ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ගීත කලාවට සේවය කළ යතිවරයාණෝ

මීගහවෙල සුමනශාන්ත හිමි
නොවැම්බර් 24, 2023

 

ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්

මම ආසකරන මැණික් කැටේ නිල්
දුර ඈත කැළේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්......

ගීතය වගේම

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ....

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ.....

 

ප්‍රතිභා සම්පන්න ගායන ශිල්පී නිහාල් නෙල්සන් සූරීන් ගැයූ මේ ගීත දහස් වරකට වඩා ඔබත් මමත් රස විඳ ඇතුවාට නම් සැකයක් නැත. මේ ගීත තරමටම එම ගීත රචනයේ දස්කම් පෑ සරත් මුණසිංහ ශූරීන් ද ජනතාව අතර ජනප්‍රිය විය. සරත් මුණසිංහයන් පසු කලෙක පැවිදි දිවියට එක් වූයේ මීගහවෙල සුමනශාන්ත හිමි නමිනි.

කවිය, ගීත රචනය මෙන්ම ලේඛනය යන කලාවන්හි නිපුණත්වයක් ලද සරත් මුණසිංහයන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන්ද නමක් දිනූවකු ලෙස හැඳීන්විය හැකිය. පසු කලෙක මීගහවෙල සුමනශාන්ත හිමියන් ලෙස පැවිදි දිවියට එකතු වුවද ගිහි කල ප්‍රකට ජ්‍යෙතිෂවේදියකු ලෙස කටයුතු කර ඇති උන්වහන්සේ පැවිදි දිවියේදී ද ජනතා සුබ සිද්ධිය සඳහා ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වූහ.

මේ ලියැවෙන්නේ මීගහවෙල සුමනශාන්ත හිමියන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් සිදු කළ සමාජ මෙහෙවර පිළිබඳවය.

 

උපත

මාතර සිංහ සෙවණ නිවෙසට 1945 නොවැම්බර් මස පස්වැනි දිනය සුවිශේෂී දිනයක් විය. මුදියන්සේගේ දොන් දියෝනිස් සහ එදිරිසිංහ ආරච්චිගේ ඩිංගිහාමි යන දම්පතීන් යුවළ සිඟිති පුතකුගේ සුරතල් බැලූ ප්‍රථම දිනය එදාය. මේ කුඩා පුත් රුවන උපදින මොහොතේ නැගෙනහිර සිතිජයේ උදාව පැවතියේ කුම්භ රාශියයි.

සිඟිත්තාට උදාව පැවැති ග්‍රහ බල තත්ත්වයන් සලකා බලමින් මේ කුඩා දරුවාට නම් තැබූ ජ්‍යෝතිෂවේදියා දියෝනිස් මහතාට පවසා සිටියේ, සමාජයට වැඩදායක පුද්ගලයකු වනවා සේම රටේම නම ගිය පුද්ගලයකු වීමේ භාග්‍යය මේ සිඟිත්තාට ඇති බවය. එපමණක් නොව මහණදම් පිරීමේ යෝගයක්ද මේ පුත් රුවන සතුව ඇති බව බැලූ බැල්මට කේන්දරයේ සටහන්ව ඇති බව ජ්‍යෝතිෂවේදියා පැවසුවේය.

කල්තියාම මේ පිළිබඳ දැනගත් දියෝනිස් යුවළ කුඩා පුතුට සරත් මුණසිංහ යන නාමය තබන ලදී. ඔවුනගේ එකම පරමාර්ථය වූයේ දරුවාට හොඳීන් ඉගැන්වීමයි. ඒ අනුව කුඩා දරුවා අධ්‍යාපනය සඳහා ඇතුළත් කරන ලද්දේ සමාජ නායකයන් රැසක් තැනූ ගාල්ල රිච්මන්ඩ් විදුහලටය.

 

අධ්‍යාපනය

ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් සිප්සතර හැදෑරූ සරත් කුඩා කල සිටම අධ්‍යාපනයට දැක්වූයේ දක්ෂතාවයකි. ගණිත ශාස්ත්‍රයට, කවි ගීත රචනයට සේම ලේඛනයට ද ඔහු වැඩි දක්ෂතාවයක් දැක්වූයේය. කවි රචනයට ගීත රචනයට ලේඛනයට දැක්වූ දැක් වූ දක්ෂතාවය නිසාම කුඩා කල සිටම පුවත්පත්, සඟරාවලට කවි,ගීත, ලිපි ලිවීම ඔහුගේ දිවියේම පැතිකඩක් විය. සාහිත්‍ය පත පොත ද නිසි ලෙස ඇසුරු කරන්නට ඔහුට හැකි විය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීම

ලංකාවේ ප්‍රකට ඡ්‍යොතිෂවේදියකු වූ දොන් පිලිප් ද සිල්වා අප්පුහාමි ඡ්‍යොතිෂවේදියාණන්ගේ පුතකු සරත් මුණසිංහයන්ගේ පාසල් මිතුරකු විය. පාසල් වියේ සිටම මිතුරකු වූ ඔහු නිසා ඡ්‍යොතිෂය පතපොත නිතර පරිශීලනයට නිතැතින්ම සරත් යොමු වූයේ එය තම පෙර පින අනුවම තමා වෙත පැමිණි විෂයයක් බවට පෙරළමිනි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව තවදුරටත් තම මිතුරා වූ හෙට්ටිගොඩයන්ගෙන් ද දැනුම ලබන්නට විය. මෙහි ප්‍රතිඵලයක් වූයේ සුබ මුහුර්ත, නැකැත් සහ ජන්මපත්‍ර සාධනය මෙන්ම ඡ්‍යොතිෂය පලාපල පිළිබඳව ද ඔහුට මනා පරිචයක් ලැබීමයි. ඔහු සතු වූ සුවිශේෂී ගීත රචනා කලාව සුපෝෂණය කිරීමේදී ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුම උපකාරීවන්නට ඇතැයි සිතිය හැකිය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රය සමඟ සංස්කෘත පාලි පිළිබඳ අධ්‍යයනයක් ද නිතැතින්ම සරත් මුණසිංහයන් සතු විය.

 

විවාහය

තරුණ වියේදී විවාහයට පත් සරත් මුණසිංහයන් දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔවුන්ගේ ජන්ම පත්‍ර මෙන්ම ඔවුන් පිළිබඳ අනාගත පලා පල ඔහු නිවැරදිව පැවසුවේ ඡ්‍යොතිෂය පිළිබඳ දැඩි විශ්වාසය මෙන්ම නිවරැදි බව නිසාය. ඒ පිළිබඳ සරත් මුණසිංහයන්ගේ පුතු යසස් ශ්‍රී මුණසිංහ මහතා මෙලෙස පවසයි.

‘‘තාත්තා තුළ පැවති ඡ්‍යොතිෂමය දැනුම ගැන ඇත්තටම මට සතුටුයි. ඔහු සාහිත්‍ය කලාවෙන් ගීත කලාවෙන් වගේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙනුත් ඉදිරියට ගියා. සමාජයට විශාල සේවයක් ඒ ඔස්සේ සිදු කළා. මම හිතන විදියට අපේ කේන්දර වගේම තවත් ගමේ විශාල පිරිසකගේ කේන්දර තාත්තගේ සුරතින් ලියවුණා. ඔවුන් පිළිබඳ විවිධ අනාවැකි කියැවුණා. ඔහු අපට පැවසූ අනාවැකි හරියටම හරි ගියා. තාත්තා මට කිව්වේ වෙනත් රැකියාවල මම වැඩි කාලයක් වැඩ නොකරන බවත් මා දැනට නිරත වී සිටින හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවෙන් ඉදිරියට ගිය හැකි බවයි. අද එය සැබෑවක්ව පවතිනවා. තාත්තා තමයි අපේ ජීවිතයේ සෑම සුබ වැඩකටම නැකැත් ලබාදුන්නේ. ඒ වගේම මට මතකයි තාත්තා මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට ඒ අය ව්‍යාපාර පටන් ගන්නා මුල් අවධියේ නැකැත් හදලා දුන්නා. අද ඒ ව්‍යාපාර දලු ලා වැඩී පවතිනවා. තාත්තා මුල් වී පිහිට වූ ‘ශ්‍රී සුමන අභයදාන පදනම’ අද එම ව්‍යාපාරිකයන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබනවා. ඔවුන් අප සමඟ තාත්තා වෙනුවෙන් නොයෙක් පින්දහම් කටයුතුවල නිරත වෙනවා. ව්‍යාපාර අංශයෙන් වගේම විවිධ අංශයන්ගෙන් ඉහළට යන්නට තාත්තා ඔවුන් වෙත ලබා දුන් සුබ නැකැත් වගේම ඡ්‍යොතිෂ කරුණු කාරණා බලපාන්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඇත්තෙන්ම අපිට පැවසු අනාවැකි අද සැබෑ වී තිබෙනවා.” යසස් මහතා පවසන්නේ සතුටිනි.

 

ගීත කලාව හා ඡ්‍යොතිෂය

සරත් මුණසිංහයන් තම යොවුන් වියේදීම ගීත රචනයට එක්විණි. ඔහු ලියූ පළමු ගීතය වන්නේ, මුතු මැණිකේ කළේ අරන්... යනුවෙන් සී. ටී. ප්‍රනාන්දු ගැයූ ගීතය යි. පසුව නිහාල් නෙල්සන් ගායකයා වෙත ගීත රැසක් රචනා කරන්නට ඔහු සමත් වූයේය. ඔහු රටේ ජනප්‍රිය ගීත රචකයකු බවට පත්වන්නේ මේ ගීත සමඟයි. මෙලෙස ජනප්‍රිය ගායකයන්ට ගීත ලියන අතරම ‘මධු බිඳු‘ නමින් ගීත කෘතියක් එළි දැක්වීමට ද ඔහු කටයුතු කළේය. මේ ගීත රචනය සඳහා මෙන්ම එම ගී තැටි එළිදැක්වීම සඳහා සුබ මුහුර්ත සාධනය ඔහු විසින්ම සිදු කරගනු ලැබුවේය.

සුබ ගණ පිහිටුවා ගීපද ගැළපූ නිසාම මේ ගීත ජනතාව අතර බොහෝ සම්භාවනාවට පාත්‍ර වූ බව සිතිය හැකිය. එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය ඇසූ අයෙකු මස් කෑම අත්හරින්නට දෙවරක් නොසිතන්නේ එනිසාවෙනි. අගනුවර තරුණ කවි සමාජයට එක් වන සරත් මුණසිංහයන් ‘කවිමඩුව‘ නමින් කැසට් පටයක් ද නිකුත් කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආගමික හා සංස්කෘතික නිලධාරීවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා වරාය අධිකාරියේ ‘ධර්ම යාත්‍රා‘ වැඩසටහන ආරම්භ කිරීමට පුරෝගාමී වූ අතර ග්‍රාමීය දුෂ්කරතා ඇති දුරබැහැර පන්සල්වලට උදව් උපකාර කරමින් එම පන්සල් නගා සිටුවීමේ වැඩසටහන් ආරම්භ කළේය. 1988-89 වකවානුවේ රටේ පැවැති භීෂණ වාතාවරණය සමඟ රැකියාවෙන් සමුගෙන ඉතාලිය වෙත ගිය සරත් මුණසිංහ මහතා එහි සේවය කරමින් ඉතාලියේ ශ්‍රී ලංකා සංස්කෘතික පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. වෙසක්, අවුරුදු උත්සව මෙන්ම, බෞද්ධ ආගමික කටයුතු සංවිධානය කළ අතර ඡ්‍යොතිෂ විද්‍යා කටයුතු ද ඒ අතර සිදු කළේය. ඉතාලියේ බොදුණු විහාරස්ථානයක් වූ ශාන්ත චිත්තාරාමයට සමීපව කටයුතු කළ සරත් මුණසිංහයන් එහිදී අනගාරික තත්ත්වයට පත්ව කටයුතු කළේය. එහි අධිපති අජාන් තනවාරෝ ස්වාමීන් වහන්සේ සමඟ එක්ව සරත් මුණසිංහයන් සුබ නැකතින් බොහෝ පුණ්‍ය කටයුතුවල නිතර විය. බෞද්ධ කණ්ඩාමක් සමඟ මෙරටට පැමිණ ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ඉතාලියට රැගෙන ගොස් සුබ නැකතින් එය රෝපණයට කටයුතු කළේය.

ඉතාලියේ සිට නැවත ලංකාවට පැමිණි ඔහු යළිත් හෙට්ටිගොඩ මහතා සමඟ එක්ව ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය කටයුතුවල නිරතවිය. ඒ අතර 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් දැඩි කම්පාවට පත්ව බෝපිටිය ගිරිවුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ දී දුණුවිල ශ්‍රී සුමනරත්න හිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වූයේ මීගහවෙල සුමන ශාන්ත හිමි නමිනි. ඒ තම බිරිඳ සහ දූදරුවන්ගේ ආශිර්වාදය ඇතුවය.

පැවිදි දිවියේ සිටිය දී මස් පිණිස ගෙන යන ගවයන් මරණයෙන් මුදාගෙන අභයදානය දීමේ අරමුණෙන් ශ්‍රී සුමන අභයදාන පදනම ආරම්භ කරන්නට එහිමියන් කටයුතු කළහ. අද උන්වහන්සේ ජීවතුන් අතර නොහිටිය ද එම අභය දාන සංගමයෙන් මරණයෙන් මුදවා ගත් ගවයන් දහස් ගණනකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සේම ගීත කලාවෙන්ද වැඩගත් සුමන ශාන්ත හිමියන් 2021 වසරේ අගෝස්තු මස 28 දින අපවත් වී වදාළේ උන් වහන්සේ ගුණ පිරි මතකය අප හදවත් තුළ ඉතිරි කරමිනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.