වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
ඡ්‍යොතිෂ අඹරේ දිදුළන තරුවක් වූ බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමි
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ දරුවාගේ සංසාර පුරුද්දක්ම වන්නට ඇතැයි වැඩිහිටියෝ සිතූහ. මේ නිසාම දෝ පැවිදි වීමේ ආශාව මේ කුඩා දරුවා සිට දලුලා වැඩෙන්නට විය. එයට ඔහුගේ මව් පියන්ගෙන් ද ආශිර්වාදයක් මිස විරුද්ධත්වයක් එල්ල නොවිණි. මේ නිසාම මේ පින්වත් දරුවා ළමා වියේදීම පැවිදි දම් පුරන්නට ශාසනයට ඇතුළත් වූවේය. ඒ බම්බලපිටියේ ආනන්ද තිස්ස නමිනි.
අද වන විට අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි විහාරය, නාරංඕවිට සුමනාරාමය, ගොලුවාමුල්ල චූලගිරි විහාරය ඇතුළු සප්ත මහා විහාරාධිපති ලෙසත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමියන් ලෙසත් බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමි සිදු කරමින් සිටින ශාසනික මෙහෙවර මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් සිදු කරමින් සේවාව පවතින විශාලය. මේ ලියැවෙන්නේ එළැඹෙන පෙබරවාරි 17 දිනට තම දිවිගමනේ හැට අටවන විය සපුරන උන්වහන්සේ සිදු කරන මේ අපූර්ව මෙහෙවර පිළිබඳවය.
උපත හා අධ්‍යාපනය
මාතර රත්මලේ කේ.ඒ. හෙන්ද්‍රික් හා කදුරුපොකුණේ ඩබ්. ලුසිනෝනා මහත්මියගේ කනිටු පුත් ලෙස 1956.02.17 බම්බලපිටියේ දී උපත ලද බිලිදු කුමරාට නම් තැබුණේ කේ .ඒ අතුල ලෙසයි. වයස අවුරුදු තුනේ දී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නා හිමි වෙතින් බම්බලපිටියේ වජිරාරාමයේදී මේ කුඩා දරුවා අකුරු කිය වුවේය. පසුව කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතුල කුඩා කල සිටම පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු විය. වයස අවුරුදු 12 පමණ වන විට කසාවතට ඇති ආශාව නිසාම පැවිදි දිවිය පි‍්‍රය කළෙන් 1967දී අම්බලන්ගොඩ චේතියගිරි පුරාණ විහාරයේ දී පැවිදි දිවියට එක් විය. ඒ රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝකතිස්ස, රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස යන නාහිමිවරුන්ගේ උපාධ්‍ය ආචාර්යත්වයෙනි. බම්බලපිටියේ ආනන්ද තිස්ස නමින් පැවිදි බිමට ඇතුළත් වූ මේ කුඩා සාමණේරයන් වහන්සේගේ කැපකරු වූයේ විශේෂඥ වෛද්‍ය ඒ.එම්. මැන්දිස් මහතාය. අතිවිශාල ගිහි පැවිදි ප්‍රභූන් රැසක් උන්වහන්සේගේ පැවිදි පින්කමට සහභාගි වූහ. වැඩිදුරටත් රන්දොඹේ මහා චේතිය පිරිවෙනින් හා අම්බලන්ගොඩ ශාස්ත්‍රාල පිරිවෙනින් අධ්‍යාපනය ලද ආනන්ද තිස්ස සාමණේරයෝ වර්ෂ 1975.07.06 දින රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස යන සිය ගුරු දේවයන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් උපසම්පදාව ලැබූහ.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හා සෙත් කවි කලාව හැදෑරීම
ආනන්ද තිස්ස නා හිමියන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට කටයුතු කරන්නේ සිය ගුරුදේවයන්ගේ මඟපෙන්වීමෙනි. ඒ තම ගුරුදේවයන් වූ රාජකීය පණ්ඩිත සෝමාරාම තිස්ස නාහිමි වෙතින් මෙන්ම මාදම්පේ ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ කේ. නදෝරිස්ද සිල්වා ගුරුතුමාගෙන් උන්වහන්සේ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය පිළිබඳ හසළ දැනුමක් ලබමිනි. මෙලෙස ලද දැනුම නිසාම බුදු දහම මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳවත් මැනවින් දන්නා බැවින් තමා හමුවට පැමිණෙන කවරකුට වුවද ඔවුන් පෙළෙන ගැටලුව විසඳා ගැනුමට උන්වහන්සේ පිහිට වන්නේ දෙවරක් නොසිතාය.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ තමන්වහන්සේ සතු හසළ දැනුම, බුද්ධිය, හැකියාව, තමාගේ හුදු පෞද්ගලික පරිහරණය උදෙසා යොදා නෙගත් උන්වහන්සේ හැමවිටම එය ජනතාවගේ ප්‍රයෝජනය උදෙසාම යෙදවූහ. එනිසාම පලාපල නිවැරැදිව දැන ගන්නට නම් මුන්වහන්සේ හමුවිය යුතුය. යන ජනමතය ගොඩනැගී ඇත. මෙලෙස උන්වහන්සේගේ ඡ්‍යොතිෂ කටයුතු සපල වීමෙන් උන්වහන්සේ ලබන ප්‍රශංසාව ඉහළ ය. එනිසාම නිතර ජනී ජනයාගෙන් පිරී පවතින පන්සල් භූමිය උන්වහන්සේට ගෙන එන්නේ සතුටකි. වලගෙදර සෝමාලෝක තිස්ස හා මාදම්පේ සෝමාරාම තිස්ස යන නාහිමිවරුන්ගෙන් සෙත්කවි කලාව ද නිවැරැදිව ඉගෙන ගනිමින් සෙත් කවි ප්‍රබන්ධයට ප්‍රවීණත්වයක් ලැබීමට උන්වහන්සේට හැකිවිය. සෙත් කවි සාදා ගැනුමටත්, ඡ්‍යොතිෂ කටයුතු සඳහාත් ගම් දනව් පුරාත් රටපුරාත් ජනී ජනයා උන් වහන්සේ වෙත පැමිණෙයි. එසේ පැමිණෙන ජනතාව තමාගේ බලාපොරොත්තු සපල වූ පසු නාහිමයන් කරා පැමිණ කෘතගුණ දක්වන්ට ද අමතක නොකරති. සමාජයේ ඉහළ තලවල සිටින්නවුන් මෙන්ම පහළ සාමාන්‍ය ජනයාද නිරන්තරයෙන් උන්වහන්සේගෙන් මේ සේවය ලබා ගැනීමට පැමිණෙයි. කිසිදු විටෙකත් එම දැනුම මුදලට යට නොකරන උන්වහන්සේ ජනතා යහපත වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙන්ම මේ කටයුතු සිදු කරති. පිරිස් උන්වහන්සේ සෙත් කවි රචනයට මෙන්ම ගායනයටද සමත්ය. දිවයිනේ බොහෝ ඈත පෙදෙස්වලින් පවා උන්වහන්සේගේ මේ සෙත් කවි පිහිට පතා පැමිණෙයි. ආනන්ද තිස්ස හිමියන්ගේ සෙත් ශාන්ති ආශිර්වාද පූජා හා සෙත්කවි ගායනා කර තෙරුවන්ගේ ආශිර්වාදය මෙන්ම දේවාශිර්වාදය ද ලබා දීමේ ශක්තියක් පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලබා ඇති බව උන්වහන්සේ හමුවට පැමිණීවිට පෙනේ.
උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසඳ බොහෝය. ඒ අතර හික්කඩුව ජනන්ද්‍රාරාම පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය තලවතුගොඩ මුදිත තිස්ස හිමි සෙත්කවි ගායනාව සම්බන්ධයෙන් කීර්තියක් ලබයි. ඡ්‍යොතිර්වේදි අසංක කුමාර විජේරත්න මහතා ද ආනන්ද තිස්ස නා හිමියන්ගේ ශිෂ්‍යයෙකි.
ශාසනික සේවය
ආනන්ද තිස්ස නාහිමියන් තමන් වහන්සේ සිදු කරන සෙත් කවි ගායනාව, දේවාශීර්වාද පූජා ආදිය පවත්වන්නේ විහාරස්ථානයේ ඓතිහාසික කොස්වඩුවේ දේවාලය අබියසය. වසර හයසියයකටත් වඩා පැරැණි නුග රුකක් අබියස, පැරණි කාසි ආදිය හමුවූ බිමක පවත්නා මේ දේවාලය මහානුභාව සම්පන්න බව ගැමියන්ගේ විශ්වාසයයි. මේ පින් බිමෙහි උන්වහන්සේ සප්ත මහා දේව මන්දිර අලුතෙන් ගොඩනැඟූහ. විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය, වටමාලය චේතිය මහා සෑය, සංඝාවාසය, ප්‍රාකාරය, කොස්මඩුවේ දේවාල ප්‍රතිසංස්කරණය, අටවිසි බුද්ධ ප්‍රතිමා බෝධීන් වහන්සේ වටා රන්වැට, දහම් පාසල් ගොඩනැඟිල්ල, සියවස් පුස්තකාලය ආදි අප්‍රමාණ කටයුතු රාශියක් උන්වහන්සේගේ උත්සාහයෙන් සිදු කෙරිණි. විහාරස්ථානය පිළිබඳ ශතවර්ෂ පූර්ණ සැමරුම ද උත්කර්ෂවත් ලෙස උන්වහන්සේ සිදු කළහ.
උන්වහන්සේ “ආනන්දතිස්ස නාහිමි අසරණ සරණ පදනම” ගොඩනගා ඒ ඔස්සේ දිළින්දන්ට, පාසල් දරුවන්ට, රෝගීන්ට විවිධ ලෙස පිහිටවන අතර සුනාමි ව්‍යසනය අවස්ථාවේ එයින් විපතට පත් වූවන්ට සිදු කළ මෙහෙය අද ද කාගේත් මතකයේ පවතී. උන්වහන්සේ රටට ගමට සැබෑම ශක්තියකි. ජාතික, ආගමික, සාමාජික. සංස්කෘතික ආදි සෑම උත්සවයකම මුලසුන හොබවමින් අනුශාසනා කරමින් විවිධ තනතුරු හොබවමින් ග්‍රාම සංවර්ධන, අන්‍යෝන්‍යාධාර , සුබසාධන ආදී බොහෝ සමිතිසමාගම්වල අනුශාසක පදවිය දරමින් ආනන්දතිස්ස නාහිමි වටිනා සේවාවක් රටට දැයට සිදුකරති.
ලාභාපේක්ෂාවෙන් තොරව අන්‍යයින් බුද්ධ භූමි වන්දනා කරවීම මඟින් ද උන්වහන්සේ කරනු ලබන්නේ මහත් සේවාවකි.
තමාගේ ගුරු හිමියන්ගේ අපවත්වීමෙන් පසුව ආනන්ද තිස්ස හිමියෝ වර්ෂ 1978 සැප්තැම්බර් 06 දින චේතියගිරි විහාරාධිපතීන් වහන්සේ ලෙස පත්වූහ. එතැන් සිට සමාජයට අති මහත් කාර්යභාරයක් ඉටුකරන්නට වූහ. ගුරු හිමි බලවත් සේ රෝගාතුරව සිටිය දී ගුරු හිමියන්ට සියලු ඇප උපස්ථාන කරමින්, ගුරු ගෞරවය මහත් ඉහළින්ම ඉටුකරන ලද හිමි නමක් ලෙස ආනන්ද තිස්ස හිමි නාමය ලියැවෙනු ඇත.
කීර්ති ප්‍රශංසා ගෞරව නාම පසුපස කිසිවිටෙකත් නොදුවන උන්වහන්සේ තම ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 17 - 18 දෙදින දළදා වහන්සේ උදෙසා විශේෂ බුද්ධ පූජා, මල්වතු අස්ගිරි උභය පාර්ශ්වය මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්ම ඇතුළු ආදර්ශවත් පින්කම් රැසක් තිස්පස් වසරක් පුරා සිදු කරති.
තව තවත් ලෝ සසුන් වැඩුමට උන්වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවායි පතමු.
විශේෂ ස්තූතිය-
ආචාර්ය සිරිපාල මාදුවගේ
(චේතියගිරි විහාරදායක සභා ලේකම්)