වාතරෝග නසන අගනා ඔසුව මී ගස

මාර්තු 31, 2023

ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන්ද අගනා වටිනා ප්‍රයෝජන ගෙන දෙන ඉතා පහසුවෙන් සපයා ගත හැකි ශාකයක් ලෙස මී ගස හැඳින්විය හැක.

 

මී ගස වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙන අතර බිහාර්, ඔරිස්සා, මධ්‍ය ප්‍රදේශ, මධ්‍යම භාරතයේ ගුජරාත් ආදී ප්‍රදේශ ඒ අතුරින් ප්‍රධාන වේ. තවද මෙම මී ගස් වල එක් ප්‍රභේදයක් වන ජල මධුක, මලබාරය, මයිසෝර, ත්‍රිවංකර් සහ බටහිර ඉන්දියානු ප්‍රදේශ ආදියේ දක්නට ඇත.

 

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වැවෙන ගසක් වන මෙය වනගත ප්‍රදේශවල විශේෂයෙන් වියළි කලාපයේ සුලභ ලෙස දක්නට ලැබේ.

 

මී ගසේ ස්වරූපය

විශාල ශාකයක් වන අතර කදේ පොත්ත දුඹුරු පැහැයක් ගනු ලබයි. එය ගැලවෙන සුළු ඝන පොත්තකි. මෙම ශාකයේ පත්‍ර පොකුරු වශයෙන් අතුවල අග පිහිටා ඇති අතර පත්‍රයක් සෙ.මී.7-12 දක්වා දිගය. මෙම පත්‍ර සිහින් ලංසාකාර ස්වරූපක් ගනු ලබන අතර අගින් උල්වී පවතී. මෙහි හටගනු ලබන මල් කුඩා දුර්වර්ණ කහ පැහැයක් ගනු ලබයි. එසේම මල් කස්තුරි සුවදින් යුතුය. ලපටි පත්‍ර අතර මල් ඝන පොකුරු වශයෙන් පිහිටයි. මෙහි ගෙඩි සෙ.මී.2-5 දක්වා විෂ්කම්භයෙන් යුතුයි. ලපටි ගෙඩි කේසර සහිත වන අතර ඉදුණු විට කහ පැහැයක් ගනු ලබයි. මෙහි බීජ පැත්තකට තදවී කෙලින් පිහිටන අතර අනිත් ඒවායින් වටවී පවතියි. මෙහි බීජ කහ පැහැයකට හුරු හා තද ගතියෙන් යුක්තය. එසේම දිලිසෙන සුළු ස්වභාවයෙන් යුතුවේ.

මේ ආදී ස්වරූපයෙන් යුතු විශාල ශාකයක් වන මී ගසේ විවිධ භාෂාවලින් විවධ නාමයන් රාශියක් වේ.

මේ අතුරින් පොදු සිංහල නාමය මී නම් වේ. සංස්කෘත බසින් මධුක, ගුඩ පුෂ්ප, මධු පුෂුප, මධුස්ථිල, සෝලාඵල, ලෝධුපුෂ්ප, මහාද්‍රැම, රෝධ්‍රපුෂ්ප ආදී නාමයන් රාශියක් වෙයි. තවද මධුක හා ජලමධුක යනුවෙන් ප්‍රභේද 2ක් වන නිසා

ජල මධුක සඳහා මංගල්‍ය, දීර්ඝපත්‍රක, මධුපුෂ්ප, පතංග, ක්ෂෟද්‍රප්‍රිය,ශෛරීතාක්ෂ ආදී නාමයන් වේ.

හින්දි බසින් මහුඟ යන නාමයද

වංග බසින් මහුයා, මළල සහ මෞල යන නාමයන්ද

දෙමළ බසින් ඉලුප්පු, ඉල්ලුපි හා ඉරුපෛ යන නාමයන් ද යෙදේ.

ඉංග්‍රීසි බසින් Indian Butter සහ Honey Tree යන නාමයන් යෙදේ.

මී ගසේ උද්භිද විද්‍යාත්මක නාමය

Madhuca longifolia වන අතර කුලය SAPOTACEAE හෙවත් මධුක කුලය වෙයි. මේ ආදී වශයෙන් විවිධ භාෂාවලින් අරුත් බර විවිධ නාම රාශියක් මී ගස් සඳහා යෙදෙනු දක්නට ලැබේ.

 

මී ගසේ ඖෂධීය අංග

පොතු, කොළ, මුල්, බීජ, තෛල, මල් සහ මී ගසේ අරටුවයි. මේ අතුරින් තෙල ඉතා අගනා ඔසුවකි. මේවා අතුරින් මී මල් සකස් කර ගැනීමේදී මල් පිපෙන කාලයේදී රැස් කර වියලා වියලි භාජන වල අසුරා වියලි ස්ථානයක ගබඩා කළ යුතු වේ.

 

මී ඇට සකස් කිරීමෙදී

ගෙඩි පැසී ඇටය වැටෙන කාලයේදී ඇට රැස් කර හොඳින් වියළා තබා ගන්නා අතර තෙල් බවට සකස් කර ගැනීමද කරයි. මී ගසේ කොටස්වල අඩංගු රසායනික උපාදාන මී මල්වල ශර්කරා, එන්සයිම, සහ යීස්ට් අන්තර්ගත වන අතර ඇටවල මදයේ 50-55%ක් ස්ථිර තෛල මේද කසට ද්‍රව්‍ය (Tanin) තික්ත පදාර්ථ සැපොනින්, පිෂ්ඨ මැලියම් ආදිය අන්තර්ගත වේ.

 

මී වල ඖෂධීය ගුණ කර්ම

රසයෙන් මධුර සහ කෂාය රස වන අතර ගුණයෙන් ගුරු හා ස්නිග්ධ වෙයි.විර්යයෙන් ශීත වන අතර විපාකයෙන් මධුර වේ. දෝෂ අනුව සැලකීමේදී වාතය හා පිත සමනය කරන ගුණ යුක්ත වන අතර වාත හා පිත් රෝග උපයෝගී කරනු ලබයි.

 

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකීමේදී

බාහිර වශයෙන් මී ඇට තෙල් කුෂ්ඨ නාෂක සහ වේදනා ස්ථාපන ගුණ යුතු නිසා වාත රෝග සහ චර්ම රෝගවලදී ආලේප කරයි. එසේම මී මල් යුෂ ස්නේහන ගුණ යුතු නිසා පිත්තජ ශිරෝ රෝගවලදී නස්‍ය කරයි. එසේම මී තෙල් පුෂ්කර අළු සමඟ දෑ වල ආලේප කරනු ලබයි.

අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේදී

නාඩි බලකාරක සහ වාත සමන ගුණ යුතු අතර මී ම්ක්ෂීර පානය නාඩි දුබලතා වලදීද වාත රෝග වලදීද ප්‍රයෝග කරනු ලබයි.

ආහාර පරිපචන ව්‍යුහාවේදී

ස්නේහන, අනුලෝමන, ස්තම්භන සහ පිපාසා නසන ගුණ සහිත නිසා, තෘෂ්ණ (පිපාසා) අතීසාර, ග්‍රහණි, කෝෂ්ඨගත වාත ආදී අවස්ථාවලදී මී මල් ස්වරසයද පොතු කෂායද ප්‍රයෝග කරනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

මෙය රත්පිත් සමන ගුණයෙන් යුතු අතර අලුත් අමු මී මල් වල යුෂය ප්‍රශස්ත වෙයි.

ශ්වසන ව්‍යුහාවේදී

මී අරටුව සහ මී ඇට මද සෙම් පිට කරන ගුණ යුක්ත වන අතර මුත්‍ර කෘච්ච්‍ර වලදී උපයෝගී කරනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

වෘෂ්‍ය සහ ස්තනන්‍ය ජන්‍ය (මව් කිරි වඩන) ගුණ පවතින අතර ශුක්‍ර දුබලතා හා ස්තන්‍ය (මව්කිරි) අල්පතාවයේදී ප්‍රයෝග කරනු ලබන අතර මී ඇටමද ආර්තව ජනන ගුණ සහිත නිසා මී ඇට මද වර්තිය, රජෝ රෝධයේදී (ඔසප් වීමේ දුබලතා වලදී) යොදනු ලබයි. මෙයට අමතරව ජ්වර (උණ) දාහ ආදිය සමනය කරන අතර දුර්වලතා ක්ෂය ශෝෂ ආදියද නසයි.

ඖෂධීය මාත්‍රා සැලකීමේදී

මී මල් කර්ෂ 2-5 දක්වාද මී පොතු ක්වාථය කර්ෂ 5-10 දක්වාද වේ. මෙම මාත්‍රාවන්ට අනුකූලව ගැනීමෙන් ඖෂධීය ගුණ නිසි ලෙස ලැබෙන අතර අධික ලෙස ගැනීම හිතකාරී නොවේ. මෙසේ අධික ලෙස ගැනීමෙන් හිසේ වේදනා ආදිය හටගනු ලබන අතර එම තත්වයන් නිවාරණය සඳහා ශීතල ස්නිග්ධ ද්‍රව්‍ය යොදනු ලබයි. තවද ඖෂධීය වශයෙන් ගුණ දෙන විවිධ ප්‍රයෝග රාශියක්ම මෙම මී ගස් වල ඖෂධ අංග යොදා සකස් කරනු ලබයි. ඒ අතුරින් මී මල් කෂාය, සීනි සමඟ යෙදීමෙන් පිපාසා දාහ, කාස සහ ශරීරයේ අස්ථිරතාවයන් නිවාරණය කරයි.

තවද මී මල් වලින් මෝදක මෙන්ම රම් හා සමාන මධ්‍ය වර්ගයක් පෙරා ගනු ලබන අතර එය උෂ්ණ සහ බඩගිනි වඩනු ලබයි. අතීසාර සහ ග්‍රහණි රෝග සඳහාද ගුණදෙන මෙය බෙංගාල දේශයේ බොහෝ සෙයින් භාවිතා කරයි.

හික්කා සඳහා

මී මල් මී පැණියෙන් අඹරා නස්‍ය කරනු ලබයි.

සන්ධිවාතයේදී

මී මල්වලින් රොටී සාදා ප්‍රලේප ලෙස යොදයි. එසේම නස්‍ය සඳහා මී ඇට මද මී අරටුව තවත් ඖෂධ සමඟ යොදා ගනු ලබයි. මේ ආදී වශයෙන් බොහෝ ඖෂධ යෝගයන් මී මල් ටී ඇට ආදී ඖෂධ අංග සහිතව බොහෝ රෝගාබාධ සඳහා යොදනු ලබන බව පැහැදිලි කරුණකි. එයට අමතරව සංස්කාරික ඖෂධ සඳහා ද මෙම ඖෂධ අංග බොහෝ විට යොදනු දක්නට ලැබෙයි.

ඒ අතුරින් මධුකාසවය ප්‍රධාන වන අතර අමු මී මල් ස්වරසය ඒ සඳහා ගනු ලබයි. ග්‍රහණි රෝගයේදී මෙය බොහෝ සෙයින් ප්‍රයෝග කරයි.

එසේම සර්වවිශාදී තෛලය සඳහා මී කොළ පොතු සහ මී තෙල් යොදනු ලබන අතර බොහෝ රෝගවලදී නස්‍ය පාන හා අභ්‍යංග සඳහා යොදනු ලබයි. තවද නිශාදී තෛලය, සඳහා මී තෙල් යොදා ගනු ලබන අතර පීනස් රෝගවලදී මෙම තෛලය නස්‍ය අභ්‍යංග ආදියට ගනු ලබයි. මෙයට අමතරව තවත් තෙල් වර්ග කිහිපයකදීම මී තෙල් යොදා ගනු ලබයි. එසේම රත්පිතේදී මී පොතු ක්ෂාරය යොදා ගනු ලබයි. මේ ආදී වශයෙන් සංස්කාරික ඖෂධ කිහිපයකදීම මී ගසේ ඖෂධ අංග ප්‍රයෝග කරනු ලබන බව පැහැදිලි වෙයි.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය, වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.