනිය හරි හැටි තේරුම් ගෙන උපක්‍රමශීලිව ඇය ඇසුරු කරන නිසාය. තරමක් කපටියි. උපක්‍රමශීලිය. ඒ අතරම ආත්මාර්ථකාමීය. තමාගේ වැඩකටයුතු කුමන අන්දමකට හෝ සාර්ථක කර ගැනීමට යත්න දරන්නීය.

දැරියක් හත නැකතින් මල්වර වූයේ නම් ඇයගේ යුගදිවිය වාසනාවන්ත වේ. කල් නොයවා පෙම් සබඳතාවයක් හරහා විවාහ වේ. විවාහය අතිසාර්ථක කර ගනී. දේපළ වස්තු හිමි වේ. විවාහ යෙන් පසු පවුලේ ආර්ථිකමය දියුණුව වහා ඇති වේ. ඉඩකඩම් වතුපිටි දේපළ වස්තු ලැබේ.

1 වැනි පාදයෙන් මල්වර වී නම්, ඉතාම වාසනාවන්තයි. පේ‍්‍රමය අනුව විවාහ වේ.

2 නම් ආගම දහමට ලැදිය සංවරයි. ලැජ්ජාශීලිය. යෝජනාවකින් විවාහය වේ.

3 නම් විවාහයෙන් වාසනාවන්ත දරුවන් ලබයි. හදිසි ධනලාභ සහිතයි.

4 නම් තරමක කටුක දිවියක් ගෙවයි. කේන්ද්‍ර ගැළපීම් මත විවාහවීම අනිවාර්ය වේ.

හත නැකතට සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකත් ඉතාම සුබයි. ගැළපේ.

අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල නැකත් විපත් වේ. අසුබයි.

විවාහයකදී පොරොන්දම්වලට වඩා දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාව ධනාත්මක වීම අනිවාර්ය වේ. සිතුම් පැතුම් ධනාත්මකව ඉෂ්ට සිද්ධ වන්නේ උත්පත්ති ග්‍රහ හා නැකත්වල සුබ තත්ත්වය හරහාය. සඳුගෙන් හා සඳුගේ කිරණාවලිය හේතු කොට ගෙන නැකත්වල ජීවාත්මක ශක්තිය දෝලනය වේ. හත නැකතට සඳු මහ දසාව හිමිකම් කියැවේ. පුරා වසර 07ක කාල පරාසයක් තුළ සඳුගේ දශාව පවතී. රවි සහ කුජට මැදි වන සඳු නෛසර්ගික බලශක්තියෙන් යුතුව තම භ්‍රමණ වේගය ක්‍රියාත්මක කරනු ඇත.

මානසික හැසිරීම් රටාවට මූලික වන්නේ සඳුය. බුද්ධියත් බුද්ධිය හරහා බුධ සහ ගුරු සමඟ එක්ව යන සඳු විශේෂයෙන්ම හත නැකතට අධික ආලෝක කිරණ ශක්තියක් ආරෝපණය කරයි. සෑම නැකතක් සහ නැකැත් හිමියෙක් තනි තනිව නිරීක්ෂණය කිරීමේදී විවිධ ඉසව් පැතිකඩ හරහා දෝලනය වන බැව් වඩාත් පැහැදිලිය. වයස 24දී ජීවිතයේ සුවිශේෂි සිදුවීම් ඇතිවේ. 32දී හදිසි ධනලාභවලට මඟ පෑදේ. වයස 30 කාලය තුළ යුගදිවියට පා තැබීමට වරම් හිමි වේ. පෙම් සබඳතා ගොඩනැඟෙන්නේ වයස 23දීය. සමහර විට ඒවා බිඳ වැටීමකට හේතු වේ. කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව හා සිරුරේ භාෂාව හරහා නිරීක්ෂණය කරන විට ඔබේ යටි සිතේ සැඟවුණ අතිශයින්ම පෞද්ගලික එක්තරා කරුණක් කාටත් හොර රහසේම ක්‍රියාත්මක විය හැකිය.

රහස්‍යමය සබඳතාවයකින් ඔබට ඔබේ සිත පාලනය කර ගැනීමට තරමක් අපොහොසත්ව හැසිරීමකට පෙලඹේ. සමහර විට එය තරමක මානසිකමය ගැටලුවක්ද විය හැකිය. හත නැකත හිමි දෙපක්ෂයටම මේ කාරණයට තුඩු දෙනු ඇත. කල්පනාකාරීව තම හැඟීම් පාලනය කර ගත යුතුම අවස්ථාවක් බැව් සිතිය යුතු වේ.

හත නැකත හා ඒ හා සම්බන්ධිත කරුණු කාරණා විශාල සංඛ්‍යාවක් ඇත්තේය. හත නැකතට ගැළපෙන යා කර ගත හැකි බලවත්ම නැකත් 15ක්ම ඇත්තේය. මේ එක එක නැකතක් හත නැකතට සංයෝග වූ විට ඇතිවන ප්‍රතිඵල එකිනෙකට වෙනස්ය. ඉතාම සංකීර්ණයි. නැකතකින් සිදුවන යහපත් හා අයහපත් සිදුවීම් විවිධ පැතිකඩක් නිර්මාණය වේ. මෙහි සඳහන් කරන්නට යෙදුණේ, ඉතාම සුළු තොරතුරුය. උදාවන නැකත් විසිහතම තුළ සුඛ හා සම අශුභ ඵලයන් ගොනු වී ඇත්තේය. විශේෂයෙන්ම නැකත වඩාත් ප්‍රයෝජනවත් වන්නේ එදිනෙදා අපේ ජීවිතයේ සිදුවන අතිශයින්ම වැදගත් ක්‍රියාවන්ටය. ඔබේ ජීවිතයේ ගලායන ආකාරය ගැන යම් යම් කරුණු කාරණා මේ තුළ අන්තර්ගත වී ඇති බැව් දක්වමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.