ඔසු පැළ සහ පරිසරය සුරකිමු

ජූලි 16, 2021

ශ්‍රී ලංකාව වැනි සුන්දර දිවයිනක පරිසරය මිනිසාට ජීවත්වීම සඳහා මෙතරම් සුවදායක ලෙස නිර්මාණය කිරීමට සොබාදහම ගෙන ඇති උත්සාහය පැහැදිලිව වටහා ගෙන සිටි අපගේ මුතුන් මිත්තෝ එය තම අනාගත පරපුරට සුරක්ෂිත කර දීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන සිටිය අතර, අවුරුදු දහස් ගණනකට පෙර සිට ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා භාවිතා වූ ඖෂධ පිළිබඳව සලකා බලමු.

“පරිසරය සංරක්ෂණය” යන වදන අද අපට නිතර අසන්නට ලැබේ. පරිසරය යනු අප අවට වටපිටාව පමණක් නොවේ. මිනිසාද පරිසරයේම කොටසක් වශයෙන් සැලකීම අමතක කළ නොහැක්කේ මනුෂ්‍ය වර්ගයා විසින් තම වටපිටාව තුළ සිදු කරන සෑම ක්‍රියාවක්ම සෘජුව හෝ වක්‍රව ඉක්මනින් හෝ කල්ගත වී තමාට ද විඳ දරා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව අනිවාර්යය බැවිනි.

 

ශ්‍රී ලංකාව වැනි සුන්දර දිවයිනක පරිසරය මිනිසාට ජීවත්වීම සඳහා මෙතරම් සුවදායක ලෙස නිර්මාණය කිරීමට සොබාදහම ගෙන ඇති උත්සාහය පැහැදිලිව වටහා ගෙන සිටි අපගේ මුතුන් මිත්තෝ එය තම අනාගත පරපුරට සුරක්ෂිත කර දීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන සිටිය අතර, අවුරුදු දහස් ගණනකට පෙර සිට ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා භාවිතා වූ ඖෂධ පිළිබඳව සලකා බලමු. එවන් ශාක ප්‍රවේශමෙන් රැක බලාගෙන කල්පනාකාරීව ප්‍රයෝජනයට නොගත්තා නම් අද වන විට කිසිම ඔසු පැළයක් මෙම දිවයිනෙහි ඉතිරි නොවනු ඇත.

නා ගස, මී ගසෙන් ලබා ගන්නා දැව ආශ්‍රයෙන් නිපදවන යට ලී සහ උළුවහු යෙදූ නිවාස මිනිස් වාසයට නුසුදුසු බවට ජන ප්‍රවාදයක් ඇත. එහෙත් පූජනීයස්ථාන ගොඩනැගීමට එම දැව සුදුසු බව දැවමය අගය වටහා ගෙන සිටියද මෙම අගනා ඖෂධීය වෘක්ෂ සංරක්ෂණය වඩා වැදගත් බව ඔවුන් දැනසිටින්නට ඇත. මී (ප්‍රජ) මල් මෙන්ම නාමල් රේණු (නාග කේශර) අගනා ඖධයන් වේ.

දුටුගැමුණු මහ රජතුමා තම අමාත්‍ය මණ්ඩලය කැඳවා ස්ථූපයක් ගොඩනැඟීම සඳහා සුදුසු පින් බිමක් සොයා වාර්තා කරන ලෙස දන්වා සිටි අතර, පරීක්ෂා කරන ලද භූමි අතරින් ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කර සිටින ස්ථානය අබියස ඇති ශුද්ධ බිම කඩක් අවසානයේ තෝරා ගන්නා ලදී.

මෙහි බිම් සැකසීම ආරම්භ කළ නිලධාරී මඩුල්ලට සහ සේවකයින්ට බලාපොරොත්තු නොවූ සිද්ධියකට මුහුණපෑමට සිදුවිය. භූමිය මධ්‍යයේ අතු පතර විහිදී අහස උසට නැඟී සිටි සුවිසල් තෙළඹු වෘක්ෂයක් දක්නට ලැබිණ. ස්ථූපය ඉදිකිරීමට අවශ්‍ය බැවින් රුක බිම හෙළීමට සූදානම් වූ රුක් වඩුවෙක් ඉදිරියේ පෙනී සිටියේ තෙළඹු වෘක්ෂයට අධිපති වෘක්ෂ දේවතාවියයි.

පරිසරය යනු ‘අප හා අප අවට වටා පිටාව‘ යන නිර්වචනයට වැදගත් ස්ථානයක් හිමි කර දෙන අතර මං මුලා වැල් තහනම් පලතුරු උයන් වනාන්තරයට අධිපති ප්‍රාදේශීය දෙවිවරුන් උලලේනුන් සහ වෘක්ෂ දේවතාවන් අප දිවයිනෙන් තුරන් වූ දා අනාගත දරු පරපුරට ඉතිරි වනු ඇත්තේ කාන්තාරයක් පමණි.

ඖෂධීය ශාක සංරක්ෂණය සඳහා භාවිතා වී ඇති ‘සාම්ප්‍රදායික ක්‍රම’ නැවත සළකා බලන විට ඒවා කෙතරම් විද්‍යාත්මක මෙන්ම කාර්යක්ෂම ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකිය.

සර්ප විෂ මර්දනය සඳහා එළවරා ශාකයේ බස්නාහිර දෙසට ඇදීගිය මුලක් ලබා ගැනීම සහ පීත්ත පටියක් වැනි පොතු කැබැල්ලක් ඉහළ සිට පහළට කොට දිඹුල ශාකයෙන් ලබා ගැනීමත් ශාක සංරක්ෂණයේ දී කෙතරම් ප්‍රායෝගික ද යන්න මෙවැනි ක්‍රමවේදයන් භාවිතා කිරීමේ දී ඒවා ජීවිතක්ෂයට පත් නොවන බව පැහැදිලි ය.

ග්‍රහ වස්තූන්ට හා රාශි දොළහට වෙන් කරන ලද ශාක අට විසි බෝධීන් වහන්සේ වැනි සංකල්ප හරහා එම ශාකවලට ලබා දෙන පූජනීයත්වය ඇසුරින්ද සිදු වන්නේ සංරක්ෂණය නොවේද?

ඔසු පැළ සහ පරිසරය එකින් එක වෙන් කළ නොහැකි ය. එසේම දේශීය වෛද්‍ය ක්‍රමය සහ වනාන්තර අතර සබැඳියාව ද ඉතා සමීපය. එබැවින් ඖෂධීය ශාක සංරක්ෂණය යනු පරිසරය සුරැකීම මිස වෙනකක් නොවේ.

තෙළඹු යනු අගනා ඖෂධීය ශාකයකි. එහි බඳේ හට ගන්නා මැලියම් පවා ඖෂධ ගුණයෙන් අනූනය. මෙයින් පැහැදිලි වන්නේ වෘක්ෂ දේවත්වය යනු ශාක සංරක්ෂණය සඳහා කාර්යක්ෂම ලෙස යොදා ගත හැකි අහිංසක උත්සාහයක් බව නොවේද?

ශාකයක වයස හා එම ශාකය වයසට අනුව පරිසරයට කරන ලද සේවය වටහාගත් පැරැන්නන් විශාල ගස්වල රුක් දෙවියන් ඇති බවත් එම ශාක විනාශ කිරීමේ දී එය කරන්නාට අනතුරු කරන බවත් ජනතාව අතර ප්‍රචලිතව පවතී. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරු තමාට අවශ්‍ය ඖෂධ රෝග ප්‍රතිකාරවලට යොදා ගැනීමේ දී ශාකයට වැඳ ඉතා ගරුසරු ඇතිව එම ශාක කොටස් ලබාගත්තේ ශාකය හා පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.

 

 

උපදෙස් කෘෂි විද්‍යාඥ

ශ්‍රී පියල් මාරසිංහ

 

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.