හත නැකත ඔය කියන තරම් නරකද?

අගෝස්තු 12, 2022

යුගදිවියට පාතබන ඇතැම් අය හත නැකත ගැන දක්වන්නේ අමුතුම ආකල්පයකි. සමහරවිට හත නැකතින් උපත ලබා තිබෙන කාන්තාවන් ගැන විමසිලිමත් වන්නේද සැකයෙන් යුතුවය. සමහර විට කේන්දරය ඉවත දමන තැනට පත්වේ.

සියලුම සුදුසුකම් ඇතත් හත නැකතින් උපත ලබා ඇත්නම් “කසාදෙ කැඩෙන්න වැඩිකල් යන්නේ නැහැ” යන්න පවසන ඇතැම් දෙමාපියන් සිටින බැව් නොරහසකි.

කේන්දරයේ හත් වැන්න මුල් කරගන්නාම නිසා හත් වැන්නේ හත නැකත ඇත්නම් විශාල බියක් දක්වයි. කේන්දරයේ යම් යම් භාවයන් දුබල වූ විටද හත් වැන්න දුබල වූ විටද බොහෝ දෙනෙක් කියන්නේ හතේ නැකත් හොඳ නෑ යනුවෙනි. හතේ නැකත් එකකි. හත නැකත තවත් එකකි. හතේ නැකත් හොඳ නෑ යනුවෙන් අදහස් කෙරෙනුයේ කේන්දරයේ හත් වැන්නට නැත්නම් හත් වැනි කොටුවට සම්බන්ධ නැකත් මිස නැකත් චක්‍රයේ 13 වැනි නැකත වූ හත නැකත නොවන බැව් අවබෝධ කර ගත යුතු යි.

හත නැකත කන්‍යා රාශියේ 10 වැනි අංශකයේ සිට අංශක විසි තුනයි කලා විස්ස (23 - 20) දක්වා පැතිර පවතින අතර හස්තයක අතක රූපයක් දක්වා තිබේ. මේ නැකතේ පළමුපාදය කුජට ද 2 වැනි පාදය ශුක්‍රටද තුන්වැනි පාදය බුධට ද 4 වැනි පාදය සඳුටද අයත් වේ.

ඡ්‍යොතිෂය අනුව හත නැකත අසුබ නැත. සම්පත් දේපළ ඉඩකඩම් ව්‍යාපාර ආදියෙන් පරිපූර්ණ අය එමටයි. කඩවසම් පිරිමි හා රූමත් ගැහැනුද හත නැකතින් ඉපිද ඇත. උස් වූ ලැම සිහින් ඉගටිය වැඩුණ නිතඹ කාම ශක්ත සිරුරක් හත නැකතින් උපන් කාන්තාවන්ට පිහිටයි. ආරෝහ පරිනාහ දේහයකින් යුතු පිරිමි අය වෙති.

හත නැකතින් උපත ලැබූවත් සඳුට අයත් අනිත් නැකත් දෙක වූ රෙහෙණ සුවන නැකත්වලින් උපත ලැබූවත් තරුණවියට උදාවන්නේ රාහු මහ දශාව බැවින් ඇතැමුන්ට රැකියාව දේපළ සම්පත් මූල්‍යමය ධනය ගෙන දෙන්නේ ගුරුගේ දශාව උදා කෙරෙන මැදිවියේදී ය. රාහු දශාවේ දී වූත් උසස් දියුණුවක් ලැබෙන අය ද සිටී.

හත නැකතින් උපන් අයට විවාහයට ගැළපෙන්නේ පුනාවස පුෂ, අස්ලිස, පුවපල්, උත්‍රපල්, සිත, විසා, අනුර යන නැකත් හිමියන් ය. දෙදෙනාම හත නැකත වුවත් විවාහයට යෝග්‍ය වේ.

සියලුම ලෞකික සුබ ධනාත්මක වැඩකටයුතු සඳහා හත නැකත යොදා ගැනීම ඉතාම සුබයි. හත නැකතින් උපන් කාන්තාවන් වෙන් කිරීම ඉතාම අසාධාරණයි. දෙපක්ෂයම ඉතාම සුබ ධනාත්මක ජීවිත ගෙවන බැව් ඇත්තකි.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී, දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.