විනෝදයට ප්‍රිය පුවපල් නැකැතින් උපන්නෝ

මැයි 10, 2024

පුවපල් නැකතින් උපන් අය පංචපක්ෂි ක්‍රමවේදයට අනුව පිංගල හෙවත් බකමුහුණාට අයත් වේ. අන්‍යයන්ට වඩා සුවිශේෂි සහජ දක්ෂතාවයන්ගෙන් යුක්ත වන අතර, එතරම්ම කැපී පෙනෙන බාහිර චරිතාංගයන්ද අඩුය. කිසිම හේතුවක් නැතිව හිටිගමන් කිපෙන සුළුය. කතා බස් කිරීමේදී වචන වැරදුණ හොත් පුවපල් නැකත් හිමියා නිහඬවන ගතියක්ද ඇත්තේය. වාග් ප්‍රහාර එල්ල කරයි. තමා ගන්නා තීරණ කිසිම අයුරකින් වෙනස් කිරීමට ද අකමැතිය. ඉතාම සුළු දෙයක් වුවත් සිත තුළ සඟවාගෙන සිටීමේ ගතියක් ද තිබේ.

 

තරමක ලෝභීය. අන්‍යයන්ගේ උපදෙස්වලට කන් නොදෙයි. කෙනකු සමඟ කතාබහ කරන විට තමා ඉදිරිපත් කරන ඇතැම් අදහස් තදින්ම අල්ලාගෙන එයට අදාළ නැති අදහස් පවා ගෙන හැර දක්වමින් තරගකාරි කතාබහක යෙදේ. ඉතාම තදින්ම ලෞකික පැත්තට බර වූවෙකි. විනෝදයට පි‍්‍රයයි. සිත් රිදෙන හෝ රිදවන කිසිවක් නොකරයි. පහසු දිවියක් පි‍්‍රයකරන අතර සොබාදහමේ රස විඳියි. විශාල ලෙස අතමිට සරුසාර නොවුණත් අතට ලැබෙන සම්පත්වලින් ක්‍රමවත්ව සිය වැඩකටයුතු කිරීමේ දක්ෂයෙකි. තවද කලාත්මක දෑ නව නිර්මාණවලට අතිදක්ෂ නිසා ව්‍යාපාර හා මූල්‍යමය සම්පත් සොයා ගැනීමට දක්ෂ වේ. අර්ථ ශාස්ත්‍රවේදියෙක් නූණත් අරපිරිමැස්ම අතින් අංක එකේය. කාර්යශූරයි.

උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේ ජන්ම වාසනාව හිමි අයෙකි. නීතිය, ඉංජිනේරු, ගණකාධිකාරි මානව සම්පත් කළමනාකරණය, කෘෂි අංශය තෘණ හා වී ඇට පර්යේෂණ ක්ෂේත්‍රයන් හැදෑරීමට සමත්වන වාසනාවක් නිතැතින්ම පිහිටා තිබේ. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ උසස් තනතුරු දැරීමට වාසනාව උපතින්ම ලැබී තිබේ. නැකතටත් වඩා ලග්නයේ පවතින ඇතුළත ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව ජීවන තත්ත්වයේ වෙනස්වීම් ධනාත්මක පැත්තට හැරේ.

පුවපල් නැකත හිමි වන ග්‍රහයා සිකුරුය. ලෞකික පැත්තේ රස සෞන්දර්යාත්මක හැඩතල රිද්ම රටාවේ ඉහළම තැනක් හොබවයි.

ජයග්‍රහණය උදාකර ගැනීමට ඉතාම සමත්ය. තමා ගත් තීරණයන් ද වෙනස් නොකරයි. ඉවසිලිවන්තයි. ප්‍රවේසම් සහිතයි. පවුලේ සාමය සහ සහයෝගිතාවයට ගරු කරයි. මිත්‍රකම පවත්වා ගෙනයාමට දක්ෂයි. අවංක කල්‍යාණ මිත්‍රයකුද වේ. පහසුවෙන් මිතුරු වේ. අසාර්ථක වන්නේ ඉතාම කලාතුරකිනි. ජීවිතයේ මුල් කාලයේදී තරමක් අරගලකාමී විය හැකිය. ආර්ථිකය ඉතාම යහපත් අතට ද හැරෙන්නේ වයස 27 සිටයි. 46 වන විට තරමක ආර්ථිකයක් ගොඩනඟා ගනී. ඔබට ඇත්තේ මිත්‍රයින් ටික දෙනෙකි. ජීවිතයේ දිගුකාලීන මිත්‍රකම් පවත්වා ගෙන යෑමට අන්‍යයන්ට ඔබ සුහද හදක් ඇති අගනා චරිතයකි. අන්‍යයන්ට උපදෙස් දීමටද දක්ෂයි. එසේම ඒ අයගෙන් ඔබට ගත යුතු ආදර්ශයන්ද උකහා ගනී. අන්‍යයන් ගරහන චරිතයක් නොවේ. නමුත් ඔබට ගැරහීමට තැත් කරන අයද සිටී. තරමක දුර්වලකමක් වන්නේ අන්‍යයන් ගැන එකවරම පිළිගැනීම නිසා තරමක ගැටලුකාරි තත්ත්වයන්ට ද මුහුණපෑමට සිදු වන බැවිනි. ඔබව පහසුවෙන් කිසිම කෙනෙකුට රැවටිය නොහැකිය. ජීවිතයේ සැඳෑ සමය තුළ ඔබට හොඳම මිතුරා වන්නේ කවුද? පොත්පත්ය. පුවපල් නැකත් හිමියන් වැඩි දෙනෙක්ම අප දන්නා පරිදි පොත පතට ඇබ්බැහි වූවන්ය. සමහර විට ඇවිදින පුස්තකාල ගණයට ද වැටෙන බැව් පෙනේ. සෑම අයෙක්ම මේ තලයට හසු නොවේ. එහෙත් සමහර විට මේ නැකතින් එවැනි ක්ෂේත්‍රය නියෝජනය කෙරේ. පෙම් සබඳතාවයක් මත යුගදිවියට පා තබයි. පේ‍්‍රමයට සීමා මායිම් නැතුවා සේම ඔබ පෙම්වතියන් කීප දෙනෙකුගේම ආදරය දිනන අයෙකු විය හැකිය. ලිහන්න තියෙන මලු ඔබා බලන කෙනෙක් නොවේ. එවැනි පහත් පෙළේ මානසික කෑදරකමක් ඔබේ සිත තුළ ගෑවීවත් නැත. උත්තරීතර ආලය, ආදරය, සොම්නස, ළෙන්ගතුකමට වැඩියෙන් රුචිකත්වයක් දක්වයි.

පැන යන මුවන් දැක නොදමව් නෙළූ පලා

යන්න දෙපක්ෂයටම සමාන වන්නේය.

පුවපල් නැකතින් උපන් කාන්තාව හරිම හැඩකාරියකි. සුකෝමල චරිතයකි. අඟපසඟට වැඩි පුර කැමැත්තක් දක්වන්නීය. දවසේ වැඩිපුර කාලයක්ම ඔබේ කල්‍යාණ මිතුරිය වන ඇඟ පේන කන්නාඩිය සමඟ ඇසුරු කරන්නීය. ඔබේ සිරුරට ඔබ හරි කෑදරයි. කාමශක්ත ගතියක් ද ගෑවී තිබේ. ඔබ ස්වයං මෝහනයකට පත්වන සුන්දරියකි.

ඔබට සතුරන් අඩුයි. රාජ්‍ය අංශයේ උසස් තනතුරු දරන්නීය. ගෘහ පාලනයට දක්ෂයි. සහජ දක්ෂතාවයක් ඇත. යහපත් පින්වත් පෝසත් සැමියෙක් ලබා වාසනාවන්ත දරුවන් හිමි වේ.

මේ නැකතින් දැරියක මල්වර වී නම් තරමක ඍනාත්මක පැත්තක් ගනී. නමුත් සිකුරු බලවත් නම් සෞභාග්‍ය උදාකරයි. පොතේ දක්වන අන්දමටම සියලු කරුණු ඉටු නොවේ. කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීමේ රටාව උපතින්ම ඉතාම ප්‍රබල තලයේ නම් සෞභාග්‍යය උදාවේ.

පළමුවැනි හා දෙවැනි පාදවලින් මල්වර වී නම් සිකුරු බල ශක්තිය හරහා කලාත්මක අංශයේ වැඩකටයුතුවලටත් එවැනි රැකියා පැත්තට නැඹුරු වේ.

3 වැනි පාදයේ නම් පෙම් සබඳතා වැඩි වේ. ගැටලු පැන නඟී. බුද්ධිමත් වීම මැනවි.

4 එතරම් සුබත් අසුබත් නැත. මැදමාවතේ ජීවන ගමන ගෙවයි. පේ‍්‍රමය නිසා ගැටලු ඇති වේ. පුවපල් නැකතට කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, දෙට, අස්ලිස, රේවතී, අස්විද , මා මුල ගැළපීම් ඇත. සුබයි.

රෙහෙණ, හත, සුවණ, අද, සා සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, නැකත් අසුබයි. විවාහ කටයුතුවලදී සම්පත් ක්ෂේම මෛත්‍රී, පරම මෛත්‍රී, නැකත් හිමි අය තෝරාගැනීම අනිවාර්ය වේ.

ඔබ පුවපල් නැකත් හිමියකු නිසා විවාහ කටයුතුවලදී පොරොන්දම් සීහුම්වලටත් වඩා දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාව ගැළපීම ගැන ගැඹුරින් විමසා බැලීම අනිවාර්ය වේ. මුලින් සඳහන් කරන්නට යෙදුණ සුබ නැකත් ගැළපීමේදී සම්පත් ක්ෂේම පරම මෛත්‍රී මෛත්‍රි යන තල පහද ඉතාම ධනාත්මක පැත්තක වීමත් සුබදායක වේ. බොහෝ දෙනකු ආවාට ගියාට ඔහේ නිකම්ම නිකම් නැකත් බලති. ඊට වඩා නැකත් තුළ ඇති අන්තර් සබඳතා මෙන්ම මූල ක්‍රියාකාරීත්වය ගැනද විමසා බැලිය යුතු වේ.

විවාහය ආවාට ගියාට කළාට මදි. විවාහ වීම පහසු වුණත් විවාහය අවසන් කාලය තුළ දක්වාම ධනාත්මකව ගෙන යාමට නැකත්වල බලයන් ග්‍රහ හැසිරීම් රටාවේ ශක්තිය පරිපූර්ණව ඇතිදැයි ඡ්‍යොතිෂ විද්‍යාත්මකව බැලිය යුතු වේ. නැකත් 27 තුළම එකිනෙකට වෙනස් ක්‍රමයන් අඩංගු වී ඇත්තේය. සර්ව සම්පූර්ණ දිව්‍යමය තත්ත්වයේ නැකතක් වුවත් සමහර විට අවස්ථානුකූලව යම් යම් වෙනස්කම් වීමට ඉඩ ඇත්තේය. අපට අවශ්‍ය වන්නේ නැකත හරහා අපේ ජීවන ගමන ආලෝකමත්ව ගෙන යෑමට උත්සාහ කිරීමයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.