බුධ සහ නැප්චූන් ග්‍රහ යුද්ධයෙන් නැප්චූන් ජයග්‍රහණය සුබදායක වෙයිද?

මාර්තු 17, 2023

අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්

දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයි

දුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයි

උෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්

ජලජ ප්‍රාණීන්ට - අස් - ඇත් - ගව ආදී සතුන්ට ද කරදර විපත්

 

2023 මාර්තු 16 වැනි ඊයේ දින රාත්‍රී දා 10.45ට බුධ ග්‍රහයා සහ නැප්චුන් ග්‍රහයා යුද වැදුණු අතර එමගින් නැප්චූන් ජය අත්කර ගනු ලැබීය. බුධ, කුජ, ගුරු, සිකුරු, ශනි,යුරේනස්, නැප්චූන් යන ග්‍රහයන් අතර පමණක් ග්‍රහ යුද්ධ ඇති වන අතර රවි- චන්ද්‍ර දෙදෙනා අතර යුද්ධ ඇති නොවේ. ඒ දෙදෙනා අතර යෙදෙන්නේ ග්‍රහණ පමණක් වේ.

ග්‍රහ යුද්ධ යනු ග්‍රහයන් දෙදෙනෙක් එකම රාශියක එකම අංශකයේ ගමන් කිරීමයි. එසේ ගමන් කරන විට එක් ග්‍රහයකු ගේ රශ්මිය අනිත් ග්‍රහයාට ආවරණය වීමෙන් එම රශ්මිය පො⁣ළොවට නොවැටේ. එය ග්‍රහ යුද්ධය ලෙස හඳුන්වයි. ග්‍රහ යුද්ධයේදී උතුරෙන් සිටින ග්‍රහයා ජය ලබයි. යුද්ධයෙන් පැරදුණු ග්‍රහයා අසුබ ග්‍රහයෙක් ලෙස සලකයි. ග්‍රහ යුද්ධ පවතින දින සුබ නැකත් සඳහා යොදා නොගනියි. එය අසුබ දිනයක් ලෙස සලකන බැවිනි.

මෙහිදී මෙම ග්‍රහ යුද්ධය මීන රාශියේ දී සිදු වූ අතර මීනය බුධට නීච රාශියකි. එම නිසා මෙම කාල සීමාව බුද්ධිමතුන්ට අසුබ ඵල ලැබෙන කාලයක් බව සිහි තබා ගත යුතුය. එනිසා අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයකි. දුරදිග බලා තීන්දු තීරණ ගැනීම වැදගත්ය.

කුඩා දරු දැරියන්ට අපල ගෙන දේ. බියජනක හැඟීම් ඇති විය හැක. උෂ්ණ රෝග සමාජයේ පැතිරී යා හැකි කාලයකි. ආයුධ බය හා රෝග බිය ඇතිවිය හැක. ගව ආදී සතුන්ටද හානි යෙදේ. රසවත් ආහාරවල මිල ඉහළ යාමට ඉඩ ඇත. වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන අයට ද පීඩා ඇති වේ. ජලජ ප්‍රාණීන්ට අස් ආදී සතුන්ට ද වෙළඳ ආයතනවලට ද කරදර විපත් ඇති විය හැක. එනිසා දැහැමි දිවියකට හුරු ව දැහැමි ව කටයුතු කළ යුතු කාලයක් වන්නේය. ඒ ඒ ලග්නවලට මෙම ග්‍රහ යුද්ධය බලපාන අයුරු.

 

මේෂ ලග්නය

අමතක වීම් ඇති විය හැක සැලකිල්ල අඩු කමෙන් ඉගෙනීම් ආදියට බාධා ඇතිවේ. විවේකය අඩු වේ. අනවශ්‍ය දුරාචාර වැඩ වලින් ඉවත් වී කටයුතු කළ යුතුය.

 

වෘෂභ ලග්නය

හිතේ දුර්වල ගති මානසික කරදර පීඩා ඇති විය හැක. ආර්ථික තත්ත්වයේ වෙනස්වීම් ඇතිවිය හැක. ප්‍රේම සම්බන්ධතා යෙදිය හැක.

 

මිථුන ලග්නය

ලග්නාධිපති බුධ ය. එම බුධ යුද්ධයෙන් පැරදී නීචව සිටීම සුබ මදි. කරන කියන කටයුතු වලට රැකියා වලට බාධා ඇතිවෙයි. තම මතය අනුව කටයුතු කිරීමට යාමෙන් අලාභ හානිය ඇතිවිය හැක. අසහන ගති ඇතිවේ.

 

කටක ලග්නය

සිතාමතා කටයුතු කිරීමේ ශක්තිය අඩුවේ. මානසික දුර්වලතා අහංකාර ගති ඇති විය හැක. ගමන් බිමන් යෙදේ. අපවාද ලැබීමට ද ඉඩකඩ තිබේ. කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

 

සිංහ ලග්නය

2 සහ 11 අධිපති බුධ අටේ නීචව බල රහිත ව ඇත. රහස්‍ය ලෙස කටයුතු කිරීමේ හැකියාව ඇති වේ. පොළොවෙන් ලැබීම් වලට ද වාසනාව උදා විය හැක. නහර ගත පීඩා ඇතිවිය හැක.

 

කන්‍යා ලග්නය

බුධ ලග්නාධිපති සහ 10 අධිපති ය.

මානසික සහනය අඩුවෙයි. දුරදිග බලා කටයුතු කළ යුතුය. නැතිනම් අපහසුතාවයන්ට පත් විය හැක. නහරගත පීඩා මෙන්ම විවාහක අයගේ යුගදිවියේ ගැටලු ද ඇති විය හැක. හවුල් ව්‍යාපාර කටයුතුවලටද බාධා වේ.

 

තුලා ලග්නය

තුලා ලග්නය හිමි අයට ද ශාරීරික රෝග පීඩා මෙන්ම මානසික පීඩා ද ඇති විය හැක. ස්නායු දුර්වල නහර ගත පීඩා යෙදිය හැක. කාන්තා පක්ෂයට වැඩි වශයෙන් උෂ්ණ රෝග පීඩා ඇති විය හැක. දුරදිග බලා කටයුතු කළ යුතුය.

 

වෘශ්චික ලග්නය

දුරදිග බලා කටයුතු කිරීමේ ශක්තිය අඩුවිය හැක. ආර්ථික අපහසුතා ද ඇති වේ. ගුප්ත දේවල් වලට උනන්දුව ඇතිවේ. සෙම් දෝෂ පීඩා මානසික දුර්වලතා මෙන්ම රැවටීම් මුලාවීම්වලට ලක් විය හැක.

 

ධනු ලග්නය

විචාර බුද්ධියට බලපෑම් ඇතිවේ. ගෙදරදොර දියුණුවට බාධා කරදර ඇතිවිය හැක. පැරණි ගෙවල් වලට භූත දෝෂ යෙදිය හැක. පවුලේ වාද විවාද මතභේද ඇති විය හැක. රැකියාව විවාහය වැනි කටයුතු වලට අසුබ යෙදේ.

 

මකර ලග්නය

තම අදහස් උදහස් වෙනස් කිරීමට අකමැති අතර මන්දගාමීව කටයුතු කරයි. ධෛර්යය - මතක ශක්තිය අඩුවිය හැක. කතාව නිසා ප්‍රශ්න කරදර ඇති විය හැක. දුසිරිත්වලින් වැළකිය යුතුය.

 

කුම්භ ලග්නය

දුර දිග සිතා බලා කටයුතු කිරීමේ ශක්තිය අඩුවේ. හිසේ පීඩා දත්වල අමාරු ඇතිවිය හැක. කරන කියන කටයුතුවලින් පාඩු වීමට ඉඩ තිබේ. අගහිඟතා ද ඇතිවේ. යුග දිවියේ ගැටලු බාධා ඇතිවේ.

 

මීන ලග්නය

කාලයේ හැටියට වෙනස් නොවී ආවේණිකව කටයුතු කිරීමට පෙළඹෙයි.ක්‍රමානුකූලව කටයුතු කිරීමේ ශක්තිය අඩුවේ පිත් රෝග මෙන්ම අර්ශස් වැනි රෝග ද ඇති විය හැක විවාහකයන්ට පවුලේ ප්‍රශ්න ද ඇතිවිය හැක.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සෝමපාල විජේසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.