ප්‍රබල නැකැත් බලයෙන් නිසි වැඩගත් මහාචාර්යවරයා ගුණපාල මලලසේකර

දෙසැම්බර් 1, 2023

 

ඔහු හෙළයේ මහා පඬිරුවනකි. ශ්‍රී ලංකා මාතා නාමය සේම තම නාමයද දසත පැතිර වූ දුර්ලභ ගණයේ මිනිසෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ද පරතෙරට ගිය නැකැත් ශාස්ත්‍රයෙන් සුබපල නෙළූ සැබෑ ශාස්ත්‍රඥයෙකි. ගුණපාල පියසේන මලලසේකරයන් තම දැනුමෙන් සේම ඡ්‍යොතිෂයේ නැකැත් ශාස්ත්‍රයෙන් වැඩගත් ආකාරය අදට ද අප අබියස ජීවමානව මෙන් පෙනෙන්නේය.

ඒ පිළිබඳ පොත්පත් පුරා ලියැවුණු ලිපි ලේඛන සේම ඔහුගේ නැකැත් බලයෙන් ඉදිවුණ ගොඩනැඟිලි, පිළිරූ, සාක්ෂි දරනු ඇත. මේ ලියැවෙන්නේ ගුණපාල පියසේන මලලසේකරයන් බලගතු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් වැඩගත් ආකාරය පිළිබඳවය.

 

උපත

වර්ෂ 1899 නොවැම්බර් 08 වැනි දා පානදුරේ මාලමුල්ල ගම්මානයට තවත් එක් සුවිශේෂී දිනයක් වූයේ ය. එදින මාලමුල්ලේ සියදෝරිස් පීරිස් වෙද ආරච්චි සහ දෝන සෙලෙස්තිනා ජයවර්ධන කුරුප්පු දම්පතීන්ට දාව දෙවැනි දරුවා ලෙස මෙලොව එළිය දුටුවේ පින්වත් පුත් රුවනකි. මේ පින්වත් කුමරුවා මෙලොව එළිය දකින මොහොතේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ කටක ලග්නයයි. වෙදකමත්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් මනාව දැන සිටි සියදෝරිස් රාළහාමි තම කුඩා පුතණුවන්ගේ වේලාපත්කඩය පරීක්ෂා කර බලන්නට විය. බැලූ බැල්මට එම වේලාපත්කඩය ප්‍රබල ග්‍රහචාරයෙන් යුතු බව ඔහුට පෙනී ගියේ ය. මේ දරුවා විස්මිත ග්‍රහ බලයෙන් යුතුව උපත ලබා ඇත්තේ පෙර පිනෙන්ම බව පෙනී ගියේ ය.

රටේ ඉහළටම නම ගෙනයන මුළු ලෝකයේම නම බබළවන ප්‍රකට කීර්තිමත් පඬිරුවනක් වන බව ඒකාන්ත යැයි ඔහු සිනහවකින් මුව සරසා ගනිමින් තමා අසල සිටි බිරියට පැවැසුවේ ය.

කේන්දරයේ භාග්‍යස්ථානයේ රවි, බුධ, කේතු ග්‍රහයන්ගේ පිහිටීම නිසාම ඔහු ශිල්ප ශාස්ත්‍රයෙන්, ප්‍රඥාවෙන් ඉදිරියට යන ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද මැනැවින් ප්‍රගුණ කරන්නට සමත් අයකු වන බව සියදෝරිස් වෙද රාළහාමිට අවබෝධ විය. ඒ අනුව ජෝර්ජ් පීරිස් ලෙස නම් තබන තම කුඩා පුතණුවන් තම ඇස් මානයේම රඳවා තබා ගනිමින් ශිල්ප ලබා දෙන්නට ඔහු කටයුතු කළේ දරුවාගේ සියලු කටයුතු තමා විසින්ම සකසා ගත් නැකැත් අනුව පෙළගස්වමිනි.

 

අධ්‍යාපනය

වයස අවුරුදු තුනහමාරක් වන විට කුඩා ජෝර්ජ් පීරිස් ළදරුවාට අකුරු කියවීමට සියදෝරිස් වෙදරාළහාමි කටයුතු කළේ ය. එලෙස තමාට අකුරු කියවීම පිළිබඳ ගුණදාස මලලසේකර මහතා පසු කලෙක මෙලෙස ප්‍රකාශ කර තිබේ.

“මා අකුරු කියවන්නට සිටි දිනයේ උදෑසන කිරිබත්, කැවුම්, කෙසෙල් අනුභව කොට එදා හවස්වරුවේ මගේ පියා පානදුරේ මුහුදු වෙරළට බක්කි කරත්තයේ ගිය අයුරු මතකයි. මා පියාණන් මට මුහුදු වෙරළේ සෙල්ලම් කරන්නට ඉඩහැරියා. ඉන් පසු ටික වෙලාවකින් මට කතා කළා. සාමාන්‍යයෙන් ඒ කාලයේ අකුරු ලියවන්නේ පන්සලේ වැලිපිල්ලේ පණ්ඩිත හාමුදුරුවන් ලවානෙ. නමුත් මගේ පියා මට අකුරු ලියෙව්වා. ඒ මුහුදු වෙරළේ වැලි මතයි. තාත්තා එදා ඒ මතකය හැමදාමත් වගේ අප සමඟ කිව්වා. සුබ නැකතට මා එදා ලියූ සිංහල හෝඩිය සම්පූර්ණයෙන්ම මා නැවත පෙරළා නිවෙසට එන ගමනේ දී මගේ පියාණන්ට කටහඬින් පැවැසුවා. පසුව නිවෙසට පැමිණ එම අකුරු අඟුරු කැබැල්ලකින් නිවසේ බිම ලියූවා. මම හිතන්නේ මම අකුරු කියූ නැකතේ තිබූ ප්‍රබලත්වයත් එයට බලපාන්න ඇතියි කියායි” එලෙස ඔහු තම අකුරු කියවීම පිළිබඳ පවසා ඇත.

අවුරුදු පහ සම්පූර්ණවත්ම පානදුරේ ශාන්ත ජෝන් විදුහලට අධ්‍යාපනය සඳහා යොමු කළ ජෝර්ජ් පීරිස් කුඩා දරුවා සම්මුඛ පරීක්ෂණයකට යොමු විය. එහිදී මේ දරුවා තුළ පැවැති විශේෂ දක්ෂතාවය නිසාම එකවරම තුන්වන ශ්‍රේණියට ඇතුළත් කර ගත්තේ තමාගේ වයස මෙන් දෙගුණයක් වූ දරුවන් සමඟ අධ්‍යාපනය ලබන්නට ඔහුට වාසනාව හිමිකර දෙමිනි.

මේ සමයේදී හත්වැනි ශ්‍රේණිය වන විට ජෝර්ජ් පීරිස් දරුවාට භාෂා හය හතක් කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව පැවැතිණි. සිංහල, ඉංගී‍්‍රසි, පාලි, සංස්කෘත, ප්‍රංශ භාෂා චතුර ලෙස හැසිරවීමට ඔහුට හැකිවිය. තමාට වැඩිමහල් දරුවන් සමඟ අධ්‍යාපන කටයුතු ගෙන ගියද ඒ දරුවන් අබිබවා යමින් පන්තියේ පළමුවැනියා දක්වා උසස්වීමට ජෝර්ජ් පීරිස් දරුවාට හැකිවිණි.

මෙලෙස ඉගෙනුම ලබමින් සිටින සමයේ වයස අවුරුදු 9 දී පමණ අනගාරික ධර්මපාලතුමන්ව දැක ගැනීමේ භාග්‍යය ජෝර්ජ් පීරිස් දරුවාට හිමි වන්නේ ය. ජෝර්ජ් පීරිස් දරුවා දුටු අනගාරික ධර්මපාලතුමා නම කුමක්දැයි විමසූ විට ජෝර්ජ් පීරිස් යැයි මේ කුඩා දරුවා පැවැසුවේ ය. එවිට ‘මේ තරම් දක්ෂ දරුවකුට කුමටද ඉංගී‍්‍රසි නමක්. හොඳ ආර්ය සිංහල නමක් යොදා ගන්න’ යැයි පියාගේ ද පුතාගේද දක්ෂතා තේරුම් ගෙන සිටි අනගාරික ධර්මපාලතුමා පවසා තිබේ. ඒ අනුව සුබ ගණ පිහිටුවමින් ජෝර්ජ් පීරිස් යන නාමය වෙනුවට ගුණපාල පියසේන යන නාමය තම පුතුට යොදන්නට සියදෝරිස් වෙදරාළහාමි කටයුතු කළේ ය. ඉන්පසුව අධ්‍යාපනයෙන් පරතෙරටම ගිය ගුණපාල මලලසේකර වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව එහි වසර දෙකක් පමණ වෛද්‍ය විද්‍යාව හදාරා තම පියාගේ අභාවයෙන් පසුව බී.ඒ විභාගයට මුහුණ දී ඉන් සමත්ව මරදාන ආනන්ද විදුහලේ ගුරුවරයකු ලෙස සේවයට එක්විය.

 

ආනන්දයට කළ සේවය

පසු කලෙක ඔහුගේ දක්ෂතාවය හැකියාව සහ කැපවීම මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය නැකැත් ශාස්ත්‍රය පිළිබඳ තිබූ හැකියාව නිසාම ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දක්වා උසස් වන්නට ඔහුට හැකි විය. ඒ සඳහා ඔහු නැකතකින් වැඩ කිරීමට යොමුවීම හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තයට යන්නට ගුණපාල මලලසේකරයන්ට අවස්ථාව හිමි විය. එය ද සිදුවූයේ මලලසේකරයන් නැකතේ බලයෙන් වැඩගත් බැවිණි. එය ද රසවත් කතාවකි. එවකට ආනන්ද විදුහලේ විදුහල්පති වූ පී.ද ඇස්. කුලරත්න මහත්මා සිය පවුල සමඟ නිවාඩුවකට එංගලන්තයට පිටත්ව යන්නට සූදානම් විය. එහිදී ක්‍රියාවෙහි දක්ෂයකු වූ ගුණපාල මලලසේකරයන්ට ඔහු පවසා සිටියේ, මා එන විට ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නිවාසය සඳහා වූ ගොඩනැඟිල්ල සකසා නිමකර තබන ලෙසයි. එම අභියෝගය ඉතා සතුටින් භාරගත් මලලසේකරයන් තමාගේ ඡ්‍යොතිෂ දැනුම මනාව උපයෝගී කරගෙන සුබ නැකතක් සදා වැඩකටයුතු යළි ආරම්භ කළේ ය. ඔවුන් සිතුවාටත් වඩා ඉහළින් එම කාර්යය සාර්ථක වූයේ ය. නිවාඩුව ගත කර පෙරළා පැමිණි කුලරත්න මහතාගේ සතුට දෙගුණ තෙගුණ විය. ඒ අනුව මලලසේකර මහතාට ශිෂ්‍යත්වයක් පිරිනමා වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යැවීමට කටයුතු කළේ ය. එහි පිටත්ව ගියේද මලලසේකරයන් සුබ නැකැතක් සදාගෙන බව පැවැසේ.

එලෙසම බකිංහැම් මාලිගයේ දී පස්වැනි ජෝර්ජ් රජතුමා සමඟ සැඳෑ සාදයක් සඳහා සහභාගිවීමට ඔහුට ආරාධනා ලැබුණි. ඒ සඳහා ආර්ය සිංහල ඇඳුම ඇඳ ප්‍රබල නැකතක් සදා ඒ අනුව පිටත් වන්නට ඔහු කටයුතු කළේ ය. ඒ සුබ නැකැත ඔහුට වාසනාව උදා කළේ ඔහු පිළිබඳවත් අප ශ්‍රී ලංකා මාතාව පිළිබඳවත් පැමිණ සිටි අමුත්තන්ට හරවත් දේශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමිනි. එංගලන්ත රජතුමා ඔහුගේ කතාවෙන් පැහැදී “ඔබ කතාවෙන්් මා මහත් සතුටට පත්වූවා. අප මාළිගාවට දැන් ඔබ අමුත්තෙක් නොවෙයි. ඔබ නිතර මෙහි පැමිණෙන්න” යනාදී වශයෙන් පවසා තිබුණේ පැමිණ සිටි අමුත්තන් ද මවිතයට පත් කරමිනි. ලංකාවට පැමිණි පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහාචාර්යවරයකු ලෙස එතුමා කටයුතු කළේ ය. එලෙසම මලලසේකරයන් සෑදූ බලගතු නැකැත් පිළිබඳ අදටත් නොමැකෙන සිහිවටනයක් වන්නේ ලංකාවේ සතර දිග්භාගයෙහි දැකීමට ලැබෙන දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් එක් පිළිම වහන්සේ නමක් වන වලානේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ දී එයට අවශ්‍ය නැකැත් සියල්ල සැකසුණේ ගුණපාල මලලසේකරයන් සුරතින් බව පැවැසේ. මලලසේකරයන් ඒ සඳහා ලබාදුන් නැකැතේ බලය නිසාම පිළිමවහන්සේගෙන් දර්ශනය වන සිත් නෙත් ඇද බැඳ තබා ගන්නා රූප සම්පත්තිය විදහා දැක්වෙන බව පොදු ජනතාවගේ විශ්වාසයේ පවතී. මේ සඳහා මලලසේකරයන්ගේම සුරතින් ඔහුගේම නැකැතකට මුල්ගල තැබූ බව ද පැවැසේ.

බුද්ධ වර්ෂ 2504 එනම් ක්‍රි.ව. 1960 මැයි 11 වැනිදා පොදු ජනතාවට නිරාවරණය කරනු ලැබූ මේ බුද්ධ ප්‍රතිමාව ඉහළින් අදටද කුරුල්ලකු පවා පියාසර නොකරන බවත් ඔවුන්ගේ වසුරුවලින් ප්‍රතිමාව අපවිත්‍ර නොවන බවත් ඒ පිළිබඳ තතු දත්තෝ අදටත් පවසති. පිළිමවහන්සේ අසලින් කොතෙක් වාහන ගියද දුහුවිල්ලක්වත් එහි නොවදින බව පානදුර වැසියෝ පවසති. එයට ප්‍රධානම හේතුව වූයේ මෙය ඉදිකිරීම සඳහා භාවිත කළ නැකතේ බලය බව විද්වත්හු පවසති.

මෙලෙස මලලසේකරයන් නැකැත් ශාස්ත්‍රයෙන් වැඩගත් හැටි පුදුමය දනවන සුලුය. දෙස් විදෙස් රටවල විවිධ තනතුරු හෙබවූ එතුමා රටට බොහෝ සේවයක් සිදු කොට වයස අවුරුදු 73 දී මෙලොව හැර ගියේ මුළු ලෝකයේම බොදු ජනතාව අතර මතකයන් රැසක් ඉතිරිකර තබමිනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.