ජ්‍යොතිෂය ප්‍රායෝගිකව අත්හදා බැලූ යතිවරයාණෝ

බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමිපාණෝ
සැප්තැම්බර් 15, 2023

කුඩා කල සිටම කසාවතට අශා කළ කුඩා දරුවකු විය. එනිසාම සෑම මසකම පොහොය යෙදෙන දිනවල තම මෑණියන් සහ පියාණන් සමඟ පන්සලේ සිල්සමාදන් වන්නට මේ සිඟිත්තා අමතක නොකළේය. දරුවන් අට දෙනකුගෙන් යුතු පවුලේ බඩපිස්සා වූ මේ දරුවා පන්සලට නිතර යන එන ගමන සංසාර පුරුද්දක් වන්නට ඇත. මේ නිසාම කල්යත්ම පැවිදිවීමේ අශාව දලු ලා වැඩෙන්නට විය. එයට ඔහුගේ මවුපියන්ගෙන් ද හිමි වූයේ දිරිමත් කිරීමකි. පවුලේ සහෝදරියන් පස්දෙනාත් සහෝදරයින් තිදෙනාත් සමඟ ගෙවුණු ළමා වියේදීම මේ පින්වත් දරුවා මහණදම් පුරන්නට ශාසනයට ඇතුළත් වී පැවිදි දිවියට පත්වන්නේ බෙල්ලන ඤාණවිමල නමිනි.

 

තමා පැවිදි දිවියට ඇතුළත් වූ අන්දම පිළිබඳ උන්වහන්සේ මෙලෙස පවසා ඇත.

‘එදා තාත්තා මාව මහණ කරනවා යැයි කියන කොටම මගේ ඇඟට අමුත්තක් දැනුණා. මගේ ඇඟ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇඟ පුරාම කිසියම් දෙයක් ගමන් කරනවා වගේ දැනුණා. මා සිතනවා සසර පුරුද්දක් ලෙස මේ මහණකම මට උරුම වුණා කියලා.” මෙලෙස කුඩා වියේදීම මහණ දම් පිරූ උන්වහන්සේ පසුකළෙක රටම හඳුනන්නේ ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන් ලෙසිනි. ඤාණවිමල හිමියන් වූ කලී මහා දැනුම් සාගරයකි. ඥාන කෝෂ්ඨාගාරයකි. එහිමියන් මේ සමාජයේ බොහෝ දේවල් දුටුවේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස නොව ඒ පිළිබඳ මහා පරිඥානයකින් යුතුවය. උන්වහන්සේට සිංහල, ඉංග්‍රීසි, පාලි, හින්දි, සංස්කෘත, තර්කන්‍යාය, ඡ්‍යොතිෂය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි අතිශය විශිෂ්ට කෘශාන්ත බුද්ධියක් සතු විය. තම පාණ්ඩිත්‍යයට ගැළපෙන අයුරින් ඇවතුම් පැවැතුම් කතා විලාස සහිත වූ හිමි නමක් ලෙස තම ශාස්ත්‍රීය අත්දැකීම් තමාගේ ශිෂ්‍යයන් සමඟ බෙදාහදා ගන්නට උන්වහන්සේ කිසිවිටෙක පසුබට නොවූහ. තම දැනුමින් කිසිවිටෙක උදම් නොවූ උන්වහන්සේ ඉතාම නිවුණු, ඉතාම ශාස්‍ත්‍රීය සංයමයකින් යුතුව තම විෂයය හැසිර වූ යතිවරයාණන් වහන්සේ නමකි. ඡ්‍යොතිෂය පමණක් නොව ඒ හා බැඳුණු භූත වේදය, අනතරා භවය, භවගත සම්බන්ධයන්, සසර ගමන වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් හි බොහෝ කරුණු පිළිබඳ පර්යේෂණාත්මක ගවේෂණයන් හි නියැළෙමින් තොරතුරු එක්රැස් කරමින් ඒවා ඉතා පැහැදිලිව ඉදිරිපත් කළ උන්වහන්සේ මේ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ පොත් ගණනාවක් රචනා කර තිබේ. ඉංග්‍රීසි, පාලි, හින්දි සහ සංස්කෘත භාෂාවෙන් පොත් සහ ලිපි රාශියක් ප්‍රකාශයට පත් කර තිබේ.‘‘ජීවන රටාව සහ සසර පැවැත්ම, පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොව‘ උන්වහන්සේ රචනා කළ ඡ්‍යොතිෂයට සම්බන්ධ කෘතීන් අතර වැදගත් කෘති දෙකකි. එම කෘති කියවා බැලූ කළ බෙල්ලන ඤණවිමල නායක හිමියන්ගේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය චින්තනයේ ප්‍රබලත්වය පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව පවතී. මේ පිළිබඳව පුවත්පත්වලට ද ලිපි විශාල සංඛ්‍යාවක් උන්වහන්සේ සපයා ඇත. එම ලිපි අතර මෝහනය, ජ්‍යොතිෂය සහ අන්තරාභවය යන ලිපිවලට විශාල පාඨක අවධානයක් යොමු විය.

 

උපත

කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ බෙල්ලන ග්‍රාමයේ බෙල්ලන විතානගේ බාරොන් අප්පුහාමි සහ පල්ලියගොඩ විතානගේ අමරිසාහාමි යුවළට 1920 මාර්තු 26 වැනි දිනය සුවිශේෂී දිනයක් විය. ඒ දරුවන් හත්දෙනකු ගෙන් යුතු තම පවුලට අට වැන්නා ලෙස පින්වත් පිරිමි දරුවකු උපත ලැබීමයි. මේ පින්වත් කුමරුවාට ඡ්‍යොතිෂාස්ත්‍රානුකූලව නම තැබුණේ බෙල්ලන විතානගේ නෝනිස් ලෙසය. දරුවා උපන් මොහොතෙහි දරුවාගේ වේලාපත්කඩය පරීක්ෂා කර බැලූ ඡ්‍යොතිෂවේදියා පවසා සිටියේ මේ පින්වත් කුල කුමරුවාට මහා බල සම්පන්න ශ්‍රමණ යෝගයක් පවතින බවයි. මේ දරුවා පැවිදි නොවුණ හොත් මෙරට කීර්තිමත් පඬිරුවනක් වන බව ඔහු සැකයකින් තොරව පවසා සිටියේ කේන්දරයේ වූ ප්‍රබල ග්‍රහ බලය නිසාය.

අධ්‍යාපනය හා පැවිදි දිවිය

නෝනිස් කුඩා දරුවා තම අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් කෙරුණේ බෙල්ලන ප්‍රාථමික විද්‍යාලයටයි. පසුව 1929 මැයි 23 වැනි දින බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේදී රන්තොටුවිල සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ මේ කුඩා දරුවා පැවිදි දිවියට ඇතුළත් වන්නේ සසර පුරුද්දට මෙනි. ඒ බෙල්ලන ඤාණවිමල නමිනි. එතැන්පටන් බෙල්ලන ධර්මපාල පිරිවෙනෙන් සිංහල, පාලි සංස්කෘත, ප්‍රාකෘත, හින්දි, ඉතිහාසය සහ තර්ක ශාස්ත්‍රය, ජ්‍යෝතිෂ ශාස්ත්‍රය එහිමියෝ ඉගෙන ගත්හ. ප්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටිමින් ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථ්‍යයක් සහිතව ප්‍රාචීන පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූහ. බෞද්ධ ගුරුවරයකු ලෙස බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඤාණවිමල හිමියෝ 1950 දී එහි ප්‍රධානාචාර්ය ධුරයට පත් වූහ. 1976 දක්‌වා එම තනතුර දැරූ උන්වහන්සේ 1976 දී ආගමික හා ශාස්ත්‍රීය අධ්‍යාපනයේ දියුණුවට විශාල මෙහෙවරක්‌ කළහ. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ අනතුරුව එම පිරිවෙනේ නියෝජ්‍ය විදුහල්පති ධූරයට පත් වූහ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ඤාණවිමල හිමියෝ කටයුතු කළහ. මේ කාලයේ උන්වහන්සේ තම දැනුම බෙදා දුන් ශිෂ්‍ය පිරිවර මෙතෙකැයි පැවසිය නොහැකිය.

ධර්ම දූත සේවය

මේ සියලු කටයුතු අතරේ මහාබෝධි ධර්මදූත විද්‍යාලයේ ධර්මදූත සේවය සඳහා උන්වහන්සේ ඉන්දියාවට වැඩියහ. ඉන්දියාවට ගොස් එම කටයුතු ඉටුකරත් දී ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ තවදුරටත් හදාරන්නටත් පර්යේෂණ කටයුතුවල නිරත වන්නටත් උන්වහන්සේට හැකි විය. ඊට අමතරව ඤාණවිමල හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ අවස්ථාවලදී එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ජපානය තායිවානය, මැලේසියාව, තායිලන්තය, කොරියාව සහ චීනය වැනි රටවල ධර්මය බෙදාදීම පිණිස සංචාරය කළහ. එහි දී ද උන්වහන්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන්වල නිරත වූහ. බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් ඡ්‍යොතිෂය පිළිබඳවත් මේ මහා පඬිරුවන පර්යේෂණවල නිරිත වූහ.

 

ඡ්‍යොතිෂ පර්යේෂණ

නිරන්තරවම සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ සොයා බැලීම උන්වහන්සේගේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ අංගයක් විය. ග්‍රහලෝකයක් ලෙස සක්වළෙහි මව වූ චන්ද්‍රයා පිළිබඳව උන්වහන්සේ විශිෂ්ට අධ්‍යයනයන් සිදු කළහ. නැකැත් පිළිබඳව, චන්ද්‍ර රාශි, චන්ද්‍ර චාරය පිළිබඳ උන් වහන්සේ විවිධ අධ්‍යයනයන් සිදු කළහ. ඒ අනාගත ජ්‍යොති‍ෂවේදීන්ගේ මතු ප්‍රයෝජනය උදෙසාය. සක්වළ පිළිබඳ පර්යේෂණාත්මක විවිරණයක යෙදුණු උන්වහන්සේ ඒ පිළිබඳ වටිනා අදහස් පළ කළහ. වරෙක උන්වහන්සේ අපට කිසිසේත් තේරුම්ගත නොහැකි සක්වළ පිළිබඳ එනම් අප ජීවත් වන ලෝකය පිළිබඳ මෙවැනි විවරණයක යෙදෙති. ‘ඉරෙහි - හඳෙහි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් කියනවා. ලෝකය, චක්‍රවාටය, චක්‍රවාළය, ක්‍ෂීර පථය, මන්දාකිණිය හා සෞරග්‍රහ මණ්ඩලය ආදී විවිධ නම්වලින් හඳුන්වන්නෙත් මේ ‘ සක්වළ’ ම තමයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහ ලෝක මේ සක්වළට අයත් වෙනවා. ඒ වගේම, මේ සක්වළ තුළ අපට පෙනෙන නොපෙනෙන විවිධ ජීව – අජීවී ලෝකත් පවතිනවා. මේ ලෝකය දිය බුබුළක් හා මිරිඟුවක් බඳු යැයි ධම්ම පදයේ ‘ ලෝක වග්ගයේ’ විස්තර කර තිබෙනවා. යනුවෙන් සාමාන්‍ය මිනිසාට තේරුම් ගත හැකි අයුරින් ඡ්‍යොතිෂ විෂය කරුණු මෙන්ම දහම් කරුණු ද ගෙන හැර දැක්වූහ.

මෙරට ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් වූ ගුණපාල මුතුතන්ත්‍රී, මුවගම ඥානසීහ හිමියන් වැනි ශාස්ත්‍රීය පඬිවරුවන් සමඟ ඔවුන්ට ගුරුහරුකම් දෙමින් ඤාණවිමල හිමියෝ ළඟින්ම ආශ්‍රය කළහ. බුද්ධ ශාසනය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති, පිරිවෙන් අධ්‍යාපන කාරක සභාවේ සභාපති, පස්වැනි වෙළුමේ මහාවංශ සම්පාදන කමිටුවේ ප්‍රධාන කර්තෘ සහ සභාපති, ශ්‍රී ලංකා ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ සභාපති , බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජික සහ ප්‍රාචීන භාසෝපකාර සමිතියේ කාරක සභික යනාදී ලෙස ආගමික, අධ්‍යාපනික හා සමාජීය ආයතනවල වගකිවයුතු තනතුරු රැසක් හොබවමින් නායකත්වය දරමින් උන්වහන්සේ තම දැනුමෙන් හා ශාස්ත්‍රයෙන් ශ්‍රී ලාංකීය සමාජයට විශාල දායකත්වයක් ලබාදුන්හ.

මෙලෙස උන්වහන්සේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු, අති දක්‍ෂ ගුරුවරයකු, දක්‍ෂ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකු, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිදු කරන ලද විශේෂ සේවාවන් රැසකි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දුප්පත් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා 1960 දී ධර්මපාල පිරිවෙන විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනයක් බවට පත් කිරීම, 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අතිරේක කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් පිරිවෙනේ ඉදිරි කළමනාකරණ කටයුතු දියුණු කිරීමට කටයුතු කිරීම, වසර 25ක විශිෂ්ට සේවයකින් පසු විද්‍යෝදය පිරිවෙනේ නියෝජ්‍ය විදුහල්පති ධූරයට පත් වී එය වැඩි දියුණු කිරීම ඉන් කිහිපයකි. 2004 වර්ෂයේදී අනුරාධපුර විශ්වවිද්‍යාලයේ මහා භික්ෂු මණ්ඩලය විසින් ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට ආගමික සහ ජාතික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට පණ්ඩිත උපාධිය පිරි නමන ලද්දේය.

සිංහල, පාලි,සංස්කෘත, හින්දි මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්හි හසල නිපුනත්වයක් තිබූ උන්වහන්සේ ධර්මධර, විනයධර යතිවරයන්වහන්සේ නමක් ලෙස පූජෝපහාරයට නිරන්තරයෙන් පාත්‍ර විය. බෙල්ලන මහනාහිමියෝ දෙස් විදෙස් පතළ කීර්තිමත් මහ නාහිමිනමකි. විශිෂ්ට ගණයේ ගත්කතුවරයෙකු වූ මහනාහිමියෝ විද්‍යාව, බුදුදහම, ඡ්‍යොතිෂය අතර ඇති සබැඳීයාවන් පිළිබඳ කරනු ලබන විග්‍රහයන් දෙස් විදෙස් බුද්ධිමත් ජනතාව ඉමහත් සතුටින් වැලඳගත්හ. සම්බුද්ධ ශාසනය සහ ජ්‍යෙතිෂය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ බෙල්ලන මහනාහිමියන් අවුරුදු 95ක් ආයු වලඳා ජාතික, ශාසනික මෙහෙවර හමාර කර දැයෙන් සමුගත්තේ උන්වහන්සේ සිදුකළ සේවය පිළිබඳ තවත් වසර දහස් ගණනක් කතාබහ කරන්නට සමාජයේ කරුණු කාරණා ඉතිරි කර තබමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.