මල්වර වූ දවස ඔබට මතකද?

එහෙනම් ඔබ මේ වගේද?
මැයි 27, 2022

 

දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි උපත ලෙස ද සැළකෙයි. ඔබ මල්වර වූ දවස ඔබේ මතකයේ පවතී නම් මෙබඳු ගති ලක්ෂණ හා ගුණාංග ඔබ සතුව තිබේදැයි බලන්න.

 

සඳුදා

 

සඳුදා මල්වර වූ යුවතියට සඳුගේ බලය ලැබේ. ඒ නිසා ඇය ඉතා ඉක්මනින් උණුවන හිතක් ඇති කරුණාවන්ත තැනැත්තියක් වේ. යහපත් දියණියක් ගෘහණියක්, මවක් වේ. චාම් ගති පැවතුම් පිහිටයි. තැන්පත්, ශාන්ත අයෙක් වේ. පිරිසිදුව සිටීමට කැමතිය. ආගම දහමට ලැදිය. පවුලට ද ලැදිය. කාටත් උදව් උපකාර කරයි. මිත්‍රශීලිය. සතුරෝද මිතුරු වෙති. පින්වත් තැනැත්තියකි. දුර්වලතාවයක් වන්නේ දැන දැනම රැවටිලිවලට අසුවීමයි.

 

අඟහරුවාදා

 

අඟහරුවාදා, දිනක ඔබ මල්වර වූයේ කුජ හෝරාවේ නම් වඩාත් ප්‍රවේශම් විය යුතුය. ඔබේ ශරීරය උෂ්ණාධිකය. ඉකිළි කිහිලි යනාදියෙහි නිතර දහඩිය දමයි. වරින්වර චර්ම රෝග ඇති විය හැක. සා, පිපාසා නිතර ඇතිවේ. කලබලකාරිය ඉක්මන් තීරණ ගනී. ඉක්මනින් කිපේ. අනුන්ට යටත් නොවේ. මුරණ්ඩු ගති ඇත. රාගාධික නමුත් පූර්ණ තෘප්තියට පත් වන්නේ කලාතුරකිනි. විවාහය ද එතරම් සාර්ථක නොවේ. බොහෝ විට දාස භාර්යාවක් වේ. අත්කම් ගොවිතැන් වැඩ යනාදියට දක්ෂය. කෝපය හා සැකය දුර්වලතා අතර ප්‍රධාන වේ.

 

බදාදා

 

මල්වර වූයේ බදාදා නම් ඉක්මන් විවාහයක් උරුම වේ. දරු සම්පත් ද ඉක්මනින් ලබයි. ඔබ වියපත් වන්නේ ඉතා සෙමිනි. ඒ නිසා තරුණ බවින් යුතුව නිතර කෙළිදෙළෙන්, සතුටින් කාලය ගෙවයි. සංගීතයට, කථාවට, ලේඛනයට දක්ෂ වේ. වැඩ කටයුතු ක්‍රමානුකූලව, පිළිවෙළකට කරයි. ඉතා තියුණු නුවණක් ඇත. උපාය, ප්‍රයෝග ආදියේද දක්ෂය. නිතර දොඩමළුය. ඔබ සිටින තැන පාළු නැත. ඔබ සතු දුබලකම වන්නේ වග විභාගයකින් තොරව කථා කිරීම හා තනිව කිසිවක් කර කියා ගත නොහැකිවීමයි.

බ්‍රහස්පතින්දා

 

ඔබ මල්වර වූයේ බ්‍රහස්පතින්දා නම්, ඔබ සැබෑ වාසනාවන්තියකි. මනාව වැඩුණු සිරුරක්, ගෞරවනීය පෙනුමක් උරුම ඔබ ගුණ යහපත්, කුල ගෞරවය රකින කාන්තාවක් වේ. ධන සම්පත් මෙන්ම සමාජයේ කිත් පැසසුම් ද හිමි වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන උසස් පදවි තානාන්තර දරන්නියක් වේ. යාන වාහන ධන ධාන්‍ය සම්පත් ලැබ සැපවත් ජීවිතයක් ගත කරයි. උසස් විවාහයක් සිදුවේ. මැදි වයසෙන් පසුව ශරීරය තරබාරු විය හැකි අතර අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. විවාහ ජීවිතයේ ලෞකික අංශය එතරම් වැදගත් කොට නොසැලකීම ඔබ සතු දුර්වලතාවයකි.

සිකුරාදා

 

සිකුරාදා මල්වර වූ ඔබ ද ඉතා වාසනාවන්ත තැනැත්තියකි. අතිශයින් විනෝදකාමී, ශෘංගාරාත්මක කාව්‍ය – නාට්‍ය සංගීතාදී කලාවන්ට ඇලුම් කරන ඔබ අලංකාර ඇඳුම් පැළඳුම්, ආභරණවලට ඉතා කැමතිය. මෝස්තරකාරියකි. සැමියා සතුටින් තැබීමටත් නිවස සුර විමනක් කර ගැනීමටත් ඔබ වෙහෙසේ. රාගාධික වන ඔබ ජීවිතයේ විවිධත්වය සොයා යයි. යාන වාහන ගේ දොර ඉඩකඩම් හිමි සැපවත් ජීවිතයක් උරුමය. නීරෝගිමත්ය. මිතුරන් රැසකි. අඩු වයසින් විවාහ වේ. අලංකාරය සඳහා අනවශ්‍ය ලෙස වියදම් කිරීම ඔබ සතු දුර්වලකමකි.

සෙනසුරාදා

 

සෙනසුරාදා මල්වර වූ ඔබට උරුම වන්නේ වෙහෙසකර ජීවිතයකි. තම හිතුමනාපයට වැඩ කරයි. හදිසියේ කෝපයට පත්වෙයි. ඇඳුම් පැළඳුම් නිතර අපිරිසුදු කර ගනී. විවාහය තරමක් ප්‍රමාද වේ. ලැබෙන සහකරු ඔබට වඩා වැඩි වයස් පෙනුමක් ඇති අයෙකි. දරුපල අඩුය. ජීවිතයේ කළඑළිය අඩුය. එහෙත් ඔබ ඕනෑම දුෂ්කරතාවයක් දරාගෙන පීඩනය මැද වුවද ජීවිතය ගෙන යන දිරිය කාන්තාවකි. ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට නැඹුරුය. පවුල වෙනුවෙන්ම දුක් උසුලයි.

 

ඉරිදා

 

ඉරිදා මල්වර වූ ඔබ ග්‍රහලොව රජු ලෙස සැළකෙන රවි ග්‍රහයාගේ ගති ලක්ෂණවලට බොහෝ දුරට උරුමකම් කියයි. ගෙදර රැජින ඔබ යයි සිතනවා මෙන්ම අන් අය පාලනය කිරීමට ද උත්සහ කරයි. නිතර කැපී පෙනීමට අන් සියලු දෙනාටම වඩා උසස් ලෙස ප්‍රධානියා ලෙස වාසය කිරීමට කැමතිය. සිරුර මනාව වැඩේ. උඩඟු ගති ඇත. සමාජයේ ගරු නම්බු ලබන අතර සැපවත් ජීවිතයක් උරුමය. ආකර්ශණීය. උණුසුම් සිරුරකි. රාගාධික වේ. අඩු වයසින් හදිසියේ විවාහ වේ.

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක

දේශමාන්‍ය ආචාර්ය

කපිල ඉන්ද්‍රික ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.