වාත රෝග, අර්ශස් නසන අගනා ඔසුව දැත්ත

ජනවාරි 15, 2021

අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝමයක් ඉතා හොඳීන් හඳුනන අතර සීමිත ප්‍රමාණයක් පිළිබඳ නිසි අවබෝධයක් අප හට නැත්තේ ය. එසේ වුවද හොඳීන් විමසා බැලුවහොත් පෙනී යන්නේ අපට දක්නට ලැබෙන සියලුම ශාකයන්ගේ කුමන හෝ ප්‍රයෝජනයක් ලැබෙන බවයි. ඒ ගැන හොඳීන් විශ්ලේෂණය කර බැලුවහොත් පෙනී යන්නේ අප අවට දක්නට ලැබෙන සියලුම ශාක, ඖෂධීය, ආහාරමය, ආර්ථික හා දැවමය වශයෙන් ආදී කුමන හෝ ආකාරයකින් ප්‍රයෝජනවත් වන බවයි.

 

මේ අතරින් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් සහ ආහාරමය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන අතර ඖෂධීය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන ශාක හොඳීන් හඳුනාගැනීම සියලු දෙනාටම වැදගත් වේ.

මෙහිදී ආයුර්‍වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙන ශාකයන් අතර වැදගත් ශාකයක් ලෙස ‘දැත්ත’ හැඳීන්විය හැකිය. මෙහිදී වාත රෝග, අර්ශස් ඇතුළු රෝග රාශියකටම ගුණ ගෙන දෙන අගනා ඖෂධීය ශාකයක් ලෙස ‘දැත්ත’ හැඳීන්විය හැකිය.

මෙසේ විශිෂ්ට ගුණ ගෙන දෙන අගනා වටිනා ශාකයක් ලෙස දැත්ත, හැඳීන්වුවද මෙම ශාකය පිළිබඳව මතභේද ද පවතියි. පත්‍රවටා දත් බඳු තුඩු වර්ගය මෙරට දැත්ත වශයෙන් භාවිතා කරනු ලැබුව ද මෙය නියම ‘දැත්ත’ නොවේ යනුවෙන් උගතුන්ගේ මතයකි. නියම දැත්ත වර්ග දෙකක් වෙති යනුවෙන් පවසන ඔවුන් ඉන් එක් වර්ගයක් වන ‘ලඝු දන්තී’ වල කොළ අට්ටික්කා කොළ වැනි යයි ද අනෙක් වර්ගය වන ‘වෘහද් දන්තී’ වල කොළ එරඬු කොළ වැනි යයි ද දක්වයි. එසේ වුව ද දැනට ව්‍යවහාරයේ ඇති ‘දැත්ත’ වල කොළ මේ වර්ග 2ටම වඩා වෙනස් වන අතර පත්‍ර දාරයේ ‘දන්තුර’ හෙවත් දත් බඳු දාර සහිත වේ.

තවත් අයුරකින් දක්වන පරිදි ‘දැත්ත’ දෙවර්ගයක් යැයි පවසති. එනම් ඉන්දියාවෙන් ගෙනවිත් බෝකරන ලද වර්ගය සහ ශ්‍රී ලංකාවේ පෙර සිටම පැවත එන වර්ගය වශයෙනි.

ඉන්දියාවේ දැත්ත වල අල මිස ඇට නොමැති අතර ශ්‍රී ලංකාවේ වර්ගයේ ඇට මිස අල නැත. අල වෙනුවට ඇත්තේ කුඩා මුල් පමණකි. එනිසා අල අවශ්‍යවිට ඉන්දියාවේ දැත්ත ද ඇට අවශ්‍ය වූ විට ශ්‍රී ලංකාවේ දැත්ත ද භාවිතා කිරීමට සිදු ව ඇති බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

දැත්ත ලෙස හඳුන්වන Baliospermum montanum ශාක විශේෂය ශ්‍රී ලංකාවේ වාර්තා නොවන බැවින් මේවා වෙනුවට Boemeria nivea වර්ගය භාවිතා වේ. මෙම දෙවර්ගයම ශ්‍රී ලංකාව තුළ භාවිතා වේ.

වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන් :-

ඉන්දු මලයාසියානු ප්‍රදේශය, මියැන්මාරය, භූතානය, සියම, ජාවා දූපත්, හිමාලයේ පිටත මායිමේ සහ කාශ්මීරයේ සිට භූතානයේ මීටර් 1000 දක්වා උසින් හමුවේ. උතුරු හා නැගෙනහිර බෙංගාලය, බිහාරය, ඇසෑම්, මධ්‍යම හා බටහිර ඉන්දියාවේ සිට ට්‍රැවන්කෝ දක්වා හමුවේ.

දේශීය වශයෙන් :-

මෙම නියම දැත්ත වර්ගය ශ්‍රී ලංකාවේ දක්නට නොලැබේ.

දැත්ත ශාකයේ ස්වරූපය

මීටර් 0.9 - 1.8 දක්වා උසින් යුතු පඳුරු සහිත ඔසු පැළ වර්ගයකි.

දැත්ත පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාමය :- දැත්ත වන අතර

සංස්කෘත බසින් :- දන්තී, චක්‍ර දන්තා, ශීඝ්‍රා, උදුම්බර පර්ණී, ඒරණ්ඩඵලා,

ස්‍රතප්‍රියා, නිකුසා, ප්‍රත්‍යත්ශ්‍රේණි, නිකුම්භී, මකුලන, දන්තිනී, භද්‍රා, අනුකූලා, විශෝධනී, ශ්‍යෙන ඝණ්ටා, ගුණප්‍රියා ආදී නාමයන් රාශියක් වෙති. එඅතුරින්, දන්තී - දත් ඇත්තී, ඇත් දළ බඳු අල ඇති නිසාද කොළ වටා දැති ඇති නිසා ද යෙදේ.

උදුම්බර පර්ණී - අට්ටික්කා කොළ වැනි කොළ ඇති නිසා ද ඒරණ්ඩ ඵලා - එරඬු ගෙඩි වැනි ගෙඩි ඇති නිසා ද

ඝණ ප්‍රියා - ක්‍රිමීන් ප්‍රිය කරන නිසා ද නිකුසා - කළ ගෙඩියක් බඳු ගෙඩි ඇති නිසා ද ප්‍රත්‍යත්ශ්‍රේණී - සමූහ වශයෙන් එකට බැඳුණු ගස් ඇති නිසාද යෙදේ.

හින්දි බසින් දැත්ත සඳහා :- දන්තී හා කිරිඵල යනුවෙන්ද

දෙමළ බසින් :- කට්ටමානක්කු, නිර්දිමුට්ටු සහ පේයා මානක්කු යනුවෙන් ද

වංග බසින් :- හවුන් හා දන්තී යනුවෙන්ද යෙදේ.

ඉංග්‍රීසි බසින් :- යනුවෙන් ද යෙදේ.

දැත්ත වල උද්භිත විද්‍යාත්මක නාමය Baliospermum montanum (wild) .Muell.Arg වන අතර කුලය EURPHORBIACEAE හෙවත් ඒරණ්ඩ කුලය වෙයි.

දැත්ත වල ඖෂධ සඳහා ගනු ලබන අංග

මුල්, ඇටමද හා පත්‍ර යි.

දැත්ත වල අඩංගු රසායනික උපාදාන

බීජවල තෛල සහ මුල්වල දුම්මල අන්තර්ගත වේ.

ඖෂධීය ගුණ කර්‍ම

රසයෙන් - කටුක වන අතර

ගුණයෙන් - රූක්ෂ සහ තීක්ෂණ වේ.

වීර්‍ය්‍යෙයන් - උෂ්ණ වන අතර

විපාකයෙන් - කටුක වේ.

දෝෂ අනුව සැලකීමේ දී

මෙය සෙම් පිත් නසන ගුණයුතු සෙම් පිත් රෝග සඳහා යොදනු ලබයි.

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකීමේදී

බාහිර වශයෙන් :-

මෙහි අල සහ ඇට යොදා සකස් කළ ලේපය වේදනා සහ ඉදිමුම් නසයි. මෙනිසා ඉදිමුම් නසයි. මෙනිසා ඉදිමුම්, වේදනා සහ අර්ශස් වලදී දැත්ත අල අඹරා ආලේප කිරීමත් වාත රෝග වලදී දැත්ත ඇටවල තෙල අභ්‍යංග කිරීමත් ඉතා ගුණදායකය.

අභ්‍යන්තර වශයෙන් :-

මෙය දීපන, අක්මා උත්තේජක, පිත්ත සාරක, විරේචන සහ කෘමිස්න වෙයි. මෙනිසා බඩගිනි අඩුකම, අක්මා ආබාධ, උදර රෝග, අර්ශස්, කෘමි රෝග ආදියේදී ප්‍රයෝග කරනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේ දී :

ලේ පිරිසුදු කරන සහ ඉදිමුම් නසන ගුණ යුතු නිසා ලේ දූෂිත රෝග සහ ශරීරයේ ඉදිමුම් වලදී යොදනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේ දී :

දැත්ත කොළ ශ්වාස නසන ගුණ යුතු නිසා දැත්ත කොළ ක්වාථය ශ්වාස රෝගයේදී යොදයි.

මුත්‍ර ව්‍යුහාවේ දී :

දැත්ත අශ්මරීනාශක ගුණ යුතු නිසා අශ්මරී රෝගයේ දී යොදයි.

චර්‍ම ව්‍යුහාවේ දී :

දැත්ත දහඩිය ඇතිකරන සහ කුෂ්ඨ නසන ගුණයෙන් යුතුයි. එනිසා සම අපූරු කරන සෑම ලෙඩකදීම දැත්ත අලය යොදනු ලබයි. ශරීර අභ්‍යන්තර ඇති දොස් මෙයින් ඇදී එන අතර එයින් රෝග සමනය වේ.

එසේම මෙහි ජ්වරස්න ගුණ යුතු නිසා ජ‍්වර (උණ) රෝගයේදී යොදනු ලබයි. තවද මෙහි විෂ නසන ගුණ හා විකාශී ගුණ යුතු නිසා සර්ප විෂේදී දැත්ත ඇට අංජන ලෙස ඇසට යොදයි.

මේ අතර දැත්ත අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග සඳහා යෙදෙන අතර ඒ

අතුරින් කිහිපයක් නම්,

මුත්‍ර අශ්මරියට - දැත්ත අල කෂාය යොදයි.

අර්ශස් කීලයට - දැත්ත අල අඹරා ආලේප කරයි.

ශ්වාසයට - දැත්ත කොළ පාණ්ඨය හෝ කෂාය යොදයි.

අර්ශස් සදහා - දැත්ත, තිරස්සවාලු සම චූර්ණය යොදයි.

වාත රෝගයට - දැත්ත අල කෂාය යොදයි.

කෘමි රෝග සඳහා - චූර්ණය වරකට ග්‍රෑම් 10ක් පමණ දෙනු ලබයි. මේ ආදී ඖෂධ යෝග

රාශියක් දැත්ත අඩංගුව විවිධ රෝග රාශියකට යොදයි.

දැත්ත වල ඖෂධීය මාත්‍රා

මුල් රක්තිකා 6 – 18

බීජ රක්තිකා 1/2 -1 වශයෙනි.

දැත්ත ප්‍රයෝග විධි සැලකීමේදී

දැත්ත නිසා බඩේ කැක්කුමක් පැන නැඟෙන අතර ඇතැම් අයට ඔක්කාර ආදියද හටගනියි. මෙනිසා මාදුරු ආදී සුගන්ධී ද්‍රව්‍යයක් මිශ්‍රකර ක්වාථ ආදිය යෙදීමෙන් මෙම තත්ත්වය සමනය වේ.

මේ අතර දැත්ත අධික මාත්‍රාවෙන් යෙදීමේදී මෙහි පවතින මාදක ක්‍රියා නිසා උපදින ලක්ෂණ ප්‍රකට වේ. මෙම අවස්ථාවල සරුවත් කිරි ආදි මිහිරි සිනිඳු දේ යෙදීමෙන් එම තත්ත්වය පහවී යයි.

මේ අතර දැත්ත අඩංගු සංස්කාරික යෝග ද රාශියක් දක්නට ලැබේ.

මේ අතුරින්

සියලුම වාතරෝග සඳහා විශිෂ්ට ගුණ ගෙන දෙන ප්‍රකට කෂායක් වන දැත්ත 11 නමින් හඳුන්වන දත්තී මූල බලා ශුණථි කොෙරෙරණ්ඩ දාරුහී: නිර්ගුණ්ඩි බිල්ව ලශුනෛ: කුලත්තෛ මාෂ සංයුතෛ: ආදී කෂාය හැඳීන්විය හැකිය.

එසේම,

දන්ත්‍යාරිෂ්ඨය

දන්තී හරීතකී

ගුඩාෂ්ටකය ආදී සංස්කාරික ඹෟෂධ ද කිහිපයක්ම දක්නට ලැබෙයි.මේ ආදී වශයෙන් ඖෂධීය වශයෙන් බොහෝ ප්‍රයෝජන ‘දැත්ත’ මඟින් ලැබේ.

මේ අනුව දැත්ත යනු විශිෂ්ට ඔසුවක් වන අතර මෙම නිවරැදි ‘දැත්ත’ යෙදීමෙන් වාත රෝග, අර්ශස් ඇතුළු රෝග රාශියකට සමනය ලබා දේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.