මව්කිරි වඩන කිරි අඟුණ

මාර්තු 29, 2024

සුනෙත් සහ නයනී විවාහ වී වසර දෙකක් පමණ වන අතර සති දෙකක් පමණ වයස ඇති බිළිඳියකගේ මාපියන්ය. මේ අතර තුර නයනී ට තිබූ ගැටලුව වූයේ දරුවාට ඇති තරම් දීමට මව්කිරි නොමැති වීමයි.

“බලන්නකො සුනෙත් දුවට දෙන්න කිරි මදිනෙ. රෑට කී සැරයක් නැගිටල අඬනවද?. අම්මා පොළොස් එහෙමත් කීප දවසක් හදල දුන්නනේ. ඒත් තාමත් කිරි මදිනේ. අපි ඩොක්ටර් කෙනෙකුටවත් පෙන්නලා බලමුද.”

“අපි, නයනි මුලින්ම මේ ළඟම ඉන්න ආයුර්වේද වෙද නෝනට පෙන්නලා ඉමුද. මොනවාද කළයුත්තේ කියල ඒ නෝනා කියාවිනේ”

පසුදිනම උදෑසන සුනෙත් ගියේ වෙද නෝනා මුණගැසීමටයි.

“මොකද සුනෙත් මහත්තය මේ පැත්තෙ. බෙහෙත් ගන්නද.” යනුවෙන් වෙද නෝනා විමසීය.

“නෝනා මම මේආවෙ පොඩි උපදේශයක් ගන්නයි. අපේ බබාට දැන් සති 2 යි. ඒත් අපේ නෝනට බබාට දෙන්න කිරි මදියි වගේ. ඒනිසා ඒකට මොනව කරන්නද කියල දැනගන්නයි ආවෙ.”

“සුනෙත් මහත්තයෝ. නෝනට ගැට පොළොස්..එලකිරි එහෙම දෙනවා ඇතිනේ.”යනුවෙන් වෙද නෝනා ඇසීය.

“ඔව්. නිතරම වගේ පොළොස් එහෙම හදලා දෙනවා. එළ කිරිත් හැමදාම උදේට බොනව. ඒ වගේම ගුණ එළවළු, මාලු නිතරම හදලා දෙනවා.”

“ඔව්. සුනෙත් මහත්තයෝ, ඒවා නම් ගොඩක් හොඳයි. නිතර කිරි අඟුණ කොළ හදල දෙන්න .එතකොට ඔය ගැටලුව විසඳේවි.”

“එතකොට වෙද නෝනා කිරි අඟුණ එතරම්ම හොඳ ආහාරයක් ද?”

“ඔව්. කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණදායක වගේම කිරි වැඩීමටත් ඒ වගේම කිරිවල ශෝධනය බලාපොරොත්තුවෙනුත් දෙනු ලබන ඉතා රසවත් පළා වර්ගයක් වශයෙන් කිරි අඟුණ හදුන්වන්න පුළුවන්.

ඒ වගේම කිරි අඟුණ ශාකය එතරම්ම ශක්තිමත් නැති වැලක් ලෙස පැතිරිලා වැඩෙනවා. එසේම විෂ නැසීමත් මෙහි තියෙන විශේෂ ගුණයක්.

කිරි අඟුණ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේදීත් එකසේ ප්‍රයෝජන ගෙන දෙන ශාකයක්.

කිරි අඟුණවල දලු, මුල්, දඩු, ආදිය ඖෂධ සඳහා යොදා ගනු ලබනවා. එසේම ආහාරමය වශයෙන් මැල්ලුමක්, සම්බෝලයක් සහ ව්‍යංජනයක් ආදි වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා. බොහෝ විට ආහාර සඳහා යොදා ගනු ලබන්නේ කොළ” යනුවෙන් වෙද නෝනා කිරි අඟුණ ගැන විස්තර කර සිටියේය

“ඒ කියන්නේ වෙද නෝනා කිරි අඟුණ ආහාරවලට වගේම ඖෂධ සදහාත් වැදගත්”

ඔව් කිරි අඟුණ ඖෂධීය වශයෙනුත් වැදගත්. මේවා ගෘහ ඖෂධයක් විදියට ගෙවත්තේම වගා කර ගන්න පුළුවන්. කිරි අඟුණවල කැල්සියම්, පොස්පරස් සහ යකඩ වැඩි ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම විටමින් ඒ සාදනු ලබන බීටා කැරොටීන් ඉතා හොඳින් අඩංගු නිසා කිරි අඟුණවල පෝෂණ ගුණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

අනෙක දේශීය දලු අනුපානවල තියෙන ප්‍රධාන ද්‍රව්‍යයක් තමයි කිරි අඟුණ.

විශේෂයෙන් සෙම ඉවත් කරන්න අවශ්‍ය කඵ නිස්සාරක ගුණය (සෙම ඉවත් කිරීමේ ගුණ ) මෙහි අඩංගු නිසා හුස්ම ගැනීමේ අපහසුව සහිත උණ අවස්ථාවලදී රෝගියාට සහනයක් ලබා දීමට මෙය භාවිත කරනු ලබනවා.

“වෙද නෝනා කිරි අඟුණ අපිට නිතර හොයා ගන්න තියෙනවාද?”

“ඔව්. බොහෝ සෙයින් ශ්‍රී ලංකාවෙ මුහුදු මට්ටමේ ඉදල අඩි 3000 දක්වා ප්‍රදේශවල සුලබව තියෙනවා.

ඒ වගේම බෙංගාලය, ඇසෑමය, මදුරාසිය, ඉන්දියාවේ දකුණු ප්‍රදේශය දක්වාත් ජාවා, පිලිපීන දූපත් ආදියෙත් දක්නට ලැබෙනවා .

මේ ශාකය ඉතා විශාලව වැඩෙන ආරෝහක පඳුරක් සිනිඳු සහ දිග අතු සහිතයි. මේවායේ පත්‍ර සරල සහ සම්මුඛයි. මේවායේ මල් හටගනු ලබන්නෙ මාර්තු, අප්‍රේල් කාලසීමාවෙදි යි. මල් විශාල ප්‍රමාණයක් හටගන්නවා. ඒවගේම මේ මල් ප්‍රසන්න සුවඳකිනුත් යුක්‍තයි. මෙහි හටගනු ලබන පලය සිලින්ඩරාකාර ස්වරූපයක් ගන්නවා. ඒවගේම කහ පාටට හුරුයි.

ඒ වගේම කිරි අඟුණවලට අඟුණ කොළ කියලත් කියනවා.

සංස්කෘත භාෂාවෙන්

සර්ව ක්ෂීර, සර්වකරා, හේමවල්ලී, මධුමාලකී, හේම ජීවන්තී, හේම ක්ෂීර සෞම්‍යා, සපුර්ණිකා ආදි නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් නාක්වික්නි කියන අතර දෙමළ භාෂාවෙන් කුරිඤ්ඤ, කුරන්ජි, කොඩිප්පලායි යන නම් යෙදෙනවා.

කිරි අඟුණවල උද්භිද විද්‍යාත්මක නාමය

Tylophora pauciflora වන අතරම

කුලය ASCLEPIADACEAE හෙවත් අර්ක කුලය වෙනවා” යනුවෙන් කිරි අඟුණ ගැන තවත් විස්තර වෙද නෝනා පෙන්වා දුන්නාය.

“එතකොට වෙද නෝනා කිරි අඟුණවල ගුණාගුණ මොනවාද? මව්කිරි වැඩිකිරීමට විතරයිද හොඳ ‘’ යනුවෙන් සුනෙත් නැවතත් ප්‍රශ්න කර සිටියේ ය’

“කිරි අඟුණවල මව්කිරි වැඩිකිරීමට පමණක් නෙවෙයි තවත් ප්‍රයෝජන රාශියක් තියෙනවා.

එනම් ගැබිනි මව්වරුන්ගේ මලබද්ධය නැසීමටත් කිරි අඟුණ කොළ මැල්ලුම යොදා ගනු ලබනවා.

ඖෂධීය වශයෙන් ගත්තාම කිරි අඟුණ රසයෙන් තික්තයි. ගුණයෙන් ශීතයි. වීර්‍යයෙන් ශීතයි. විපාකයෙන් කටුක යි.

දෝෂ අනුව සැලකුවාම සෙම් පිත් නසන ගුණ ඇති නිසා සෙම් පිත් රෝග වලට බොහෝ සෙයින් ගුණදායකයි.

‍ඒ වගේම කිරි අඟුණ කොළ මව්කිරි වඩන .සහ මව්කිරි පිරිසිදු කරන ගුණ යුතු වන අතර මෘදු විරේචන ගුණයෙන් සහ විෂ නසන ගුණයෙන් යුතුයි. එසේම වාජීකරණ ගුණයෙන් සහ උණ නසන ගුණයෙන් යුතුයි.

කිරි අඟුණ මල් සහ කරටි වමනකාරක ගුණයෙන් සහ සෙම පිටකරන ගුණයෙන් යුතුයි.

කිරි අඟුණ මුල් සර්ප විෂ සහ පිස්සු බලු විෂ (අලර්ක)නසන ගුණයෙන් යුතුයි. ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම, සුදු කබර, අර්ශස්, ගෙඩි, තුවාල, ශ්වාසනාල ඉදිමුම්, අජීර්ණ, පිත්තජ් රෝග, හිසේ වේදනා, ඉදිමුම්, ඇස් රෝග, පීනස, පණු අමාරු, ශ්ලීපද (බරවා) පක්ෂාඝාත ආදි රෝග සදහා විශිෂ්ට ගුණ ගෙන දෙනවා.

කිරි අඟුණ අඩංගු ඖෂධ යෝග සැලකුවාම

පක්ෂාඝාත රෝගීන්ට

කිරි අඟුණ සහමුලින් කෂාය කර දෙනවා.

අර්ශස් රෝගීන්ට

කිරි අඟුණ සහමුල කෂාය කර දෙනවා

පිස්සු බලු විෂට

තනිකර කිරි අඟුණ මුල් කලං12 කෂාය ලෙස යොදනු ලබනවා.

ශ්වාස රෝගීන්ට සහ නිරෝගිබව රැක ගැනීමට

කිරි අඟුණ කොළ මලවා සතියකට 2 වරක් පමණ කෑමට දීම සුදුසුයි.

අධි රුධිර පීඩනයට

කිරි අඟුණ කොළ මැල්ලුම සතියකට දෙවරක් පමණ ගැනීම සුදුසුයි.

අතීසාරයට

කිරි අඟුණ මුල්, ලොත්සුඹුලු, දියමිත්ත, වෙනිවැල් සමව ගෙන අඹරා හාල්පානු වතුරෙන් පෙවීමත් හොඳයි.

කරවැල් විෂට

කිරි අඟුණ කොළ සහ මුල් සුදුලූනු සමඟ නස්‍ය කිරීමත් ගුණයි.

කනේරු විෂට

කූර තම්පලා කිරි අඟුණ කොළ සමව ගෙන තැඹිලි වතුරෙන් තම්බා පෙරා සීනි දමා පෙවීමත් ගුණයි.

මෙන්න මේ වගේ ඖෂධ යෝග රාශියක් තියෙනවා කිරි අඟුණ අඩංගු” යනුවෙන් වෙද නෝනා සුනෙත් ට පැවසුවාය.

“ඒ වගේම සුනෙත් යෂ්ටි කල්කයේ එක අනුපාණයක් වන “දලුද බටුත් කුප්පමේනිය ආදී වූ අනුපානයේ අඩංගු එක් ද්‍රව්‍යයක් තමයි කිරි අඟුණ ඒ වගේම වැල්දෙහි චූර්ණය වාලු කෂාය, වාසා මුස්තාදී කෂාය ආදියේ අඩංගු එක් ද්‍රව්‍යයක් තමයි කිරි අඟුණ “ යනුවෙන් වෙද නෝනා තවත් කරුණු ඉදිරිපත් කළේය ඒ වගේම කිරි අඟුණ කොළ කැද සර්ප විෂ පිස්සු බලු විෂ ඇතුළු සියලු විෂ නාශනයට හොඳ ඖෂධාහාරයක්. මේ නිසා කිරි අඟුණ කියන්නේ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙන් ඉතා විශිෂ්ඨ ගුණ දෙන අගනා ද්‍රව්‍යයයක්. ඉතින් සුනෙත් මහත්තයෝ කිරි අඟුණ නෝනට බය නැතුව දෙන්න. මව්කිරි ගැටලුව විසඳේවි” මෙසේ පැවසූ වෙද නෝනා කිරි අඟුණවල ගුණාගුණ විස්තරය නිමා කළාය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.